20130208

අනිත්‍යය දුකක්ද?

 

කය වෙනස් වෙනවා.
හිත වෙනස් වෙනවා.
මේ දෙකම අනිත්‍යය.

පරිසරයට හෝ
තමන්ගෙ කැමැත්තට
සාපේක්ෂව බලමින්
මේ වෙනස් වීම්
සැප දුක විදියට විඳින නිසා
වෙනස් වීම නිසා විඳින දුක
දැනෙන්නෙ නැහැ.

සිසිලසක් තියනවා
කය වෙනස් වෙනවා.
සැප වේදනාවක්
හිත කැමතියි.
සැපක්.

උණුසුමක් තියනවා
කය වෙනස් වෙනවා.
දුක් වේදනාවක්.
හිත කැමතියි.
සැපක්.

සිසිලසක් තියනවා
කය වෙනස් වෙනවා.
සැප වේදනාවක්.
හිත අකැමතියි.
දුකක්.

උණුසුමක් තියනවා
කය වෙනස් වෙනවා.
දුක් වේදනාවක්.
හිත අකැමතියි.
දුකක්.

කයට දුක හෝ සැප
හිතට ගැටළුවක් නැහැ.
හිත කැමති නම්.
කය දුක්වින්දත්.
හිතට සැපයි.

--------------------------------------------------------------------------
ක්‍රීඩකයො දෙන්නෙක්
බොක්සිං ගහගන්න කොට
ඔවුන්ගෙ කය විඳින දුක
දෙන්නටම ගැටලුවක් නොවෙයි.
හිත කැමති සේ පවතින නිසා...
හිත තියෙන්නෙ ජයග්‍රහණයෙ නිසා.

දෙන්නම කයින් විඳින්නෙ දුකක්.
හිතේ තියන සැප විඳීමෙ අරමුණ නිසා
කය විඳින දුක දරා ගන්නවා.
ඒ උපේක්ෂාව නෙමෙයි... ධෛර්‍යය.
ඔවුන් දුක දරාගෙන සටන් කරනවා.
----------------------------------------------------------


දිනපු කෙනාට
හිතේ තියන සතුට නිසා
කය විඳින දුක දැනෙන්නෙ නැහැ.

ඔහුට දුක් විඳින කය ගැන සිහිය නැහැ.
----------------------------------------------------------


පැරදුණ කෙනාට
කය විඳින දුකට
හිතේ දුකත් එකතු වෙනවා.
හිතට සතුටක් නැති නිසා
ඔහුට කය විඳින දුක ගැන
සිහිය තියෙනවා.
උපේක්ෂාව නැහැ.
ඔහුගෙ කයත් හිතත්
දෙකම දුක් විඳිනවා
----------------------------------------------------------
.

කැමති සේ පැවතීම හෝ
කැමති සේ නොපැවතීම
හිතට විතරක් අදාළ සත්‍යයක්.

ඒත් සත්වයා කියන්නෙ
හිතක් විතරක් නෙමෙයි.

කය ගැන සිහිය නැති,
කයෙහි වෙන වෙනස් වීම
එනම් වේදනා ගැන සිහිය නැති අය
මේ පාර්ශවික සත්‍යය
දුක්ඛ සත්‍යය ලෙස දකිනවා.

ඒත් දුක්ඛ සත්‍යය ඊට වඩා ගැඹුරුයි.

හිත නිදාගත්ත වෙලාවට
කය කී වාරයක්
ඉරියව්ව වෙනස් කරනවද?
කයට එහි සිදුවෙන වෙනස් කම්
දරාගන්න බැරි වුණාම
කය ඉබේම වෙනස් ඉරියව්වක්
හදාගන්නවා.

අවදියෙන් ඉන්න කොටත්
කයෙහි වෙනස් වීම් නිසා
කය ඉරියව් වෙනස් කරගන්නවා.
හිත දන්නෙවත් නැහැ.

කය ගැන
වේදනා ගැන
සිහිය නැති නිසා
මේ වෙනස් වීමෙ දුක
පෙනෙන්නෙ නැහැ.
සමහර අයට
සිහිය තිබුණත්
උපේක්ෂාව නැති නිසා
වෙනස් වීම් දැනෙන්නෙ
ඉතා සුලු පරාසයක විතරයි.

විදසුනෙන් සිහියත්
උපේක්ෂාවත් දියුණු වෙනකොට
කැමති සේ නොපවතින්නෙ
වෙනස් වීම නිසා බව
වැටහෙනවා.
ප්‍රඥාව ඇති වෙනවා.

කාය වේදනා චිත්ත ධම්ම
හතර පිළිබඳව සිහියත්
ඒ සියල්ලටම  උපේක්ෂාවත්
දියුණු වෙනකොට
ප්‍රඥාව වැඩි වෙනවා.

ධර්මය පහසුවෙන්
අවබෝධ වෙනවා

No comments:

Post a Comment