20130716

ප්‍රශ්නයකදී පැන දුවනවා නම් ..ඔබ ඉන්නෙ සමථ මානසිකත්වයෙන්




http://3.bp.blogspot.com/-Jvv0TYLz3Ek/T4P3k4qSVSI/AAAAAAAAHqQ/L2-HMo9O_CQ/s320/WarElephant_by_KreepingSpawn.jpg

ප්‍රශ්නයකදී
පැන දුවනවා නම්
ඔබ විදසුන් වැඩුවත්
තවම ඔබ ඉන්නෙ
සමථ මානසිකත්වයෙන්.

ප්‍රශ්නයකදී
සමාධිය රැකගෙන පැන දුවන එක
සමථයානිකයාගේ විසඳුමයි.

මන්ද
ඔහු කෙලෙස් මතු වූ විට
සිහියෙ + උපේක්ශාවෙන් ඉන්නට
හුරුවෙලා නැති නිසා
පාලනය ගිලිහුණොත්
ඔහු කොතනින් නවතීවිදැයි
ඔහුටම විශ්වාස නැහැ.
අධර්මයෙහි හැසිරෙන්නවුන් ලෙස
අලජ්ජිතව හැසිරෙන්නත් ඔහුට බැහැ.

ඉතින්, ප්‍රශ්නයකදී
සමාධිය රැකගෙන පැන දුවන එක
සමථයානිකයාට ඇති හොඳම විසඳුමයි.

එහෙත් විදසුන් වඩන්නා
එසේ පැන යායුතු නැහැ.
ඔහු යන්නේ
ඇට කුඩු වෙන තුරු පහර කෑවත්
සමාහිත් සිත රැකගත්
මුගලන් මහ රහතන් වහන්සේ වැනි
බුදු සව්වන් ගිය විදසුන් මගෙයි.

කෙලෙස් හිතෙහි මතුවීම
විදසුන් වඩන්නාට
වලකන්නට බැහැ.
එහෙත්
ඒ මතුවෙන කෙලෙස්
තමන් කරන දේට කියන දේට
බල නොපාන අයුරින් ක්‍රියා කරන්නට
විදසුන් වඩන්නා පුහුණු විය යුතුයි.

සිතෙහි මතුවන සංස්කාර
වැය වීමේ ධර්මතාවය අනුව
සිහිය + උපේක්ශාව නිසා
නිරුද්ධ වෙන්නෙ එවිටයි

[ වය ධම්මා සංඛාරා...]

සංස්කාර මතු වෙන විට
පැනල ගියොත්
හිතේ සමාධිය රැකේවි.
ඒත් සංස්කාර නිරුද්ධ වෙලා
හිත පිරිසිදු වෙන්න තියන අවසරය
මග හැරෙනවා.

ඔබට ලැබී තිබෙන උපදෙස
පසු බහින්න නම්
එය සමථයානික උපදෙසක්.

බොහෝ දෙනෙකු
විදර්ශනා නමින් සමථ උගන්වනවා.
ඔබ තවමත් හැසිරෙන්නේ
සමථයානිකයෙකු මෙන්
පසුබහින මානසිකත්වයක නම්
ඔබ ඉන්නේ කලින් හිටිය තැනමයි.
එය උපදෙස් වල වරදක් වෙන්නත් පුලුවන්.
ඔබේ වරදක් වෙන්නත් පුලුවන්.
විමසා බලා නිසි පියවර ගන්න.

විදසුන් වඩන්නා නිශ්ඵල සටන් වල යෙදී
කාලය කා දැමිය යුතු නැහැ.
එහෙත් ඵලදායී තීරණාත්මක සටනකදී
ඔහු පැන යායුතුත් නැහැ.
එවන් සටනකින්
මොන තරම් තුවාල ලැබුවත්
ඔහු යළිනැගී සිටින්නේ
කෙලෙසුන් ටිකක් හෝ නසා
සිත පිරිසිදු කරගත්
වඩාත් සමාහිත සිතක්
ඇත්තෙකු ලෙසයි.

විදසුන් වඩන්නා
යුදයට බට ඇතෙකු මෙන්
හී පහර, කඩු තෝමර පහර ඉවසමින්
සිහියත්, උපේක්ශාවත් රැක ගත යුතුයි.
සිහියත්, උපේක්ශාවත්
වැඩි දියුණු කර ගත යුතුයි.

"දුකෙන් මිදෙන ඒකායන මග"




රෝගියෙකුට බෙහෙත් නොකර
රෝගය ගැන
සාකච්ඡා කරන පිරිසකට
කිසිම විසඳුමක් නැතුව
රෝගියා මැරෙන තුරුත්
සාකච්ඡා කරන්න පුලුවන්.

කවුරු හරි
"රෝගියාට මේ බෙහෙත දෙන්න"
කිව්වොත් පිරිස එකිනෙකාගෙ මුහුණ බලල
ආයෙමත් සාකච්ඡාවට බහිනවා.

රෝගය ගැන කතා කරමින් කල් ගෙවන එක...
රෝගියාට බෙහෙත් කරනවට වඩා පහසුයි

දුක ගැන කතා කළොත්
තම තමන්ට කැමති විදියට
දුකයි,
දුකට හේතුවයි,
දුක නැතිවෙන හැටියි
කතා කරන්න
කවුරුත් හරි කැමතියි..
ඕන තරම්
කතා කරන්නත් පුලුවන්.

දුක කියන්නෙ මොකක්ද කියල
පොතෙන් ඉගෙන ගත්ත දෙන්නෙක්
එකතු වුණාම
දෙන්නටම තියෙන්නෙ
තමන් හදා ගත්ත රූප දෙකක්.
වචන ඇරෙන්න ඒක පෙන්නන්න
වෙන ක්‍රමයක් ඇත්තෙත් නැහැ.
ඉතින් ඒ දෙන්නා (හෝ පිරිස.)
එකිනෙකාට තමන්ගෙ රූපෙ විස්තර කරමින්
අනික් කෙනාගෙ රූපෙ අඩුපාඩු පෙන්වමින්
බුදුන් වහන්සෙ දුන් රූපය
පවා විකෘති කරමින්
දුර කතනයෙන් සංවාදය ගෙනියනවා.

දුකයි,
දුකට හේතුවයි,
දුක නැතිවෙන හැටියි ගැන
තමන් කැමති විදියට
අරුත් ගන්වගෙන
ඒ ගැන කෙළවරක් නැතුව කතා කරනවා.
එකම තහනම් වාක්‍යය
"දුකෙන් මිදෙන මග"

"දුකෙන් මිදෙන ඒකායන මග"
හිතලුවක් නෙමෙයි.
අත් දැකීමක්.

"දුකෙන් මිදෙන ඒකායන මග" ගැන
තමන්ට හිතෙන හිතෙන විදියට
කටට එන ඕන දෙයක් කියන්න බැහැ.
ඒක ගැන කතා කරන්න
මේ හීනෙන් අවදිවෙලා
ඒක කරල බලන්න වෙනව.

"දුකෙන් මිදෙන මග"ට
ප්‍රායෝගිකව බහින කෙනෙකුට
තව දුරටත් මිථ්‍යා දෘශ්ඨි
සමග ජීවත් වෙන්න බැහැ.

අඳුරෙ ඉඳෙගෙන
ඒ වගේම අඳුරෙ ඉන්න අයගෙ හිත්වල
තමන්ගෙ ප්‍රතිරූප ගොඩ නැගුවට
ඔවුන් අතරෙන් කිසිම කෙනෙක්
පහන දල්වන්න දන්නෙ නැහැ.
ඒ ගැන කතා කරන්න කැමතිත් නැහැ.

අඳුරෙන් මිදෙන මග හොයාගෙන
පහනක් දල්ව ගත්ත කෙනා
තව දුරටත්
කාගෙවත් වහලෙක් නෙමෙයි.

ඔහුට පිරිසක් අවශ්‍ය නැහැ.

අඳුරෙ ඉඳගෙන
අඳුර ගැනත්
ආලෝකය ගැනත්
හිතලු ගොඩ නගමින්
කාලය ගත කරන පිරිස
ඒ කාර්යයෙහි
නොකඩවා යෙදෙමින් සිටියදී
පහන දල්වා ගත් තැනැත්තා
ඒ ආලෝකයෙන් ගමන යනවා.