20130716
"දුකෙන් මිදෙන ඒකායන මග"
රෝගියෙකුට බෙහෙත් නොකර
රෝගය ගැන
සාකච්ඡා කරන පිරිසකට
කිසිම විසඳුමක් නැතුව
රෝගියා මැරෙන තුරුත්
සාකච්ඡා කරන්න පුලුවන්.
කවුරු හරි
"රෝගියාට මේ බෙහෙත දෙන්න"
කිව්වොත් පිරිස එකිනෙකාගෙ මුහුණ බලල
ආයෙමත් සාකච්ඡාවට බහිනවා.
රෝගය ගැන කතා කරමින් කල් ගෙවන එක...
රෝගියාට බෙහෙත් කරනවට වඩා පහසුයි
දුක ගැන කතා කළොත්
තම තමන්ට කැමති විදියට
දුකයි,
දුකට හේතුවයි,
දුක නැතිවෙන හැටියි
කතා කරන්න
කවුරුත් හරි කැමතියි..
ඕන තරම්
කතා කරන්නත් පුලුවන්.
දුක කියන්නෙ මොකක්ද කියල
පොතෙන් ඉගෙන ගත්ත දෙන්නෙක්
එකතු වුණාම
දෙන්නටම තියෙන්නෙ
තමන් හදා ගත්ත රූප දෙකක්.
වචන ඇරෙන්න ඒක පෙන්නන්න
වෙන ක්‍රමයක් ඇත්තෙත් නැහැ.
ඉතින් ඒ දෙන්නා (හෝ පිරිස.)
එකිනෙකාට තමන්ගෙ රූපෙ විස්තර කරමින්
අනික් කෙනාගෙ රූපෙ අඩුපාඩු පෙන්වමින්
බුදුන් වහන්සෙ දුන් රූපය
පවා විකෘති කරමින්
දුර කතනයෙන් සංවාදය ගෙනියනවා.
දුකයි,
දුකට හේතුවයි,
දුක නැතිවෙන හැටියි ගැන
තමන් කැමති විදියට
අරුත් ගන්වගෙන
ඒ ගැන කෙළවරක් නැතුව කතා කරනවා.
එකම තහනම් වාක්‍යය
"දුකෙන් මිදෙන මග"
"දුකෙන් මිදෙන ඒකායන මග"
හිතලුවක් නෙමෙයි.
අත් දැකීමක්.
"දුකෙන් මිදෙන ඒකායන මග" ගැන
තමන්ට හිතෙන හිතෙන විදියට
කටට එන ඕන දෙයක් කියන්න බැහැ.
ඒක ගැන කතා කරන්න
මේ හීනෙන් අවදිවෙලා
ඒක කරල බලන්න වෙනව.
"දුකෙන් මිදෙන මග"ට
ප්‍රායෝගිකව බහින කෙනෙකුට
තව දුරටත් මිථ්‍යා දෘශ්ඨි
සමග ජීවත් වෙන්න බැහැ.
අඳුරෙ ඉඳෙගෙන
ඒ වගේම අඳුරෙ ඉන්න අයගෙ හිත්වල
තමන්ගෙ ප්‍රතිරූප ගොඩ නැගුවට
ඔවුන් අතරෙන් කිසිම කෙනෙක්
පහන දල්වන්න දන්නෙ නැහැ.
ඒ ගැන කතා කරන්න කැමතිත් නැහැ.
අඳුරෙන් මිදෙන මග හොයාගෙන
පහනක් දල්ව ගත්ත කෙනා
තව දුරටත්
කාගෙවත් වහලෙක් නෙමෙයි.
ඔහුට පිරිසක් අවශ්‍ය නැහැ.
අඳුරෙ ඉඳගෙන
අඳුර ගැනත්
ආලෝකය ගැනත්
හිතලු ගොඩ නගමින්
කාලය ගත කරන පිරිස
ඒ කාර්යයෙහි
නොකඩවා යෙදෙමින් සිටියදී
පහන දල්වා ගත් තැනැත්තා
ඒ ආලෝකයෙන් ගමන යනවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment