20140419

නිවන් මගට යොමු කරන්නා


http://sadahamrasaayana.files.wordpress.com/2012/05/way.jpg
 

නිවන් මගට යොමු කරන්නා
මග ඵල ලැබූ කෙනෙක්
විය යුතු නැහැ.

“විදසුන් වඩා”
විදසුන් වැඩීමෙන් පිළිසරණක් ලැබූවෙක්,
දුක නිවා ගැනීම ඇරඹූ කෙනෙක් වීම
හොඳටම ප්‍රමාණවත්..

පොතෙන් මග ඉගෙන ගත් කෙනෙකුට
මග පෙන්වන්න බැහැ.

බුදුන් වහන්සේ බුදු වෙන්න කලින්
මග ඵල ලබා නැහැ.
ඒත්
බෝ සතුන් වහන්සේ
කිසිම ජීවිතයක
තමන් ඇසුරු කළ අයට
නිවන් දකින්න මග
පෙන්වා නැද්ද?

නිවන් මගට යොමු කරන්නා
මග ඵල ලැබූ කෙනෙක්
විය යුතු නැහැ.

නිවන් මගට
යොමු කරනවා කියන්නෙ
සතර සතිපට්ඨානයට
යොමු කිරීමයි.

සතිපට්ඨානය තුළ
සම්පූර්ණ මාර්ගය තියනවා.
ඉතා පැහැදිලිව තියනවා.

බුදුන් වහන්සේ කියූදෙයක්
ඊට වඩා හොඳට
ඊට වඩා පැහැදිලිව
කියන්න කෙනෙක්
මේ මිහි පිට නැහැ.

සතර සතිපට්ඨානය
බුදුන් වහන්සේගේම
වචන වලින් ගන්න කොට
මග පැහැදිලියි.

අන් අයගෙ
අර්ථ දැක්වීම් නිසා වෙන්නෙ
අරුත ව්‍යාකූල වීමයි.

සතර සතිපට්ඨාන මග
පියවරෙන් පියවර යන තැනැත්තාට
මග ඉතා සරලයි.
පැහැදිලියි.

බොහෝ අය පටලවාගන්නෙ
මුල ඉඳන් අගටම
සතිපට්ඨානය
එක වර බුද්ධියෙන් තේරුම් අරන්
ආනාපාන සති වඩන්න හිතා ඉන්න නිසයි.

ඔවුන්ට ශ්‍රද්ධාව නැහැ.

ශ්‍රද්ධාව ඇත්තා
අනිවාර්යයෙන්
වීර්යය වඩනවා.

ශ්‍රද්ධාව නැත්තාට
සප්පුරිසංසේවෝ
සද්ධම්ම සවනං අවශ්‍යයි.

සප්පුරිස සංසේවෝ
සද්ධම්ම සවනං අවශ්‍ය වෙන්නෙ
සතිපට්ඨානයෙ ආරම්භයේ එන
මේ සුවිශේෂී වචන ටික ගැන
ශ්‍රද්ධාව ඇති කරගන්නයි,

1, සත්වයාගේ විශුද්ධියට,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, දුක් දොම්නස් අස්තංගත වීමට
4, ප්‍රඥාව ඉහළ යාමට
5, නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

ඒ වචන ටික ගැන
ශ්‍රද්ධාව ඇති කරවන්න
මගඵල ලබා තියෙන්න
ඕන නැහැ.

“විදසුන් වඩා”
එයින් පිළිසරණක් ලැබූවෙක්,
දුක නිවා ගැනීම
ඇරඹූ කෙනෙක් වීම
හොඳටම ප්‍රමාණවත්..

මම මේ වචන ටික
සත්‍ය බව
දිවිහිමියෙන් පිළිගන්නවා.

මග පල නොලැබුවාට
මේ අනුව සිහියෙන්,
උපේක්ශාවෙන් ගත කිරීමෙන්
මගෙ සෝ තැවුල් ඉක්මවා යන්න පුලුවන්
මගෙ දුක් දොම්නස් අඩුවෙලා යනවා.

අන් අයගෙ දුක පෙනෙන, දැනෙන,
ඔවුනුත් තමන් වගෙම
දුක් විඳින අය බව වැටහෙන,
ඔවුන් ඒ දුකෙන් මුදවන්න
තමන්ට හැකි දෙයක් කරන්න සූදානම්,
මෛත්‍රී සහගත සිතක් ඇති
කරුණාවන්තයා සත්පුරුෂයෙක්.

මම මේ මගට පිළිපන්නෙ
එවැන්නන් නිසයි.
මගේ දුක නිවෙන්න පටන් ගත්තෙ
ඔවුන් නිසයි.
ඔවුන් මග පල ලැබූවන් නෙවෙයි.
ඒත් මෛත්‍රී සහගත සිත් ඇති
කරුණාවන්ත සත්පුරුශයන්.

සත් පුරුෂයාගෙ ලොකුම වගකීම
සතර සතිපට්ඨානය පිළිබඳව
තමන් දන්න කියන අය තුළ
හමුවන අය තුළ
ශ්‍රද්ධාව ඇති කිරීමයි.

ශ්‍රද්ධාව ඇත්තාට
එතන ඉඳලා ගමනට
මග පෙන්වන්න
බුදුන් වහන්සෙ ඉන්නවා.
අක්ඛාතරො තථාගත..

තුම්හේහි කිච්චං ආතප්පං

මගට බහින්නෙ නැතුව
මග දැනගන්න බැහැ.
සාමාන්‍ය මාර්ගයක වගේම
නිවන් මගෙත්
පියවර කීපයක් ගියාම
එතනින් එහාට මග පෙනනවා.

ආනාපාන සතිය වඩන කොට
සම්පජානෝ සතිය වැටහෙනවා.
එහෙම නොපෙනෙන්නෙ
සබ්බකාය පටිසංවේදී
කියන පදයෙ තේරුම
“සබ්බකාය = ආශ්වාස කය”
කියල වරදවා ගන්න අයටයි.
එයින් වෙන්නෙ කය නොදැනී යන එකයි.
එය කායානුපස්සනාවට පටහැණියි.

“සබ්බකාය = සමස්ත සිරුර”
කියල ගන්න කෙනාට
අත් දැකීමෙන්
සම්පජඤ්ඤය වැටහෙනවා.

ඒ විදියට පියවරෙන් පියවර යන්න පුලුවන්.

මග පෙන්වන්න
බුදුන් වහන්සෙ ඉන්නවා.
අක්ඛාතරො තථාගත.

තුම්හේහි කිච්චං ආතප්පං

මගට බහින්නෙ නැතුව
මග දැනගන්න බැහැ.
සාමාන්‍ය මාර්ගයක වගේම
පියවර කීපයක් ගියාම
එතනින් එහාට මග පෙනනවා.