20130324

මේ දුකට වඩා දුක් නොවිඳ ඉන්න එක හොඳයි..-ඉන්ද්‍රියභාවනා.


අද උදේ
මම පුතාටත් දෝණිටත්
ඇවිත් වාඩිවෙන්න කිව්වා.

දෝණි ආවෙ අඬාගෙන.
මම දෙන්නගෙන් ඇහුවා
ඔය දෙන්නගෙන් වඩාත් ශක්තිමත් කවුද
වඩාත් සැනසිල්ලෙන් ඉන්නෙ කවුද කියල.
අඬන කෙනාද නැති කෙනාද? කියල.
දෝණි අඬ අඬාම අයියව පෙන්නුවා.

අතක් උස්සලා
මම ඔවුන්ට කිව්වා
මෙහෙම අත උස්සගෙන ඉන්නකොට
මගෙ අත රිදෙන්න ගන්නවා.
අත රිදෙන එක ගැන සිහියෙන්
මට ඉන්න පුලුවන්.
මට ඒ ගැන හිතෙනුත්
දුක්වෙන්න පුලුවන්.

අත රිදෙන එක ගැන සිහියෙන්
උපේක්ෂාවෙන් හිටියොත්
මට තියෙන්නෙ එක දුකයි.
මම ඒ ගැන හිතෙනුත්
දුක් වෙන්න පටන් ගත්තොත්
මට දුක් දෙකයි.

මට කැමති නම්
එක දුකක් විඳින්න පුලුවන්.
නැත්නම් ඒ දුක් දෙකම
විඳින්නත් පුලුවන්.

මම ඔවුන්ගෙන් ඇහුවා
හිතෙන් දුක් විඳින වෙලාවද වඩා හොඳ?
නැත්නම් හිතෙන් දුක් නොවිඳ ඉන්න වෙලාවද?

ඔවුන් අනිවාර්ය පිලිතුර දුන්නා.

"එහෙනම් මීට පස්සෙ
දුක් විඳින වෙලාවට
මේ දුකට වඩා
දුක් නොවිඳ ඉන්න එක හොඳයි කියල
සිහි කරන්න."
---------------------------------

මේ ක්‍රමය
ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙ
බුදුන් වහන්සෙ
මේ විදියට විස්තර කරනවා.

ආනන්දය,
කිසෙයින් ආර්‍යවිනයෙහි
අනුත්තර ඉන්ද්‍රියභාවනා වෙයි යත්:
ආනන්දය, මෙසස්නෙහි මහණහට
ඇසින් රූ දැක,  කනින් ශබ්ද අසා, නාසයෙන් ගන්ධාඝ්‍රාණය කොට,  දිවෙන් රස විඳ,  කයින් ස්ප්‍රෂය විඳ
මනාප උපදී,
අමනාප  උපදී,
මනාපමනාප උපදී,

හේ මෙසේ දැන ගනී:

‘මට මේ මනාපය උපන,
අමනාපය උපන,
මනාපමපනාපයඋපන.

හෙද සඞඛත ය,
ඖදාරික යැ,
ප්‍රතිත්‍ය සමුප්පන්න යි.

යම් උපේක්ෂාවක් ඇද්ද
තෙල ශාන්ත යැ,
තෙල ප්‍රණිත යැ’යි කියා යි.

ඔහුට ඒ උපන් මනාපය
උපන් අමනාපය
උපන් මනාපමනාපය නිරුද්ධ වෙයි.
උපේක්ෂාව පිහිටා සිටී.

ආනන්දය, යම් සේ ඇස් ඇති පුරුෂයෙක්
ඇස ඇර පියාලන්නේ හෝ වේ ද
ඇස පියා ඇරලන්නේ හෝ වේ ද,
එසෙයින් මැ ආනන්දය, යම් කිසිවක්හට
මෙසේ ශීඝ්‍ර වැ
මෙසේ වෙලෙවි වැ
මෙසේ නිදුකින්
උපන් මනාපය
උපන් අමනාපය
උපන්මනාපමනාපය
නිරුද්ධ වේ ද,
විදර්ශනොපෙක්ෂාව පිහිටා සිටී ද,
ආනන්දය,
මේ ආර්‍ය්‍යවිනයෙහි
චක්ෂුර්විඥෙය රූප විෂයෙහි, ශ්‍රෝතවිඥෙය ශබ්ද විෂයෙහි,  ඝ්‍රාණවිඥෙය ගන්ධ විෂයෙහි,  ජිව්හාවිඥෙය රස විෂයෙහි, කායවිඥෙය ස්ප්‍රෂ්ටව්‍ය විෂයෙහි, මනොවිඥෙය ධර්ම විෂයෙහි අනුත්තර වූ ඉන්ද්‍රියභාවනා යයි කියනු ලැබේ.

20130319

සිපිරිගෙයින් විදසුනට -


සිරකරුවන් දහසකට අධික පිරිසක් සඳහා
1994 අප්‍රේල් මස 4දා සිට දස දිනක් පුරා
ඉන්දියාවේ නවදිල්ලියේ තිහාර් සිපිරිගෙයිහිදී
එස්.එන්.ගොයෙන්කා තුමා සහ ඔහුගේ සහායක ගුරුවරුන්
පවත්වන ලද විපස්සනා පාඨමාලාව පිළිබඳ
සිංහල හඬකැවූ වාර්තා චිත්‍රපටයකි.

http://www.dhamma.org/en/av/dtdv.shtml


.

20130318

සමථ – විදර්ශනා වෙනස


    සාමාන්‍ය පුහුදුන් පුද්ගලයාගේ
    කෙලෙස් සහිත හිත
    මඩ වතුර වීදුරුවක් වගෙයි.
               මේ මඩ වතුරෙන් පැහැදිලි වතුර ලබා ගන්න
               ක්‍රම දෙකක් තියනවා.
               බුද්ධ පූර්ව සමයේ අටවෙනි ධ්‍යානය දක්වා
               හිත සමාහිත කරගත් ඉරිසිවරුන්
               පළමු ක්‍රමය වන සමථ භාවනාව වැඩුවා.
               අටවෙනි ධ්‍යානය තෙක් සමාධිය වැඩූ
               සිදුහත් තවුසාණෝ ඒ සමාධිය මිථ්‍යාවක් බව
               වටහාගෙන තවත් දුරට ගවේෂණය කොට
               විදර්ශනාව සොයා ගත්තා.
    සාමාන්‍ය පුහුදුන් පුද්ගලයා
    කෙලෙස් නිසා අඳුරුවුණ
    යටි හිතට සාපේක්ෂව
    තමන්ගෙ හිතේ මතුපිට තලය
    පිරිසිදු තත්වයකින් පවත්වගෙන
    ජීවිතේ ගත කරනවා.
    ඔහුට
    යම් දුරකට
    ශීලය උපකාර වෙනවා.
    කාමය, දුක, තරහ, බය, ආදී
    කෙලෙස් මඩ කැලැත්තුණාම
    සිල් බිඳෙනවා.
    කැළඹුණ, අපිරිසිදු හිතින්,
    ඔහු  හිතන, කියන, කරන දේවල්
    ඔහුටත්, අනුන්ටත් හානිකරයි.

    මේ සත්‍යතාවය දකින කෙනෙක්,
    කෙලෙස් වලින් හිත මුදා ගන්න
    උනන්දු වෙනවා.
    හිතේ කෙලෙස් මඩ
    පතුලට තැන්පත් කරන ක්‍රම
    සමථ භාවනා වැනි ක්‍රම
    උපයෝගී කරගෙන
    හිතේ කෙලෙස් මඩ
    හිත පතුලට තැන්පත් කරලා
    හිත ටිකක් පිරිසිදු කර ගන්නවා.
    හිත පුළුල් වෙනවා.
    කරන කියන දේ
    පහසුවෙන් කරන්න
    හිතේ තැන්පත් කම උදව් වෙනවා.
    සමාජය ඔවුන්ට යහපත් අය විදියට
    ගරු බුහුමන් කරනවා.
    ඒ වුණත්,
    ඔහුගෙ හිතේ කෙලෙස් මඩ,
    කලින් විදියටම තියනවා.
    මොකක් හරි වුණ ගමන්
    කැලැත්තෙනවා.

    මඩ වතුර වීදුරුවක
    මඩ පතුලට තැන්පත් කරලා
    වතුර පිරිසිදු කරන්න පුලුවන්…
    ඒත් මොකක් හරි වුණ ගමන්
    කැලැත්තෙනවා.
    රාග, ද්වේශ, මෝහ කෙලෙස් වලින්
    පුහුදුන් හිත කැළඹිලා
    සාමාන්ය කෙනෙක් වගේම
    ඔහුත් වරදෙ බැඳෙනවා.

    මේ සත්‍යතාවය දකින කෙනෙක්,
    විදසුනට යොමුවෙනවා.

    කය සහ කයේ වෙනස්වීම් [වේදනා],
    සිත සහ සිතේ  වෙනස් වීම් [ධම්ම]
    පිළිබඳව සිහියෙන් පසුවෙනකොට
    හිතේ කෙලෙස් වලට
    මතුවෙන්න ඉඩ ලැබෙනවා.
    මතුවෙන කෙලෙස්
    උපේක්ශාවෙන් දකිනවා.

    රාග, ද්වේශ, මෝහ කෙලෙස්,
    කයේ වේදනා විදියටත්,
    සිතේ නීවරණාදී ධර්මතා විදියටත් ඉපදිලා,
    උපදින උපදින කෙලෙස් නිරෝධ වෙනවා.
    කෙලෙස් නිරෝධ වෙලා
    සිත පිරිසිදු වෙනවා.
    සම්මා සමාධිය වැඩෙනවා.

    හිතේ මතුවෙලා නිරෝධ වෙන කෙලෙස්
    උපේක්ශාවෙන් දකින්න හිත පුහුණු වෙන නිසා
    සාමාන්‍ය ජීවිතේදි කෙලෙස් මතුවුණත්
    ලබා ගත්ත සමාධිය
    පහසුවෙන් බිඳෙන්නෙ නැහැ.

    රහතන් වහන්සේ
    කෙලෙස් සපුරාම නසල තියන නිසා
    සමාධිය ස්ථාවරයි.
    මුගලන් මහ රහතන් වහන්සේට
    පිරිනිවන් පාන්න හේතුවෙන තරමට
    ඇට කුඩු වෙන තුරු පහර කාළත්
    සමාධිය බිඳුණෙ නැහැ.

    විදසුන් වඩන්නාට
    මුළු ජීවිතයම…,
    තමන් හිතන, කරන, කියන,
    තමන් තුළ සිදුවෙන හැමදේමත්,
    තමන්ට බැහැරින් සිදුවෙන හැමදේමත්,
    විදසුන් ඇස තියුණු කරවන
    උර ගල් බවට පත් වෙනවා.
  • සමථ භාවනාවෙන් රාගය ප්‍රහීණ වෙයි.
    විදර්ශනාවෙන් අවිද්‍යාව ප්‍රහීණ වෙයි.
    -අංගුත්තර නිකාය – දුක නිපාතය -බාල වග්ග තතියො
විදර්ශනාවෙදි කෙලෙස් මතුවෙන්නෙ
ශරීරයේ ඇති වෙන වේදනාවන් විදියටයි.
සාමාන්‍ය ජීවිතේදි උණත්
තරහ, දුක, බය, ලැජ්ජාව ඇතිවෙන කොට
ශරීරයෙ අදාල සංවේදනා ඇතිවෙනවා.
අපි කරන්නෙ
එක්කො ඒවා මග හරිනවා,
එවයින් පැනල යනවා,
නැත්නම් ප්‍රතික්‍රියා දක්වලා,
අලුත් ප්‍රශ්න ඇති කර ගන්නවා.

වේදනාවන්ට උපේක්ශාව අඩු කෙනෙකුට
සමථය වඩලා විදර්ශනාවට එන එක පහසුවක්.

ඒත් ගමන පහසුවෙන් යන්න
සමථ වාහනය සොයාගන්න බොහෝ දෙනා
ඒ වාහනයෙන් යද්දි
ලෝකයාගෙන් ලබන ලාභ, සත්කාර,
ගරු බුහුමන් වලට වහ වැටිලා
යන්නෙ කොහේද කියන එකත් අමතක වෙලා.
ධ්‍යානත් නැති කරගෙන නිවන් මගත් අවුරගෙන,
අන්තිමට වාහනෙත් පෙරළගෙන
අපාගත වෙන විදියෙ
පව්කම් වලට පෙළඹෙනවා.
දැහැන් පිරිහිලා අතරමං වෙලා
නින්දා විඳින සමථයානිකයින්
අද සමාජයෙ සුලබයි.
සමහරු දැහැන් පිරිහුණාම,
සාමාන්‍ය පුහුදුන් මිනිසාටත් වඩා
ප්‍රපාතයට වැටෙනවා.

බුදුන් වහන්සෙ
සමථය වැඩීම අනුමත කළාට,
උන්වහන්සෙගෙ ඉගැන්වීම් තුල
සමථය “ඉගැන්වූවාද” කියන එක
සැක සහිතයි.

මේ අනුව බලන කොට
සමථ වඩන කෙනා තුළ
ප්‍රබල ශීලයක් අවශ්‍යයි.
ප්‍රබල ශීලයක් නැතිව
සමථ වඩන බොහෝ දෙනා
නොමග යන හැටි
නිතර දකින්න පුලුවන්.
විදසුන් වඩන කෙනාගෙ
අවිද්‍යාව එමගින්ම දුරුවෙලා
ලබන ප්‍රඥාව තුලම
ශීලයත්, සමාධියත් තියන නිසා
ගමන හෙමින් වුණත්
සපුරාම ආරක්ෂිතයි.

විදසුන් වැඩීමෙන්
එදිනෙදා ඇතිවෙන ප්‍රඥාව
එදිනෙදා ජීවිතයට හොඳටම ප්‍රමාණවත්.

අලුත් ගැටලු එනකොට
ඒ ගැටලු එක්ක ගැටීමෙදි,
සිහියත්, උපේක්ශාවත් දියුණු වෙලා,
එවැනි ගැටලු යළි ඇති වෙනකොට
ඊට වඩා සාර්ථකව
මුහුණ දෙන්න පුලුවන් වෙනවා.

ඒ ප්‍රඥාව
විදසුනෙන් තියුණු වෙවී,
සසර පුරා අපත් සමග යන
අලුත් ඇසක්.

සසර ගමන පුරා
මෝහයෙන් අඳුරු නොවී
රාගයෙන්, ද්වේශයෙන් කිලිටි නොවී
ලෝකය දිහා බලන්න
විශේෂ දර්ශනයක් ඇති
තියුණු ඇසක්,
“විදර්ශනා”.

20130305

භික්‌ෂු සමාජයේ විනය ශික්‌ෂා පද



චේතනාව හා බෞද්ධ නීතිය
නීතිඥ එස්‌. ඉගලහේවා

අපරාධ නීතියේ සහ බෞද්ධ ආරාම නීතියේ සමහර ලක්‍ෂණ හා මූලධර්ම සංසන්දනාත්මකව සලකා බැලීමක්‌


බෞද්ධ නීතිය Buddhist Law

බුදුන් වහන්සේ සිය ශ්‍රාවක භික්‌ෂු භික්‌ෂුණි සමාජය නොහොත් සංඝ සමාජය එහි සාමාජිකයන්ගේ හැසිරීම් රටාව පාලනය කරනු ලැබූ නීති පද්ධතියක්‌ හෝ මගින් ප්‍රජාතාන්ත්‍රික පදනමක්‌ මත සකස්‌ කළ සේක. එවැන්නක්‌ ඇති කිරීමට මූලික වූ කරුණු බුදුන්වහන්සේ විසින්ම දේශනා කර ඇත. පෙර සිටි සමහර බුදුවරුන්ගේ ධර්මය බොහෝ කල් පැවතීමටත්, සමහර බුදුවරුන්ගේ ධර්මය කෙටි කාලයක්‌ පැවතීමටත්, හේතු කවරේදැයි ශ්‍රාවක භික්‌ෂූන් ප්‍රශ්න කළ විට බුදුන්වහන්සේ ප්‍රකාශ කළේ, විනය රීති මාලාවක්‌ හෝ ශික්‍ෂණ රීති පද්ධතියක්‌ පැන වූ බුදුවරුන්ගේ ධර්මය දීර්ඝ කාලයක්‌ පැවති බවත්, එසේ විනය නීති මාලාවක්‌ නොපැනවූ බුදුවරුන්ගේ ධර්මය පැවතියේ මඳ කාලයක්‌ පමණක්‌ බවත්ය. බුදුන්වහන්සේටද එවැනි නීති මාලාවක්‌ පනවන ලෙස භික්‌ෂුහු ඇවටිලි කළහ. එහෙත් බුදුන්වහන්සේ ඒ අවස්‌ථාවේ ප්‍රකාශ කළේ ඒ අවස්‌ථාව වන විට සිටි 500 ක්‌ පමණ වූ ශ්‍රාවක භික්‌ෂූන් වහන්සේ පිරිස සුළු සංඛ්‍යාවක්‌ වූ නිසාත්, ඔවුන් ඒ වන විට මාර්ග ඵල ලාභීන් වූ නිසාත්, දැන්ම එවැනි ව්‍යවස්‌ථා මාලාවක අවශ්‍යතාවයක්‌ නොමැති බවයි. එවැනි නීති මාලාවක්‌ අවශ්‍ය වන්නේ සංඝ සමාජය වඩාත් වර්ධනය වූ අවස්‌ථාවක බවද උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළ සේක.

භද්දලී සූත්‍රයෙහි (ම.නී) එන සිද්ධියක්‌ අනුව මුල් කාලයේ විනය නීති තිබුණේ සුළු කාලයක්‌ වුවද ඒ අවධියේ මාර්ගඵල ලාභීන් වැඩියෙන් සිටීමටත්, විනය නීති වැඩියෙන් තිබූ පසු කාලයේ සත්‍යාවබෝධ කළ පිරිස අඩුවීමටත් හේතු කවරේ දැයි භද්දලී භික්‌ෂුව බුදුන් වහන්සේගෙන් විමසූ අවස්‌ථාවේ උන්වහන්සේ ප්‍රකාශ කළේ සමස්‌ත සමාජයම පිරිහීයාම බවයි.

බෞද්ධ සංඝ සමාජය පොදු තාපස නිකායක්‌ ලෙස ආරම්භ වුවත්, එය ජන රජයක පවත්නා ගෞරව සම්ප්‍රයුක්‌ත බවින් හා උදාර බවින් යුත් සමාජයක්‌ ලෙස ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වුණි. උත්තරීතර සදාචාරාත්මක පරමාර්ථත්, අචල චිත්ත පාරිශුද්ධිය ලබාගැනීමත් එකී සමාජයේ අරමුණු විය. සංඝ සමාජයත්, එහි සාමාජිකයනුත් හා රාජ්‍යතන්ත්‍රය අතරත් ඇති සම්බන්ධතාවය සලකා බැලීමේදී "විනය නීති" "නීති විමාංශයක" (Jurisprudence) ඇති ගෞරවනීය භාවයට අයිතිවාසිකම් ලැබීමට සුදුසුකම් ඇත. විනය නීති සඳහා රාජ්‍ය අනුග්‍රහය හැම විටම ලැබිණ. එම නිසාම ඒවාට නීතියේ බලයද තිබිණ. කෞටිල්‍ය නැමති සම්භාවනීය භාරතීය අර්ථ ශාස්‌ත්‍රඥයා පවසන පරිදි සංඝ සමාජයේ හා කුලවල පැවති නීතිය ආරක්‍ෂා කිරීම රජුගේ වගකීම විය.

ලිච්ඡවි පුර ස්‌ත්‍රියක්‌ පරදාර සේවනයෙහි යෙදීම නිසා කෝපයට පත් ඇයගේ ස්‌වාමිපුරුෂයා ඇය මැරීම සඳහා ප්‍රයත්න දැරූ අවස්‌ථාවේ ඇය පැන ගොස්‌ සාවත්තියේදී පැවිදි බව ලබාගත්තාය. තම අභිමතාර්ථය ඉෂ්ට කර ගත නොහැකි වූ සැමියා මේ සම්බන්ධයෙන් පසේනදී රජතුමාට පැමිණිලි කළේය. ස්‌ත්‍රිය පැවිදි වීම නිසා රජු ඇයට දඬුවම් නොකළේය. මේ අනුව සංඝ සමාජයේ පාලනයෙන් රජු ඈත් වූ බව පෙනේ. තවත් අවස්‌ථාවක රජුගේ දැව ගබඩාවකින් ගබඩාකරු නොමග යවා දැව රැගෙන ගිය භික්‌ෂුවක්‌ සම්බන්ධයෙන් රජු ක්‍රියා නොකොට ඒ සම්බන්ධයෙන් බුදුන්වහන්සේට සුදුසු ක්‍රියා මාර්ගයක්‌ ගැනීමට ඉඩ හැරියේය.

මේ අනුව සංඝ සමාජය තුළ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ අඛණ්‌ඩව පැවති සම්ප්‍රදායයන් අනුව කටයුතු කිරීමේ වරප්‍රසාදය සංඝ සමාජයට ලැබුණු අතර එම කටයුතු සම්බන්ධයෙන් පිටස්‌තර අධිකාරීන් කිසිවකුත් ඇඟිලි ගැසුවේ නැත.

බුදුරදුන් විනය නීති පැනවූයේ අවශ්‍යතාවක්‌ මතු වූ විට පමණි. විනය ශික්‌ෂා පද පැනවීමට හේතු වශයෙන් බුදුන් වහන්සේ හේතු දහයක්‌ දැක්‌වූහ.

1සංඝ සමාජයේ අභිවෘද්ධිය

2 සංඝ සමාජයේ පහසුව

3 තක්‌කඩියන් මැඩීම

4 යහපත් වර්යාවෙන් යුත් භික්‌ෂුන්ගේ යහපත

5 ඒ ඒ අවස්‌ථාවල සංඝ සමාජයේ ඇතිවන අපචාර වැළැක්‌වීම

6 ඉදිරියේ ඇතිවිය හැකි අපචාර වැළැක්‌වීම

7 තමන්වහන්සේගේ ධර්මයෙහි නොපැහැදුනු අයගේ විශ්වාසය ඇතිකිරීම

8 පැහැදුනුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම

9 ආයය ධර්මයාගේ චිරජීවනය

10 විනයගරුක බව ප්‍රවර්ධනය කිරීම

විනය පිටකයේ සඳහන් බරපතළ වැරදි සහ අපරාධ නීතිය (Garve offences under the vinaya rules and the penal Law)

කලින් සඳහන් වූ පරිදි විනය නීති පද්ධතිය "පාතිමෝක්‌ඛ" නම් වේ. මේවා ගණනින් 227 කි. ඉන් හතරක්‌ මහා දණ්‌ඩනයට යටත්වන බරපතළ වැරදිය. සාමාන්‍ය නීතියේ එවැනි වරදවල් උපරිම දණ්‌ඩනයට යටත් වේ. අපගේ අපරාධ නීතිය අනුව එවැනි වරදක්‌ කළවුන් මරණීය දණ්‌ඩනයටද යටත් වේ. එහෙත් ශාරීරික දඬුවම් පැමිණවීම බුදුදහම පිළිකෙව් කරන බැවින් එවැනි බරපතළ වරදකට දුන් උපරිම දඬුවම් වූයේ සංඝ සමාජයෙන් නෙරපා දැමීමයි. එය "පාරාජිකා" නමින් හැඳින්වේ. භික්‌ෂු විනයෙහි බරපතළ වැරදි ලෙස හැඳින්වෙන වැරදි හතරක්‌ දැක්‌වේ. ඒවා හැඳින්වෙන්නේ "පැරදුනේය" යන අර්ථයෙන් පාරාජිකා ශික්‌ෂා පද යනුවෙනි. මෙයින් අදහස්‌ වන්නේ සත්‍ය සොයා යන ගමනේ බිඳ වැටීමක්‌ය. එවැන්නෙකුට තවදුරටත් ආයH_ය සමාගමෙහි රැඳිය නොහැක එවැනි වරදක්‌ කළ අයෙකු පුනරුත්ථාපනය කළ නොහැක. පසු කලෙක එකතු වූ ලෙස සැලකෙන "තුල්ලච්චය" සහ "දුක්‌ඛත" නමින් හැඳින්වෙන බරපතළ වැරදි දෙකක්‌ ගැනද සඳහන් වේ. එහෙත් ඒවා පාරාජිකා වැරදිවලට වඩා බරපතලකමින් අඩුය. එවැනි වරදවල් සඳහා ලැබෙන දඬුවම උපසපන් ජ්‍යෙෂ්ඨ භික්‌ෂුන්ගෙන් සමන්විත උපෝසථ කර්ම නමින හැඳින්වෙන රැස්‌වීමකදී කළ භික්‌ෂුවක්‌ විසින් කරනු ලබන හෙළිදරව්වකින් හා පසුතැවිල්ලක්‌ ප්‍රකාශ කිරීමෙන් නිරාකරණය කරනු ලබන උපෝසථකාමී ශික්‌ෂාපද නම් වේ.

භික්‌ෂු විනය ශික්‌ෂාපද ඒවායේ බරපතළකම අනුව සංඝාදිසේස, අනියත නිස්‌සග්‍ය පාචිත්‍යය, පව්දේශනිය, සේකීය හා අධිකරණ සම්මත යනුවෙන් කොටස්‌ ගණනාවකි. මෙයින් සංඝාදිසේස ශික්‌ෂාපද, තුල්ලච්චය හෝ දුක්‌ඛත වැරදි ගනයට ගැනෙන බරපතළ වැරදිය. එහෙත් ඒවා පාරාජිකා වැරදි නොවේ. ඉහත කී වර්ග පිළිවෙළින් බරපතළ කමින් අඩු වේ. සේකීය යනු පුහුණුවීම්වලට අදාළ නීතියයි. අධිකරණ සම්මත යනු විවාදයට බඳුන් වූ කරුණු සමථයකට පත්කළ හැකි ඒවාය. මෙම නීති සියල්ල සලකා බැලීම මෙම ලිපියෙන් අදහස්‌ නොකෙරේ. මෙම සාකච්ඡාවට සීමා වන්නේ "පාරාජිකා" නම් බරපතළ වැරදි අපගේ දණ්‌ඩ නීති සංග්‍රහයේ දැක්‌වෙන බරපතළ වැරදිවලට අදාළ ලක්‌ෂණ සමග කොතරම් දුරට ගැලපේද යන්න සලකා බැලීමයි. ඒවා ගැන වුවද හැම ලක්‌ෂණයක්‌ම සලකා බැලීමට බලාපොරොත්තු නොවේ.

සමහර සුළු වැරදි සම්බන්ධයෙන් බොහෝ විට දඬුවම වූයේ වැරැද්ද කළ භික්‌ෂුව පරිවාස කාලයකට යටත් කොට ඔහු ගැන විමසිල්ලෙන් පසුවීමට අධීක්‌ෂණ භික්‌ෂුව ලෙස ජ්‍යෙෂ්ඨ භික්‌ෂුවක්‌ පත්කරනු ලැබීමයි. එකී භික්‌ෂුව වැඩිදියුණු වී ඇත්නම් පරිවාස කාලය ඉවත් කෙරේ. එසේ නොවුනහොත් පරිවාස කාලය දීර්ඝ කෙරේ. මෙය අපගේ රැකියා ක්‍ෂේත්‍රය තුළ අලුත් සේවකයකු පරිවාස කාලය නමැති පරීක්‌ෂණ කාලයකට යටත් කිරීම හා සමාන වේ. පරිවාස සංකල්පය මෙන්ම එම වචනයද ලැබුණේ ආරාම නීතියෙනි.

සතර පාරාජිකා

1. මෙථුන ධම්ම පාරාජිකා (Parajika Rule of sexual indualgence)

2 අදත්තාදාන පාරාජිකා (Parajika Rule of talking by means of theft what is not given)

3 මනුස්‌ස විග්ගහ පාරාජිකා (Parajika Rule of international killing of a human being)

4 උත්තරී මනුස්‌ස පාරාජිකා (Parajika Rule of false claim for supernatural powers)

1. මෛථුන ධම්ම පාරාජිකා

භික්‌ෂුවක්‌ ලිංගික සංසර්ගයෙහි නොයෙදිය යුතුය. එසේ කළ හොත් ඔහු පාරාජිකා වන්නේය. ඔහුට තව දුරටත් සංඝ සමාජයෙහි රැඳී සිටිය නොහැක. මෙය මුලින් පැන වූයේ මනුෂ්‍යයන් අතර වන ලිංගික සම්බන්ධකම්වලට පමණක්‌ වුවද, පසුව පැන නැඟී අවස්‌ථාවන් අනුව සතුන් සමග සංසර්ගයේ යෙදීම මෙන්ම අස්‌වාභාවික හා ස්‌ව ලිංගික ක්‍රියාවන් ද ඇතුළත් කර ඇත.

මෙම පළමුවන පාරාජිකා විනය පැනවීමට ආසන්නම හේතුව වූයේ බුදුන් දවස විශාලා පුරයට නුදුරුව විසූ නාලන්දක නම් සිටුවරයාගේ පුත් "සුදින්න" ඇසුරින් වූ සිද්ධියකි. සුදින්නට බුදුන්වහන්සේ කෙරෙහි ඇති වූ අසීමිත භක්‌තිය නිසා උන්වහන්සේගේ ශ්‍රාවකයකු වීමේ දැඩි වුවමනාවක්‌ ඇති විය. තම එකම පුත් සුදින්නගේ බලවත් ඇවිටිල්ල නිසා දෙමව්පියෝ අකමැත්තෙන් වුවද එයට එකඟත්වය පළ කළහ. මෙසේ දෙමවුපියන්ගේ කැමැත්ත අවශ්‍ය වූයේ දෙමවුපිය කැමැත්ත නොමැතිව පැවිදි කරවීමට බුදුන්වහන්සේ අකමැති වූ නිසාය. සුදින්න මහණ වී මහණ දම් රකිමින් ශික්‌ෂාකාමි ජීවිතයක්‌ ගත කළේය. ඔහු පිණ්‌ඩපාතය සඳහා ගමෙහි සැරිසරන විට දෙමවුපියන්ගේ නිවසටද පිඬුසිඟා යැමේ සිරිතක්‌ විය. මෙසේ හමුවන හැම අවස්‌ථාවකම පැවිදි ජීවිතය අතහැර ඇවිත් තම පරපුර ඉදිරියට ගෙන යැම සඳහා දරුවකු ලබාදෙන ලෙස දෙමවුපියන් ඇවිටිලි කළත්, සුදින්න කැමැත්තක්‌ දැක්‌වූයේ නැත. දිනක්‌ දෙමවුපියන් සුදින්නගේ පෙර භාර්යාව කැඳවා ගෙන ගොස්‌ සුදින්න වැඩ සිටි කුටියෙහි රඳවා ආහ. පසුව සුදින්න තම පෙර බිරිය සමග මෛථුන සේවනයෙහි යෙදීම නිසා ඇයට දරුවෙකු ලැබිණ. මේ සිද්ධිය කටින් කට පැතිර ගොස්‌ මහජනයා භික්‌ෂුන්ට පොදුවේ දොස්‌ පැවරීමට පටන් ගත්හ. මෙම සිද්ධිය බුදුන් දැනගැනීමෙන් පසු ඒ ගැන සුදින්නගෙන් විමසා කරුණු දැනගැනීමෙන් පසු සුදින්න කළ ක්‍රියාව සත්‍යාවබෝධය සඳහා ආරය මාර්ගයකට පිවිසියකුට තරම් නොවන බව කියා දොස්‌ පවරා මෙම පළමු පාරාජිකා ශික්‌ෂාපදය පනවන ලදී.

මෙහිදී අප සටහන් කර ගත යුතු ඉතාමත් වැදගත් දෙයක්‌ ඇත. සුදින්න පාරාජික වූයේ නැත. බුදුන්වහන්සේ ඔහුට දඬුවම් නොකළහ. හේතුව සුදින්න එම වරද කරන අවස්‌ථාවේ එවැනි නීතියක්‌ නොතිබූ නිසාය. බුදුන්වහන්සේ පැන වූ හැම නීතියකදීම පළමුවන වැරදිකරු දඬුවමකට ලක්‌වූයේ නැත. උන්වහන්සේ අතීතයට බලපාන නීති (අතීකාලානුයෝගි) (Ex post Facto Laws) පැනවූයේ නැත. මෙම මූලධර්මය අදත් පිළිපදිනු ලබන ඉතා වැදගත් මූලදර්මයකි. බුදුන්වහන්සේ විනය නීතියක්‌ පැනවූයේ කිසියම් භික්‌ෂුවක්‌ විසින් මෙහි ඉහත දැක්‌වූ කරුණු දහයට යටත් වන කිසියම් අකටයුත්තක්‌ කළ විටකදී පමණි.
http://www.divaina.com/2009/11/01/siya09.html
 

මේ හා සබැඳෙන ඉතිරි ලිපි.


3, ඉහත දැක්වෙන ලිපිය
  


විදසුන් නැති තැනැත්තාට, මිත්‍යා දෘෂ්ටිය උපදිනවා.

නමො තස්‌ස භගවතො අරහතො සම්‌මාසම්‌බුද්‌ධස්‌ස...!


1. එවං මෙ සුතං – එකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්‌ඛූ ආමන්‌තෙසි – ‘‘භික්‌ඛවො’’ති. ‘‘භදන්‌තෙ’’ති තෙ භික්‌ඛූ භගවතො පච්‌චස්‌සොසුං. භගවා එතදවොච.

මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬුසිටුතුමාගේ ජේතවන ආරාමයේ වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි“යි කියා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කොට වදාළ සේක. ඒ භික්ෂූන් වහන්සේලා ද, “පින්වතුන් වහන්ස“ කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.


‘‘අවිජ්‌ජා, භික්‌ඛවෙ, පුබ්‌බඞ්‌ගමා අකුසලානං ධම්‌මානං සමාපත්‌තියා, අන්‌වදෙව  අහිරිකං අනොත්‌තප්‌පං. අවිජ්‌ජාගතස්‌ස, භික්‌ඛවෙ, අවිද්‌දසුනො මිච්‌ඡාදිට්‌ඨි පහොති; මිච්‌ඡාදිට්‌ඨිස්‌ස මිච්‌ඡාසඞ්‌කප්‌පො පහොති; මිච්‌ඡාසඞ්‌කප්‌පස්‌ස මිච්‌ඡාවාචා පහොති; මිච්‌ඡාවාචස්‌ස මිච්‌ඡාකම්‌මන්‌තො පහොති; මිච්‌ඡාකම්‌මන්‌තස්‌ස මිච්‌ඡාආජීවො පහොති; මිච්‌ඡාආජීවස්‌ස මිච්‌ඡාවායාමො පහොති; මිච්‌ඡාවායාමස්‌ස මිච්‌ඡාසති පහොති; මිච්‌ඡාසතිස්‌ස මිච්‌ඡාසමාධි පහොති.
මහණෙනි,
අකුසල ධර්ම මත වාසය කිරීමට
අවිද්‍යාව මූලික වෙනවා.
පවක් කරන්නට පෙර පවට හිරි නැති කමත්,
පවක් කළ පසු නොතැවීමත්,
අවිද්‍යාව අනුව පවතිනවා.

මහණෙනි, අවිද්‍යාවෙන් යුතු වූ
1,විදසුන් නැති තැනැත්තාට,
මිත්‍යා දෘෂ්ටිය උපදිනවා.
2, මිත්‍යා දෘෂ්ටියෙන් යුතු තැනැත්තාට
මිත්‍යා සංකල්ප උපදිනවා.
3, මිත්‍යා සංකල්ප ඇති තැනැත්තාට
මිත්‍යා වචන උපදිනවා.
4, මිත්‍යා වචනයෙන් යුතු තැනැත්තාට
මිත්‍යා ක්‍රියා උපදිනවා.
5, මිත්‍යා ක්‍රියාවෙන් යුතු තැනැත්තාට
මිත්‍යා ආජීවය උපදිනවා.
6, මිත්‍යා ආජීවයෙන් යුතු තැනැත්තාට
මිත්‍යා වායාමය උපදිනවා.
7, මිත්‍යා වායාමයෙන් යුතු තැනැත්තාට
මිත්‍යා සතිය උපදිනවා.
8, මිත්‍යා සතියෙන් යුතු තැනැත්තාට
මිත්‍යා සමාධිය උපදිනවා.

‘‘විජ්‌ජා ච ඛො, භික්‌ඛවෙ, පුබ්‌බඞ්‌ගමා කුසලානං ධම්‌මානං සමාපත්‌තියා, අන්‌වදෙව හිරොත්‌තප්‌පං. විජ්‌ජාගතස්‌ස, භික්‌ඛවෙ, විද්‌දසුනො සම්‌මාදිට්‌ඨි පහොති; සම්‌මාදිට්‌ඨිස්‌ස සම්‌මාසඞ්‌කප්‌පො පහොති; සම්‌මාසඞ්‌කප්‌පස්‌ස සම්‌මාවාචා පහොති; සම්‌මාවාචස්‌ස සම්‌මාකම්‌මන්‌තො පහොති; සම්‌මාකම්‌මන්‌තස්‌ස සම්‌මාආජීවො පහොති; සම්‌මාආජීවස්‌ස සම්‌මාවායාමො පහොති; සම්‌මාවායාමස්‌ස සම්‌මාසති පහොති; සම්‌මාසතිස්‌ස සම්‌මාසමාධි පහොතී’’ති.

මහණෙනි,
කුසල ධර්ම මත වාසය කිරීමට විද්‍යාව මූලික වෙනවා.
පවක් කරන්නට පෙර පවට හිරි ඇති කමත්,
පවක් කළ පසු තැවීමත්,
විද්‍යාව අනුවම පවතිනවා.

මහණෙනි, විද්‍යාවෙන් යුතු
1,විදසුන් ඇති තැනැත්තාට,
සම්‌මා දෘෂ්ටිය උපදිනවා.
2, සම්‌මා දෘෂ්ටියෙන් යුතු තැනැත්තාට
සම්‌මා සංකල්ප උපදිනවා.
3, සම්‌මා සංකල්ප ඇති තැනැත්තාට
සම්‌මා වචන උපදිනවා.
4, සම්‌මා වචනයෙන් යුතු තැනැත්තාට
සම්‌මා ක්‍රියා උපදිනවා.
5, සම්‌මා ක්‍රියාවෙන් යුතු තැනැත්තාට
සම්‌මා ආජීවය උපදිනවා.
6, සම්‌මා ආජීවයෙන් යුතු තැනැත්තාට
සම්‌මා වායාමය උපදිනවා.
7, සම්‌මා වායාමයෙන් යුතු තැනැත්තාට
සම්‌මා සතිය උපදිනවා.
8, සම්‌මා සතියෙන් යුතු තැනැත්තාට
සම්‌මා සමාධිය උපදිනවා.

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. 
සතුටට පත් ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙය සතුටින් පිළිගත්තාහු ය.

 
සංයුත්‌තනිකායො
සංයුත්තනිකාය

මහාවග්‌ගො
මහා වර්ගය

1. මග්‌ගසංයුත්‌තං
1. මග්ග සංයුක්තය

1. අවිජ්‌ජාවග්‌ගො
1. අවිද්‍යා වර්ගය

1. අවිජ්‌ජාසුත්‌තං
1. අවිද්‍යා සූත්‍රය
 

20130304

උපන් නූපන් කුසල් අකුසල්



සම්මා වායාමයෙ විස්තර වෙන
උපන් නූපන් කුසල් අකුසල් මොනවාද?


සම්මා වායාම
අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය
ඡන්දං ජනේති වායමති,
විරියං ආරභති
චිත්තං පග්ගන්හාති පදහති,
උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය
ඡන්දං ජනේති වායමති විරියං ආරභති
චිත්තං පග්ගන්හාති පදහති.

කුසල් අකුසල් රැස්වෙන ආකාර දෙක

බුදුන් වහන්සෙ
අකුසල රාසි සූත්‍රයෙ මෙසේ
සඳහන් කරනවා.

 
මහණෙනි,
අකුසල් රැස යැයි යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ මේ පංච නීවරණයන්ටයි.
මහණෙනි, පංච නීවරණ යනු
සම්පූර්ණයෙන්ම අකුසල් රැසයි.
ඒ පහ කුමක්ද?
කාමච්ඡුන්ද නීවරණය,
ව්‍යාපාද නීවරණය,
ථීනමිද්ධ නීවරණය,
උද්ධච්චකුක්කුච්ච නීවරණය,
විචිකිච්ඡා නීවරණයයි.
----------------------------------------------------------
මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

කවර වූ සතරෙක්ද?

___මහණෙනි, යම් මහණෙක්,
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

සතර සතිපට්ඨානය කියන්නෙ
සම්මා සතියයි.



======================================================


කතමෙ ධම්‌මා කුසලා?

යස්‌මිං සමයෙ කාමාවචරං කුසලං චිත්‌තං උප්‌පන්‌නං හොති
සොමනස්‌සසහගතං ඤාණසම්‌පයුත්‌තං
රූපාරම්‌මණං වා සද්‌දාරම්‌මණං වා ගන්‌ධාරම්‌මණං වා
රසාරම්‌මණං වා ඵොට්‌ඨබ්‌බාරම්‌මණං වා ධම්‌මාරම්‌මණං වා
යං යං වා පනාරබ්‌භ,
තස්‌මිං සමයෙ ඵස්‌සො හොති, වෙදනා හොති, සඤ්‌ඤා හොති,
චෙතනා හොති, චිත්‌තං හොති, විතක්‌කො හොති, විචාරො හොති,
පීති හොති, සුඛං හොති, චිත්‌තස්‌සෙකග්‌ගතා හොති,
සද්‌ධින්‌ද්‍රියං හොති, වීරියින්‌ද්‍රියං [විරියින්‌ද්‍රියං හොති,
සතින්‌ද්‍රියං හොති, සමාධින්‌ද්‍රියං හොති, පඤ්‌ඤින්‌ද්‍රියං හොති,
මනින්‌ද්‍රියං හොති, සොමනස්‌සින්‌ද්‍රියං හොති, ජීවිතින්‌ද්‍රියං හොති,
සම්‌මාදිට්‌ඨි හොති, සම්‌මාසඞ්‌කප්‌පො හොති,
සම්‌මාවායාමො හොති, සම්‌මාසති හොති, සම්‌මාසමාධි හොති,
සද්‌ධාබලං හොති, විරියබලං හොති,
සතිබලං හොති, සමාධිබලං හොති, පඤ්‌ඤාබලං හොති,
හිරිබලං හොති, ඔත්‌තප්‌පබලං හොති,
අලොභො හොති, අදොසො හොති, අමොහො හොති,
අනභිජ්‌ඣා හොති, අබ්‍යාපාදො හොති,
සම්‌මාදිට්‌ඨි හොති, හිරී හොති, ඔත්‌තප්‌පං හොති,
කායපස්‌සද්‌ධි හොති, චිත්‌තපස්‌සද්‌ධි  හොති,
කායලහුතා හොති, චිත්‌තලහුතා හොති,
කායමුදුතා හොති, චිත්‌තමුදුතා හොති,
කායකම්‌මඤ්‌ඤතා හොති, චිත්‌තකම්‌මඤ්‌ඤතා හොති,
කායපාගුඤ්‌ඤතා හොති, චිත්‌තපාගුඤ්‌ඤතා හොති,
කායුජුකතා හොති, චිත්‌තුජුකතා හොති,

සති හොති,
සම්‌පජඤ්‌ඤං හොති,
සමථො හොති,
විපස්‌සනා හොති,

පග්‌ගාහො හොති, අවික්‌ඛෙපො හොති;
යෙ වා පන තස්‌මිං සමයෙ
අඤ්‌ඤෙපි අත්‌ථි
පටිච්‌චසමුප්‌පන්‌නා අරූපිනො ධම්‌මා –
ඉමෙ ධම්‌මා කුසලා.
-----------------------------
1. චිත්‌තුප්‌පාදකණ්‌ඩං කාමාවචරකුසලං පදභාජනී