20130208

ඔබේ සිරුර ගැන ඔබට සිහිය නැහැ.


Ranga Deshapriya [[[ මේ අවස්ථාවේ ඔබේ යටිපතුල් වෙත සිත යොමු කර බලන්න
මෙතෙක් වෙලා ඔබ නොදැන සිටි වේදනාවක් එහි ඔබට දැන ගන්නට ලැබේවි.
එහෙනම් මෙපමණ වෙලාවක් කයට රුපාරම්මනයක ගැටීම උවද කාය විඥානායක හට ගැනීම නොවුණු නිසායි වේදනාව හට නොගත්තේ. ]]]]

----------------------------------------------------------------------------------


ඔබට යටි පතුලෙ වේදනාව නොදැනුනේ
ඔබට ඒ පිළිබඳ සිහිය නොතිබුණ නිසායි.
වෙනත් කිසිම හේතුවක් නිසා නෙවෙයි.

කය පුරාම තියන වේදනා වලින්
වඩාත්ම ප්‍රිය කරන හෝ
අප්‍රිය කරන වේදනා අල්ලගෙන
ඒවාට ප්‍රතික්‍රියා කරමින්
අන් සියලු වේදනා ගැන
අවසිහියෙන් කල් ගෙවන නිසයි.
පවතින බොහෝ වේදනා
අපට දැනෙන්න නැත්තෙ...

ඔබට මුලු කයම පිළිබඳව සිහිය  නැහැ.

ඔබ සබ්බ කාය පටිසංවේදී  නැහැ.

යටි පතුලෙ වෙදනා තිබුණා...
ඒත් ඔබ එතන හිටියෙ නැහැ.
එතනට ආවමයි වේදනා දැනුනෙ.

මීළඟ වතාවෙ
වාහනයක යන කොට
මුළු කයටම හිත යොමු කරල බලන්න.

ඔබේ මුලු ශරීරයම දෙදරන හැටි ඔබට දැනේවි.

ඒ දෙදරීම
මෙතෙක් කල් නොදැනුණේ ඇයි.

ඔබට සිහිය නොතිබුණ නිසයි.

ඔබ මේ කියවන වචන වලට අමතරව
ඔබට මේ මොහොතෙ
ඔබ අවට කොයිතරම් දේ පේනවද?
කොයි තරම් ශබ්ද ඇහෙනවද?
සිහිය නැත්නම් ඔබ දන්නෙ නැහැ.

ඔබට අවශ්‍ය නම්
මේ සියල්ලම ගැන
සිහියෙන් ඉන්න ගමන්
දිගටම වචන කියවගෙන යන්නත්
කියවන දේ තේරුම් ගන්නත්
ඔබේ සිහිය දියුණු කරගන්න
ඔබට පුලුවන්.

හැම වේදනාවක්ම දකින්න
ඔබට ඕනෙ නම්
ඔබ සබ්බ කාය පටි සංවේදී විය යුතුයි.
එහෙම කළත්
ඔබට සියල්ලම දකින්න
එක වරම බැහැ.
ඔබේ සිතත් සියුම් විය යුතුයි.
ප්‍රබල වේදනාවලට
උපේක්ෂාව දියුණු විය යුතුයි.
සියුම් සංවෙදනා දකින්න
සිත හුරු විය යුතුයි.
සිත සියුම් විය යුතුයි..
පුළුල් විය යුතුයි.

ගීතයක් අහද්දි
බොහෝ අය හිත යොමු කරන්නෙ
ගායනයට,
නැත්නම් වචන වලට.
නැත්නම් සංගීතයට.

හැම අත් දැකීමකින්ම
බොහෝ දෙනෙක් විඳින්නෙ
තෝරාගත් කොටසක් විතරයි.

ඒත් ඔවුන් අර කුඩා කොටස නිසා
සමස්තයම වැළඳ ගන්නවා,
නැත්නම් ප්‍රතික්ෂේප කරනවා.
රූපය ලස්සණ නිසා
කාමුක ළඳක් විවාහ කරගෙන
ජීවිතය අවුල් කරගන්නවා.
දවටනය ප්‍රිය නිසා
බාල බඩු ගන්නවා.
දවටනය අප්‍රිය නිසා
හොඳ බඩු
ප්‍රතික්ෂේප කරනවා.

තීරණයක් නිවැරදි වෙන්න නම්
සමස්තයම සිහියෙන් දැකිය යුතුයි.
සමස්තයටම උපේක්ෂාව තිබිය යුතුයි.
එක තැනක් ප්‍රිය කළොත් හෝ අප්‍රිය කළොත්
උපෙක්ෂාව බිඳෙනවා.
සමස්තය පිළිබඳව
සිහිය නැති වෙනවා.
ඔහුගෙ දෘෂ්ඨිය අසම්පූර්ණයි.
මිථ්‍යා දෘෂ්ඨියක්.

ශරීරය නිවැරදිව දකින්න
නිවැරදිව තීරණ ගන්න
ඔබ සබ්බ කාය පටි සංවේදී විය යුතුයි.

ශරීරයේ හැම සෛලයක්ම
වෙනස් වෙමින් පවතින්නෙ.
පණ තියන හැම සෛලයක්ම
ඒ අවට තියන පරිසරයට නොකඩවා
හැඩ ගැහෙමින් ඉන්නෙ.
මුලු සිරුර පුරාම
හැම මොහොතකම වේදනා පවතිනවා.

ආනාපාන සතියෙන්
සබ්බකාය පටිසංවේදී වෙලා
ඉරියව් බලලා ආරම්භ කළ යුතු ගමන
යන්න පටන් ගන්නෙ නැතුව
තමන්ට වේදනා නොදැනෙන එකට
බොරු හේතු හදා ගැනීමෙන්
ඇත්ත පෙනෙන්න තියන ඉඩත්
ඇහිරෙනවා.

තැනින් තැනට යමින්
තෝරාගත් වේදනා විඳීම
සත්වයාගේ සාමාන්‍ය
ඇබ්බැහි වීමයි.

හිත එක අරමුණකට යොමුකරලා
වේදනා අමතක කරලා
හිත සමථයකට පත් කළත්
ඒ ක්‍රමයත්
අනික් සත්වයන්ගෙ දර්ශනයෙම
සංයුක්ත තැටියක්.

ඔබට ඔබේ හිත පිළිබඳව
ඔවුන්ට වඩා පාලනයක් තියනවා.
ඒත් ඔබ ඔවුන්ටත් වඩා
අඳුරු ලොවකයි ඉන්නෙ.

ඒ ලෝකයෙ ඉන්නෙ
ඔබත් අරමුනත් විතරයි.

ඔබ මුලු කයම අරමුණු කළොත්
ඔබට ඔබ තුළත් බැහැරත් සිදුවෙන
හැම දෙයක්ම සිහියෙන් දකින්න හැකි වෙන
ඒ කිසිම දෙයකින් නොකැළඹුන තැනකට
අවසානයේ පත්වෙන්න පුලුවන්.

ඒ තැනට යන
ඒකායන මාර්ගය විදසුනයි.

විශේෂ දර්ශනය
විදර්ශනාව නම්
මුලු කයටම සංවේදීව
සමස්ත කයම සිහියෙන් දැකීමයි.
සමස්ත කයටම
උපේක්ෂාවෙන් විසීමයි.

No comments:

Post a Comment