20140630

බුදු දහමෙ හරය විද්‍යාවෙන් තහවුරු වෙනවා.




විද්‍යාව මෑතදී සොයාගත් සත්‍යතා
බුදු දහම තුළ වසර 2500ක් පැවතුණා.
කර්මය, පුනර්භවය ආදී අතු ඉති
තවම විද්‍යාවට ගෝචර වී නැහැ.
මෙතෙක් ගෝචර වූ කොටස
විද්‍යාවට එකඟයි.

විද්‍යාව මෑතදී සොයාගත් සත්‍යතා
බුදු දහම තුළ වසර 2500ක් පැවතුණා.
පංචස්කන්ධය ඉන් එකක්.

ඇස් කන් ආදී ඉඳුරන්
ස්පර්ශයෙදී ක්‍රියා කරන විදිය
විද්‍යාවෙන් විස්තර කරන ආකාරයටම
බුදුන් වහන්සේත් විස්තර කර තියනවා.

චක්‌ඛුඤ්‌ච පටිච්‌ච
රූපෙ ච උප්‌පජ්‌ජති
චක්‌ඛුවිඤ්‌ඤාණං,
තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො;
1, චක්‌ඛු = ඇසත්,
2, රූපෙ = රූපයත්,
3, චක්‌ඛුවිඤ්‌ඤාණං, = රූප හඳුනා ගැනීමට,
ග්‍රහණය කිරීමට ඇසට ඇති හැකියාවත්
කියන තුනම එකතු වෙලා
ස්පර්ශය හැදෙනවා.
තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො

= විද්‍යාත්මක විග්‍රහය.
රුපයක් දකින්නේ
අපේ දෘෂ්ටික බාහිකයෙන්,
එයින් ගොඩ නගන රූපය,
ඒ අසලම ඇති
දෘෂ්ටික මතකය සඳහන් බාහිකයෙන්
එම රූපය අඳුනගන්නවා.
================================
මීට සහයෝගය දුන්
ජීවන් සහ තරින්දගෙන් පසු
මෙතනින් එහාට යන්නට තරම්
කය ගැන විද්‍යාත්මකව දන්න කෙනෙක්
තවම හමු වුණේ නැහැ.


විපස්සනා වඩන්නා ධර්මය විඳ ප්‍රත්‍යක්ෂ කරගන්නෙක්.


එක වාක්‍යයක් කියවන දහදෙනෙක්
අවම වශයෙන් දහයක් දේ සිතා ගනියි.
බුදු දහමෙන් ලබන
අවබෝධය සියල්ලන්ටම එකයි.
බුදු දහම
කියවීමෙන් දැනුම
සොයන දහමක් නොවේ..
විඳ ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්නා
විද්‍යාත්මක දැනුමකි.
රාගය සියල්ලන්ටම එකයි.
ද්වේශය සියල්ලන්ටම එකයි.
මෝහය සියල්ලන්ටම එකයි.
නීවරණ සියල්ලන්ටම එකයි.
බොජ්ඣ්ංග සියල්ලන්ටම එකයි.
අවබෝධ වන විට
කවුරු අවබෝධ කළත්
අවබෝධ කරන්නේ එකම දෙයකි.
කියවීමෙන් දැනගන්නා අය වාද කරති..
නැත්නම් කටපාඩමෙන් කියන දේට
එකඟ වෙති.
විපස්සනා වඩන්නවුන් අතර
වාද කරන්නට මත දෙකක් නැත..
සසඳන්නට ඇත්තේ
සමාන අත්දැකීම්ය..
ඒත් ඒ අත්දැකීම
එකිනෙකාට ආවේණිකය.
විපස්සනා වඩන්නා
ධර්මය අත් දකින්නෙක්.

විඳ ප්‍රත්‍යක්ෂ කරගන්නෙක්.
ඔහු ධර්මය දකින්නෙ
මේ මොහොතෙ
තම කයත්
කයෙහි ඇති වෙන නැති වෙන වේදනාත්
සිතත්,
සිතෙහි ඇති වෙන නැති වෙන ධර්මතාත්
සිහියෙන් දකිමින්..
ඒ දකින දේට උපෙක්ෂාවෙන් විසීමෙන්.
එක් එක් කයට දැනෙන විදිය වෙනස් නිසයි
අත්දැකීම වෙනස් වෙන්නෙ.

 
දකින දේ කාටත් එකයි.

දෙන්නෙක් අව්වෙ ඉන්නවා නම්
ඔවුන් දෙදෙනාම
තමන් තුළ සිදුවෙන දේ
සිහියෙන් දකිමින්..
ඒ දකින දේට උපෙක්ෂාවෙන් විසීමෙදි
ඔවුන් දෙදෙනාගෙම අත්දැකීම එකයි.

මිනිසුන් වෙනස් වෙන්නෙ
රාග ද්වේශ මෝහ නිසයි.
සිහියෙන් හා උපේක්ෂාවෙන් ඉන්න දෙන්නෙක්
දකින්නෙ එකම දෙයක්.

මිනිස් ශරීරයක් පිලිස්සුණාම
කයෙහි දැනෙන වේදනාව එකයි.

දෙන්නෙක් ගිනි දැල්ලකට
අත පුළුස්සාගත්තොත්
ඔවුන් ද්වේශයෙන් දුකට පත් වෙද්දි
ඔවුන්ගෙ හිත් වල තියන දේවල්
එකිනෙකාට වෙනස්.
කෙනෙක් දුක් වෙන්න පුලුවන්.
කෙනෙක් තරහ යන්න පුලුවන්..

 
තරහෙන් දුකෙන් තැවෙන දැවෙන
ඔවුන් දෙන්නටම
අතේ වේදනා හරියට පෙනෙන්නෙ නැහැ.
ඔවුන්ගෙ හිත අවුල්.
ඔවුන්ට වේදනාව ගැන
සිහියත් නැහැ. උපේක්ෂාවත් නැහැ.

විදසුන් වඩන්නා පුහුණු වෙන්නෙ
සිහිය සහ, උපේක්ෂාවයි.

ඒත් ඒ වේදනා ගැන සිහියෙන් ඉන්න
ඒ වේදනාවට උපේක්ෂාවෙන් ඉන්න දෙන්නෙක්
අත් දකින්නෙ එකම ආකාරයේ වේදනා.
මිනිස් ශරීරයක් පිලිස්සුණාම
කයෙහි දැනෙන වේදනාව එකයි.

ගිනි දැල්ලට අත පුළුස්සාගත් දෙන්නාම
සිහියෙන් උපේක්ෂාවෙන් ඉන්න විට
අත්දැකීම සම්පූර්ණයෙන් දකිනවා.
ඔවුන් දෙදෙනාම
ඒ මොහොතෙ දුක් විඳින්නෙ නැහැ.

තව කෙනෙකුගෙ කීමට
ඒකායන මාර්ගය කියා ඇදහීම
ශ්‍රද්ධාව නෙමෙයි.
එහෙම විශ්වාස කරනවා නම් බුදු වදන
හොඳටම ප්‍රමාණවත්.

සැබෑ ශ්‍රද්ධාව වැඩෙන්නෙ.
ඒකායන මාර්ගය කියලා
තමන්ට ප්‍රිය කෙනෙකුගෙන්
දැන ගැනීමෙන් නෙමෙයි

විදසුන් වඩද්දී
සෝ තැවුල් සමතයට පත් වී
ඉක්මවායාමෙන්
දුක් දොම්නස් අස්තංගත වීමෙන්..
අචල ශ්‍රද්ධාව වැඩෙනවා.

ඒ ශ්‍රද්ධාව
කාගේවත් කීමකින්
ඇති වෙන දෙයක් නොවෙයි.
විදසුන් වඩද්දි
දුක තමන් පෙළද්දි
දුක දකිමින්...
දුක ගැන සිහියෙන් හා
දුකට උපේක්ෂාවෙන් විසීමෙන්
අචල ශ්‍රද්ධාව වැඩෙනවා.

මේ අත්දැකීම
මනසින් ලබන දෙයක් නෙමෙයි.
පච්චත්තං වේදිතබ්බෝ.
විඳ ප්‍රත්‍යක්ෂ කරන ධර්මයයි.

ඔබ අවබෝධය කියා නම් කරන්නෙ
කිසියම් ධර්ම දේශකයෙකුගෙ තර්ක බිඳින්නට තරම්
දැනුමක් හෝ බුද්ධියක් නොමැති පිරිස
ඔහුට යටත් වී  

ඔහු කී දේ එලෙසින්ම පිළි ගැනීමටයි.

සැබෑ ප්‍රඥාව වැඩෙන්නෙ
විදසුන මගින් අවිද්‍යාව දුරු වීමෙනුයි.

ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවට කෙටි මගක් නෑ.

ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවට යන කෙනෙක්
වීර්ය 

සති 
සමාධි 
හරහා යායුතුයි.

සතිය වඩන්නට වීර්ය කරන්නා තුළ
සමාධිය වැඩෙනවා.
සතියෙන් සිටින විට ඇතිවෙන සමාධියෙන්
තමා තුළ ධර්මය විඳ
ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන්
ප්‍රඥාව ඇතිවෙනවා.

ඒකායනෝ මග්ගෝ..
ඤායස්ස අධිගමාය.

20140625

දුකෙන් මිදීම සරලයි, විද්‍යාත්මකයි. සත්‍යයි.



ඔබට තියන කායික මානසික රෝග
සතුන්ට නැත්තේ ඇයි?

මිනිසාට තියන ප්‍රශ්නය මිනිසාගේ "දියුණු" මනසද?

කයත් මනසත් දෙකම රෝගී කරන්නට
මිනිසාගේ "දියුණු" මනස
නොදියුණු කයට දායක වන්නේ කොහොමද?
ඔබට තියන කායික මානසික රෝග ගැටළුවට 
විසඳුමක් දෙන්නට තරම්
මිනිසාගේ "දියුණු" මනස
දියුණු වී නැද්ද?

බාහිර ලෝකයත් මිනිසාත් වෙනස්වන විට
මිනිසාගේ "දියුණු" මනසත් කයත් හැසිරෙන්නේ කොහොමද?

1
රස කෑමක රූපයක් දකිනවා.
2,
හිතේ ආශාව උපදිනවා.
3,
රස විඳින්න හිතෙනවා.
4,
රස විඳින්න උත්සාහ කරනවා.

කෑම කන්න කය අවශ්‍ය වුණාට
රස විඳින්න මනස වුණත් ඇති.

රස කෑමක රූපයක් දකින
හිතේ ආශාව උපදින
ඒ කෑම රස විඳින්න හිතෙන
ඒ රස විඳින්න උත්සාහ කරන
එක් එක් අවස්ථා වලදි
අපේ මොළයත් ස්නායු පද්ධතියත්
වෙනස් වෙනවා.

අසංඛ්‍යවූ තොරතුරු රැසක්
ජෛව රසායනික වෙනස්වීම විදියට
මොළයත් ස්නායු පද්ධතියත් කයත් හරහා
කාය සංස්කාරත්, චිත්ත සංස්කාරත් ඇති කරමින්
සමස්ත කය පුරා සංසරණය වෙනවා.
මේ සංසරණය ජෛව රසායනිකයි.

රූප ශබ්ද ගන්ධාදී
බාහිර අරමුණුවලින් උත්තේජනය වෙන

සුඛ දුක්ඛ අදුක්ඛමාසුඛ වේදනා නම්
ජෛව රසායනික වෙනස් වීම් නිසා
කය ආධාර කරගත් මනස තුළත්
රාග, ද්වේශ, කාමච්ඡන්ද, ව්‍යාපාද ආදියට අනුව
ජෛව රසායනික වෙනස් වීම් සිදුවෙනවා.

ඇසට වැටෙන රූපයෙන් ඇසේ ඇතිවෙන
ජෛව රසායනික වෙනස මගින්
මොළයෙ ඇතිවෙන ජෛව රසායනික වෙනස
මොළය හඳුනාගන්නෙ රස කෑමක් විදියට.
පෙරදාක එදා
මේ කෑම රස විඳිද්දී
ඇතිවූ ජෛව රසායනික වෙනස්වීම්වලට
මනස ප්‍රිය කළ නිසා
ඒ කෑම රසයි කියල
විඥාණයෙ සටහන් වුණ තොරතුරු
මේ වෙලාවෙදි
ජෛව රසායනික උත්තේජකයක් විදියට ක්‍රියා කරනවා.
කෑමෙ රූපයක්,
කෑමෙ නම ඇහුණොත් ශබ්දයක් විදියට
නැත්නම් සුවඳ විදියට
කෑම පිළිබඳ තොරතුරක්
බාහිර උත්තේජකය වෙනවා.
ඒ උත්තේජකය අපේ මතකයෙ තියන
රස පිළිබඳ මතකය අවුස්සනවා.
ඒ ජෛව රසායනික කැළඹීම,
ඒ ජෛව රසායනික කම්පන මාලාවත් අපිට ප්‍රියයි.
අපි ඒ ප්‍රිය ජනක උත්තේජනය හොයනවා.
මොළයේ ජෛව රසායනික වෙනස්කම් සිදුවෙනවා.
කය තුළත් හෝමෝන ශ්‍රාවය කට කෙළ ඉනීම වැනි
ක්‍රියා ගණනාවක් ජෛව රසායනිකව සිදු වෙනවා.

මීට කලින් ඒ කෑම රස විඳින වෙලාවෙ,
ඒ කෑම දිවේ තැවරීමෙන්
දිවේ පහල වූ ජෛව රසායනික වේදනා මාලාව
ප්‍රිය වේදනා මාලාවක්
සුඛ වේදනා මාලාවක් විදියට
මනස හඳුනා ගත්තා.
ඒ වේදනා මාලාව ප්‍රියයි කියල
සකස් වුණ ජෛව රසායනික සංස්කාර අනුව
මනස ලද වින්දනයෙ මතක
ජෛව රසායනික සටහනක් ලෙස
විඥාණයෙ සටහන් වුණා.

ඒ කෑම පිළිබඳ මතකය ඇවිස්සුණාම
මේ ජෛව රසායනික සංස්කාර යළි මතුවෙනවා.
මේ සංස්කාර මතු වීම අපට ප්‍රියයි.
අපි කෑම සිහි කරමින්, සිතමින්
ඒ පිළිබඳ අන් අයට කතා කරමින්,
ඔවුන් ඒ ගැන කියන දේ අහමින්
මොළයෙ ඇති වෙන ජෛව රසායනික උත්තේජනත්
කයෙහි ශ්‍රාවය වෙන හෝමෝනත්
රස ව්ඳිනවා.
ජෛව රසායනික උත්තේජන ප්‍රබල නම්
හෘදස්ඵන්දනයත් වැඩි වෙනවා.
කෑම කන වෙලාවෙදිවත් ක්‍රියා නොකළ විදියට
කයත් මනසත් ක්‍රියා කරනවා.

අඹරන්න කිසිම දෙයක් නැතුව
ඇඹරුම්හල වැඩ කරනවා.

සතෙකුට මෙහෙම අමතර අමාරුවක් නැහැ.
කුසගින්නක් ආවම ඌ කෑම හොයනවා.
කළින් කාපු රස කෑමක් ගැන සිහි කරමින්
ඒ කෑම පිළිබඳවම සිතමින්
ඒ පිළිබඳව චැට් කරමින්
වෙනත් කෑම ප්‍රතික්ෂේප කරමින්
මනසට සහ කයට වද දෙන්නේ නැහැ.

ඒ වදය කයටත් මනසටත් රෝගී තත්වයක්.
ඉධ තප්පති.. දැනුත් දැවෙනවා.

අපි වෙන දේකට යොමු වුණත්
ඒ සිදු කරගත් හානිකර වෙනස් කම්
එසැණින් යථා තත්වයට පත් වෙන්නෙ නැහැ.
පෙච්ච තප්පති.
පසුවත් දැවෙනවා.
මේ දවීම ජෛව රසායනිකව තැන්පත්වී
අනාගතයෙත් මතුවෙනවා.
දවනවා, තවනවා, පෙළනවා.

අකමැති දෙයක්, අකමැති කෙනෙක් මතක් වුණත්
මේ වගේම ජෛව රසායනික වෙනසක්
කායිකව හා මානසිකව අප තුළ ඇති වෙනවා.

ඒ අප්‍රිය සංස්කාර මතුවීමත්
ඇඹුල් රස, තිත්ත රස වගේ
සමහරුන්ට ප්‍රියයි.
ද්වේශයත් මනසට ආහාරයක්.
ආහාරයක මිරිස් රසට ගිජු වන්නාක් මෙන්
ද්වේශයත් රස විඳීමට
මිනිස් සිත පෙළඹෙනවා.
ඔවුන් ජාති වාදය, ආගම් වාදය හො..
කිසිවෙක් කළ සතුරු කමක් සිහි කරමින්
මනස මගින් මොළයත්,
කයත් උත්තේජනය කරන
ජෛව රසායනික වෙනස නිසා සිදුවෙන
කයත් මනසත් දැවීම
නොදැනුවත්වම රස විඳිනවා.

මිනිසාට කිසියම් ඉන්ද්‍රියයක
අරමුණක් ස්පර්ෂ වුනාම
ඔහු ඒ අනුව මනසින් ක්‍රියා කරමින්
පැරණි ජෛව රසායනික සංස්කාර මතු කරගෙන
මොළයෙත් ස්නායු පද්ධතියෙත් වෙන
ජෛව රසායනික  වෙනස්කම්,
කයෙහි ශ්‍රාවය වෙන
හෝමෝන ආදිය ආගන්තුකව රස විඳීම
කයටත් මනසටත් හානිකරයි.

ඔහු කරන්නෙ කාමයෙහි වරදවා හැසිරීමක්.

සතුන්ගෙ ආහාර සෙවීම,
ආහාර ගැනීම, සංසර්ගය, නින්ද ආදී
සියලුම ජෛව විද්‍යාත්මක ක්‍රියා සරලයි.
ඒ නිසා මිනිසුන් නිකරුණේ වැය කරන
කායික මානසික ශක්තිය ඉතිරි වෙන්වා.
රාගයෙන් අතීතය සිහි කරමින්,
කයෙහි මතුවෙන රාග සංස්කාර විඳින්නට
මනස කාමච්ඡන්දයෙන් පෙළමින්
අනාගතයට බලපාන ලෙස
නව ජෛව රසායනික සංස්කාර ඇති කරගන්නවා.
කායික හා මානසික රෝග බිහිකරන
වර්තමානයක් මිනිසාට තියනවා.

මෙසේ රාගය ඔවුන් නොපෙළන වෙලාවට
ඔවුන් පෙළන්නට ද්වේශය මතුවෙනවා.

ද්වේශයත් මනසට ආහාරයක්.
ආහාරයක මිරිස් රසට ගිජු වන්නාක් මෙන්
ද්වේශයත් රස විඳීමට
මිනිස් සිත පෙළඹෙනවා.

සිතේ ද්වේශය උපදින අරමුණක්
ස්පර්ශ වූ සැණින්
කය තුළ ඇතිවෙන
දුක්ඛ වේදනා මාලා අනුව
මන්සේ මතුවෙන ද්වේශ සංස්කාර ප්‍රිය නම්..
මොළය හා ස්නායු පද්ධතිය තුළ සිදු වෙන
ජෛව රසායනික වෙනස්කම්,
කයෙහි ඇතිවෙන හෝමෝන ශ්‍රාවය ආදිය
ඔහුට ප්‍රිය නම්
මේ ද්වේශ සංස්කාර උත්තේජනය
ඔහු විසින් පෝෂණය කරනවා.
ඔහු ද්වේශයෙන් අතීතය සිහි කරමින්,
ද්වේශයෙන් වර්තමානය දකිමින්,
ද්වේශයෙන් අනාගතය ගැන සිතමින්
කයෙහි මතුවෙන ද්වේශ සංස්කාර විඳින්නට
ඔහු පෙළඹෙනවා.

මනස ව්‍යාපාදයෙන් පෙළමින්
අනාගතයට බලපාන ලෙස
නව සංස්කාර ඇති කරගනිමින්
කායික හා මානසික රෝග බිහිකරන
ජෛව රසායනික වෙනස්කම් බහුල
රෝගී වර්තමානයක් ඒ මිනිසාට තියනවා.

රාග ද්වේශ ක්‍රියාවලීන් දෙකෙන්
වෙහෙසට පත්වූ පසු
හෝ, මේ රාග ද්වේශ ක්‍රියාවලි දෙකම නැති විට
මිනිසා පසුවෙන්නෙ අවසිහියෙන්, මෝහයෙන්.

වෙහෙසට පත්වූ පසු
ඔහු බාහිර අරමුණු වලට සංවේදීබව අඩුයි.

ඔහුනින්දට පත් වුණොත්
බාහිර උත්තේජක දැනෙන්නෙම නැහැ.

වෙහෙසට පත්වීම හෝ නිදිමත නිසා
ථින මිද්ධ නීවරණයට සිත ගොදුරු වෙන
මේ අක්‍රිය, විඩාබර, නිදිබර අවස්ථාවේදී
මෙතෙක් සිදු වූ
හානිකර ජෛව රසායනික වෙනස් කම් වලින්
කය නිදහස් කරගන්නට
ස්වයං ක්‍රියාකාරීව කය වෙහෙසෙනවා.

නින්ද ප්‍රබල නැත්නම්
එසේ යළි සැකසෙන
ජෛව රසායනික වෙනස් කම් වලට අනුව
ඔහුට සිහින පෙනෙනවා.

දවල් දවස පුරාම
කාමච්ඡන්දයෙන්, ව්‍යාපාදයෙන් දැවෙමින්
රාගයෙන් ද්වේශයෙන් සංස්කාර ඇති කරගනිමින්
සිය කයටත් මනසටත් දුක් දුන්
බොළඳ ළදරු මනස
ථින මිද්ධයෙන් නිද්‍රාවට පත්වූ පසු
තව දවසක් දුක් විඳින්නට අවසර සොයා
ස්වල්ප වශයෙන්
කයත් මනසත් සුවපත් වෙනවා.
ඉතිරි වෙන සංස්කාර සියල්ල
අනාගත දුකට පෝෂණය දෙන්නට
කෙලෙස් ලෙස මනසෙහි තැන්පත් වෙනවා.
මහළු වියෙහි අවසිහියට,
කායික මානසික රෝගවලට
විසඳුම නොදන්නා කම නිසා
කයෙහි පැළපදියම් වූ
ජෛව රසායනිකවෙනස්වීම්
හේතු වෙනවා.

ථින මිද්ධ නීවරණයෙන් විඩාවට, නිද්‍රාවට පත්වී
සාමාන්‍ය ජනයා මෝහය තුළ සැනසීම සොයද්දී
රෑවෙන තුරු ඉවසිය නොහැකි පිරිසක්
සරල විසඳුමක් සොයනවා.

දහවල් කාලය තුළ
ඉන්ද්‍රියත් කයත් වෙනස් වෙද්දී
කයෙහි හා මනසෙහි
රාග ද්වේශ ලෙස
ජෛව රසායනික සංස්කාර ඉපදීම
ස්වාභාවිකයි.

ඊට අමතරව
උවමනාවෙන් අදාළ දවල් සිහින මගින්
දවස පුරාම
ජෛව රසායනික සංස්කාර
උපදවා ගැනීමත් නිසා
කයත් මනසත් දවන තවන පෙළන
රාග, ද්වේශ සංස්කාර වලින්,
ජෛව රසායනික ක්‍රියාවන්ගෙන්
ඔවුන් විඳින දැවීම, තැවීම, පෙළීම
ඔවුන් දුකක් ලෙස දකිනවා.

ඔවුන් ඉතා පහසු විසඳුමක් උපයෝගී කරගන්නවා.
කිසියම් ඉන්ද්‍රියයක බාහිර අරමුණක් ස්පර්ශවීමෙන්
ඉන්ද්‍රිය මගින් වේදනා ලෙස ගෙන යන තොරතුරෙන්
රාග ද්වේශ උත්තේජනය වී
විඥ්ඥාණය කැලැත්තෙනවා.

රාග ද්වේශ සංස්කාර උපදවමින්
කාමච්ඡන්දය හෝ ව්‍යාපාදය ඇවිළෙන විට
වෙනත් අරමුණකට සිත යොමු කිරීමෙන්
සංස්කාර ඉපදීම තාවකාලිකව නතර වන බව
මේ හානිකර ජෛව රසායනික ක්‍රියාවලිය
තාවකාලිකව නවතින බව
ඔවුන් ඉවෙන් මෙන් දන්නවා.
ඔවුන් ඒ අවස්ථාව මගහැර පලා යනවා.

පොතක් කියවන්නට, රූපවාහිනිය නරඹන්නට,
මාතෘකාව වෙනස් කරන්නට ඔවුන් පෙළඹෙනවා.
ශීලය වතක් ලෙස පුරන්නේ මේ පිරිසයි.

එවැන්නකින් සෑහීමට පත් නොවෙන තරම්
සංස්කාර මතුවීම ප්‍රබල
පාරසංවේදී සියුමැලි සිත් ඇති අය
ශීලයෙන් නැසැණහී
සමථ භාවනාවට යොමු වෙනවා.

වචනයක් හෝ කීපයක් මතුරමින්
රාග ද්වේශ සංස්කාර ඇති වීම වළකනවා.
තවත් පිරිසක්
කය පිළිබඳව සිහියෙන් තොරව
සමස්ත කයටම සංවේදී නොවී
ආශ්වාස ප්‍රශ්වාස කයට පමණක්ම
සිත යොමු කරනමින්
මනස රාගයෙන් හා ද්වේශයෙන් මුදවාගෙන
මෝහය තුල රඳවා ගන්නවා..

ආක්‍රමණික රාග ද්වේශ දෙක
කයත් සිතත් ආක්‍රමණය කිරීම නිසා
කයත් මනසත් පෙළන තවන දවන
මනසෙහි කාමච්ඡන්ද, ව්‍යාපාද සමග
කයෙහි මතුවෙන ජෛව රසායනික සංස්කාර වලින්
දුක් විඳින බව වැටහෙන පිරිස
සිත සමාහිත කරගනිමින්
කුමන හෝ ආකාරයකින්
මෝහයට සංක්‍රමණය වී
මෝහය තුළ කඳවුරු බැඳගෙන
සරණාගත ජීවිත ගත කරනවා.

තවකාලිකව මෝහය තුළට පළාගොස් ගත කරන
සරණාගත ජීවිතය තාවකාලිකයි.

ප්‍රබල ජෛව රසායනික සංස්කාර ඇති නොවුණත්
ඉඳුරන් මගින් නොකඩවාම එන තොරතුරු නිසා
ඔහු නොදැනුවත්වම කයෙහි ඇතිවෙන
ජෛව රසායනික වෙනස් වීම්
මෝහ සංස්කාර ලෙස කයෙහි රැස්වෙනවා.
ඔහු මානසිකව නිද්‍රාවක පසුවෙනවා.

මනස දැහැන්ගතවුණත්
කය දුක් විඳිනවා.

ඔහු තෝරාගන්නා දේ සමග ඔහු පසුවෙද්දී
අන් සියල්ලම සිදු වෙනවා.
ඔහු අන් සියල්ලටම මෝහයෙන් පසුවෙනවා.

රාග ද්වේශත් දවස පුරාම ඔහු පසුපස එනවා.
හැම රූපයක්ම, හැම රසක්ම, සුවඳක්ම, ශබ්දයක්ම
හැම ස්පර්ශයක්ම රාගයට හෝ ද්වේශයට
හේතු වෙනවා.

මෝහයට පත්වීමේ  විසඳුම
අසාර්ථක බව දන්නා සරණාගතයන්
උද්දකාරාම පුත්ත, ආළාරකාලාම සෙනසුන් හැරපියා
දුකෙන් මිදෙන සැබෑ මග සොයනවා.
තමාට සරණ තමාම බව
වටහා ගන්නවා.

සුඛ දුක්ඛ අදුක්ඛමාසුඛ වේදනා
රාග, ද්වේශ, කාමච්ඡන්ද, ව්‍යාපාද ඇතිවෙන විට
ඒ ජෛව රසායනික සංස්කාර වලින්
දුක් විඳින්නේ නැතිව,
මෝහයට පළා යාමෙනුත් මිදී,
දුක නොවිඳ දුකට මුහුණ දෙන
අතළොස්සක් බුදු සසුන තුළ ඉන්නවා.

සුඛ දුක්ඛ අදුක්ඛමාසුඛ වේදනා
රාග, ද්වේශ, කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී
සියලුම ජෛව රසායනික වෙනස් වීම්
ඇතිවෙන මොහොතෙහිම සිහියෙන් දකිමින්,
ඒ වෙනස්කම් සිතින් පෝෂණය නොකරමින්,
සියලුම ජෛව රසායනික වෙනස් වීම් වලට
උපේක්ෂාවෙන් වෙසෙමින්
උපදින උපදින රාග ද්වේශ සංස්කාර
වැයවී නිරුද්ධ වන්නට හරිමින්
කයත් මනසත් දුකෙන් මුදවා ගන්නා මග
විපස්සනා පුහුණුවයි.

විදසුන් වඩන්නා
ඔහු තුළ ඇතිවෙන
ජෛව රසායනික වෙනස්වීම් නිසා
කැළඹෙන්නේ නැහැ.
පළායන්නේත් නැහැ.


මේ මොහොතෙහි බැහැර හෝ ඇතුළත සිදුවෙන
කිසියම් දෙයක් නිසා
ජෛව රසායනික වෙනස්වීම් සිදු විය හැක.

එසේ නොවේනම්
වත්මන් අරමුණක් හේතුවෙන්
අතීතයෙහි රාග ද්වේශ මෝහ කෙලෙස්
කැළැත්තීමෙන්
පැරණි ජෛව රසායනික සංස්කාර
යළි මතු විය හැකියි.

ජෛව රසායනික සංස්කාර  කුමක් වුවත්
විදසුන් වඩන්නා සැලෙන්නේ නැහැ.

සමස්ත කයෙහිම සිදුවෙන
ජෛව රසායනික වෙනස් වීම් පිළිබඳව
සම්පජානෝ සතියෙන්
සමස්ත කයෙහිම සිදුවෙන
ජෛව රසායනික වෙනස් වීම්
කැමැත්තෙන් විඳින්නෙත් නැතිව
අකමැත්තෙන් බැහැර කරන්නෙත් නැතිව
ඔහු උපේක්ෂාවෙන් පසු වෙනවා.
විදසුන් වඩන තැනැත්තා...
මොහොතක් මොහොතක් පාසා
ඔහු තුළ ඇති වෙන නැති වෙන
සියලුම ජෛව රසායනික වෙනස් වීම්
ඇතිවෙන විදිය දකිනවා
සියලුම ජෛව රසායනික වෙනස් වීම්
නැතිවෙන විදිය දකිනවා.

1, උපදවාගත් සිහිය ප්‍රතිෂ්ඨාපිත කරගෙන
2, නොකඩවාම,
3, තමන්ට දැනෙන ප්‍රමාණය මත.
4, නැවත නැවත සිහිය ඇති කරගනිමින්,
5, සියලු ජෛව රසායනික වෙනස්වීම් වලට අනිශ්‍රිතව
6, ඒ වෙනස්වීම් පෝෂණය නොකරමින් වෙසෙනවා

මෙසේ වෙසෙන සත්වයා
රාග ද්වේශ මෝහ කෙලෙස් ලෙස පැවති
ජෛව රසායනික මළ පහකොට
විශුද්ධියට පත්වෙනවා.
ඔහු තුළ හටගන්නා සෝක පරිදේව
සමතයට පත්වී ඉක්මවා යනවා.
ඔහු තුළ හටගන්නා දුක් දොම්නස් අස්තංගත වෙනවා.
තමාට අදාළව ලෝකයත්
ලෝකයට සාපේක්ෂව තමා වෙනස්වෙන අයුරුත්
සිහියෙන් හා උපෙක්ෂාවෙන්  දකින
ඔහුගේ ප්‍රඥාව ඉහළ යනවා.

රන්කරුවා රන් රිදී වල මල හරින්නාක් මෙන්
ඔහු තුළ රැස්වූ කෙලෙස් මළ සියල්ල
කෙමෙන් කෙමෙන් නැසී,
ආශ්‍රව සියල්ල කෙමෙන් කෙමෙන් ක්ෂය වූ පසුව
නිවන සාක්ශාත් වෙනවා.

එතෙක් ඔහුගේ දිවි ගමනේදී
විදසුන් වඩන මොහොතෙන් මොහොතට
දුක් නොවිඳ වෙසෙන්නට ඔහු දන්නවා.

-----------------------------------------------------------------
මෙහි සඳහන් වෙන විවිධ අවස්ථාවන්හි
කය තුළ සිදු වෙන ජෛව රසායනික වෙනස් වීම්
ජෛව විද්‍යාත්මකව පැහැදිලි කරන මෙන්
මගේ මිතුරු ජාලයෙහි සිටින
වෛද්‍යවරුන්ගෙන් සහ වෛද්‍ය සිසුන්ගෙන්
ඉල්ලා සිටිනවා.

20140618

මෙත් වැඩීම විපස්සනා වැඩීමට වඩා අගෙයි..


අපේ පොඩි දෙන්නා
උදේ පාසල් යන්න සූදානම් වෙලා
බලාගෙන ඉන්න වෙලාවෙ
මෛත්‍රිය පහදලා දෙන්න
මම හිතුවා.
ඔවුන් දැන් කීප දවසක ඉඳලා
හවසට බුදුන් වඳිනවා,
මුලදි අපි දෙන්නත්
දවස් දෙක තුනක් වැන්දා.
දැන් ඔවුන්ම මල් කඩන් ඇවිත්
පහන පත්තු කරලා,
හඳුන් කූරු පත්තු කරලා
අපිට කිව්වාම
අපි ගිහින් අත ගහලා
මල් පහන උඩින් තියනවා.
ඉන් පස්සෙ ඔවුන් තනිවම වඳිනවා.
තාම ගාථා ටිකවත් හරියට දන්නෙ නෑ.
වැරදෙන තැන් හදනවා.
සමහර දවසට, අන්තිමට
විනාඩි කිහිපයක් ආනාපාන සති කරනවා.

ඊයෙ අපිත් වැන්දා...
ඊයෙ තමයි මුලින්ම මෛත්‍රි කරන්න කියා දුන්නෙ.

මේ මුළු විශ්වයත් අපිත් එකක් බව හිතලා
මේ විශ්වයෙම ඉන්න හැම සත්වයෙකුටම
දුකක් නොවේවා, නිරෝගී වේවා,
සුවපත් වේවා කියල හිතන්න ඔවුන්ට කිව්වා.

උදේ වෙලාව තිබුණ නිසා
මෛත්‍රිය පහදලා දෙන්න හිතුවා.

මම කිව්වා
"වතුරෙ තියන අයිස් කැටයක්
වතුර ගැන හිතන විදියට
මේ හැම දෙයක් ගැනම හිතන්න..
 

අපිට දැනෙන්නෙ නැති වුණාට
මේ හැම දේම තරංග. අපිත් තරංග.

අපි මෛත්‍රී කරන කොට
ඒ තරංග මුලු විශ්වයටම දැනෙන්න පුලුවන්.
ඈතට යන තුරු
යන්තමින් හරි දැනෙන්න පුලුවන්."

පුතා අහක බලාගෙන කියනවා,
"අපේ මඩ නිසා තමයි දැනෙන්නෙ නැත්තෙ." කියලා.

ඔහු මඩ කියන්නෙ කෙලෙස් වලට.
ඇත්තටම කෙලෙස් නැතිවුණාට පස්සෙ
මෛත්‍රිය විතරයි ඉතුරු වෙන්නෙ.

ඉන් පස්සෙ මම ඔහුට
ඒ කුසලයෙ බලය කියල දුන්නා.

අපි කෙනෙකුට දානයක් දුන්නොත් පිනක්.
රහතන් වහන්සේ කෙනෙකුට දානයක් දුන්නොත්
පින වැඩියි.
පසේ බුදු කෙනෙකුට, බුදු කෙනෙකුට
දානයක් දුන්නොත් පින තවත් වැඩියි.

මුලු සක්වල ගැබ පුරාම
බුදු පසේ බුදු මහ රහත් වරු පුරවලා
දානයක් දෙනවාට වඩා
ඇසිපිය ගහන තරම් වෙලාවක්
මෛත්‍රිය වැඩුවොත් ඒ කුසලය බලවත්.
කියල මම කිව්වාම
ඔහු ඇහුවා
"විපස්සනා???" කියලා.

"අසුරක් ගහන තරම් වෙලාවක්
විපස්සනා වැඩුවොත්
ඒ කුසලයට සමානයි"
________________________________
විපස්සනා වලට වඩා
මෛත්‍රිය බලවත් වෙන්නෙ ඇයි?

විපස්සනා කරන මොහොත වටින්නෙ
ඒ මොහොතෙ
තමා තුළ සිදුවෙන වෙනස්වීම් වලට
සිහිය සමග තියන උපේක්ෂාව නිසයි.

ඒ මොහොතෙ කෙලෙස් නැහැ.

සිහිය නිසා මෝහය නැහැ.
උපේක්ෂාව නිසා රාග ද්වේශ නැහැ.

ඒත් ඒ උපේක්ෂාව තියෙන්නෙ තමන් ගැන.
ඒ උපේක්ෂාවෙ සීමාව තමන් විතරයි.
ප්‍රදේශය සීමිතයි.
 
සම්පජානෝ සතිය පවතින්නෙ 
ඒ සීමිත ප්‍රදේශයට විතරයි.

මෛත්‍රියෙදි අන් සියලු සත්වයාටම
ඒ උපේක්ෂාව තියනවා.
ප්‍රදේශයට සීමාවක් නැහැ.
සම්පජානෝ සතිය අනුව
කෙනෙකුට දැනෙන සීමාව අනුව
ඒ උපේක්ෂාව ප්‍රබලයි.


සම්මා සතිය තියන මොහොත
එක අසුරු සැණක් නම්
පැය ගණන් විපස්සනා වැඩීමෙන්
ඇති ඵලය කුමක්ද?

ව්‍යාපාරයෙදි කරන
ආයෝජනයට අනුව ඇත්තෙ 
සුලු ලාභයක්.

ඒ ආයෝජනයට ඇති වටිනාකම කුමක්ද?

විපස්සනා වැඩීමෙදි
උපේක්ෂාව නැතුව සිහිය වැඩුවත්
එහිදී කරන විශාල ආයෝජනයත්
ආර්ය අශ්ඨාංගික මාර්ගයෙ එක මාර්ගාංගයක්.
අත්‍යාවශ්‍ය මාර්ගාංගයක්.

සම්මා සතිය දියුණු කරගන්න
විපස්සනා වඩන වෙලාවෙ
අපි නූපන් කුසල් දියුණු කරගන්න
වෑයම් කරනවා.
ඒ වෑයම සම්මා වායාම වලටයි අයිති.

සම්මා සතිය එක අසුරු සැණක් සඳහා
සම්මා වායාම පැය ගණනක් ගත කිරීම
ප්‍රබල ආයෝජනයක්..

20140608

දුක් විඳින වෙලාවට දුකෙන් මිදෙන්න.


.
ජීවිතය පුරාම 
වැඩි කාලයක් තිස්සෙ
අව්වට වැස්සට පින්නට තෙමෙන වේලෙන අතරෙ
ඉඳල හිටලා ඒ සියල්ලෙන්ම මිදිලා
සුවපහසුවට ඉඳගෙන
අව්ව වැස්ස පින්න ගැන ඉගෙන ගන්න
සිසුන් පිරිසක් ගැන හිතන්න.

ඔවුන් අව්ව වැස්ස පින්න නිසා දුක් විඳින වෙලාවට
පන්තියෙ ඉගෙන ගන්න දේ මතක නැහැ.
පන්තියෙ ඉගෙන ගන්න වෙලාවට
අව්ව වැස්ස පින්න ගැන මතක නැහැ.

පොතපත කියවීමෙන්,
දහම් දේශනා ඇසීමෙන්,
තර්ක කිරීමන්
බුදු දහම ඉගෙන ගන්න අයත්
ඒ වගෙයි.

ජීවිතය පුරාම
රාග, ද්වේශ, මෝහ නිසා,
පංච නීවරණ නිසා දුක් විඳින ඔවුන්
දුක් විඳින වෙලාවට
ඒ දුක් විඳින්නෙ
රාග, ද්වේශ, මෝහ
පංච නීවරණ නිසා බව දන්නෙ නැහැ.

පොතපත කියවීමෙන්,
දහම් දේශනා ඇසීමෙන්,
තර්ක කිරීමන් ඉගෙන ගන්න වෑයම් කරන කොට
රාග, ද්වේශ, මෝහ
පංච නීවරණ නිසා විඳපු දුක්
මතක නැහැ.

බුදුන් වහන්සෙගෙ ක්‍රමය ඒක නෙමෙයි.
වැස්ස පින්න අව්ව නිසා අපි විඳින දුක
සත්‍යයක්, යථාර්ථයක් ලෙස අපි දැකිය යුත්තෙ
වැස්සට තෙමෙන, අව්වට වේලෙන වෙලාවටයි.

රාග, ද්වේශ, මෝහ නිසා,
පංච නීවරණ නිසා
විඳින දුක දැකිය යුත්තෙ
රාග, ද්වේශ, මෝහ නිසා,
පංච නීවරණ නිසා දුක් විඳින වෙලාවටයි.
.

සදොසංවා චිත්තං සදොසං චිත්තං පජානාති.
සිතේ ද්වේශය තියන වෙලාවට
සිත ද්වේශය සහිත සිතක් කියල දන්නවා.

මේ අපි දකින්නෙ හිතලුවක් නෙවෙයි.

පොතපත කියවීමෙන්,
දහම් දේශනා ඇසීමෙන්,
තර්ක කිරීමන් ඉගෙන ගන්න හිතලුවක් නෙවෙයි.
මේ අපි දකින්නෙ සත්‍ය වශයෙන්ම ද්වේශය.

සදොසංවා චිත්තං 
සදොසං චිත්තං පජානාති.

ඉන් පසුව බුදුන් වහන්සේ කියා දෙනවා
ද්වේශය දුකක් නොවෙන විදියට
බලා ඉන්නෙ කොහොමද කියලා.

ඒ ක්‍රමයට සිහියත්, උපේක්ෂාවත්
පවත්වා ගන්න පුලුවනි නම්
ඒ හැම මොහොතක්ම
දුකෙන් මිදුණ මොහොතක්.
විශුද්ධි මාර්ගයත් එයමයි.

සබ්බේ සංඛාරා අනිච්චාතී
යදා පඤ්ඤාය පස්සති.
අථ නිබ්බින්දති දුක්ඛේ -
ඒස මග්ගෝ විසුද්ධියා -


සංස්කාර අපි තුළ මතු වෙලා
වෙනස් වෙමින් පවතිද්දීම
සංස්කාර අනිත්‍ය බව දැකිය යුතුයි.
සබ්බේ සංඛාරා අනිච්චාතී

සිහිය ඇති තැන මෝහය නැහැ.
උපේක්ෂාව ඇති තැන
රාග ද්වේශ නැහැ.
ඇත්ත ඇති සැටියෙන්ම පෙනෙන ප්‍රඥාව...
යදා පඤ්ඤාය පස්සති.

ඒ අවස්ථාව දුක් නොවිඳින මොහොතක්.
අථ නිබ්බින්දති දුක්ඛේ

උපදින සංස්කාර නිරුද්ධ වෙනවා.
විශුද්ධියට මාර්ගය එයයි.
ඒස මග්ගෝ විසුද්ධියා -

20140605

සංස්කාර නිදහස් වෙලා සිත පිරිසිදු වෙනවා.




මනසෙහි සිතුවිල්ලක් හට ගන්නේ
කයෙහි ඇති වෙන වෙනසක් නිසයි..
මනස හිතනවා කියල කියන අත්දැකීමත්
රෑට හීන දැකීමෙත් අතර වෙනසක් නැහැ..

කයෙහි සිදුවෙන වෙනස්වීමක්..
කලින් අත්දැකීමක ප්‍රතිඵලයක් වශයෙන්
ස්නායු පද්ධතියෙහි හෝ මොළයෙහි සිදුවෙන
නිදහස් වීමක් සකස් වීමක් ඊට හේතු වෙනවා.

ගමනක් ගිහින් ආවම
කයෙහි තැන් තැන්වල වේදනා දැනිලා
කය යථා තත්වයට පත් වෙනවා වගේම
නොයෙක් අත්දැකීම් මත
මනසේ සිදුවෙන වෙහෙසවීම්
පසු අවස්ථාවල නිදහස් වෙනවා.

පැරණි කෙලෙස්
සංස්කාර විදියට මතුවෙලා
නිදහස් වෙනවා.
ඒ නිදහස් වෙන සංස්කාරයට අනුව
නින්දෙදි නම් සිහිනයක් දකිනවා.
දවල්ට නම් සිතුවිලි එනවා.

ඒ සිතුවිලි වලට අනුව සිතීමෙන්,
හැඟීම් පහළ වීමෙන්
තව තවත් සංස්කාර උපදිනවා.

දවල්ට අව්ව නිසා ඇතිවුණ ද්වේශය
වෙනත් අවස්ථාවක මතු වුණොත්,
ඒ ද්වේශයට අනුව
තරහකාරයෙක් සිහි වෙන්න පුලුවන්.

ඒ ද්වේශ සංස්කාරයට අනුව
ඔහුට බනින්න, ගහන්න, මරන්න
සැලසුම් කිරීමෙන් පාපයක් සිදු වෙනවා වගේම
නව සංස්කාරත් ඇති වෙනවා.
නින්දෙදි නම් ඔහුට ගහනවා, බනිනවා..
සිහිනයෙන් දකින්නත් පුලුවන්.

හිතේ ද්වේශයක් ඇති වුණාම
මගේ හිතේ ද්වේශයක් තියෙනවා කියන සිහියෙන්
ඒ ද්වේශයට උපෙක්ෂාවෙන් ඉන්න පුලුවනි නම්
ඒ ද්වේශ සංස්කාරය නිසා
නව සංස්කාර ගොඩ නැගෙන්නෙත් නැහැ.
මතු වුණ සංස්කාරය නිදහස් වෙලා
සිතත් එක ක්ලේශයකින් පිරිසිදු වෙනවා.

විපස්සනා වැඩීම ලෙස
බුදු දහමෙ උගන්වන්නෙ
කය වශයෙනුත්, සිත වශයෙනුත්
ඒ වෙලාවෙ ඇතිවෙන නව සංස්කාර හෝ
මේ නිදහස් වෙන පැරණි සංස්කාර ගැන සිහියෙන්,
ඒ සංස්කාරවලට උපේක්ෂාවෙන් සිටීමයි.

සංස්කාර වල ස්වභාවය වෙනස්වීමයි.
ඉපදී නැතිවී යාම ධර්මතාවයයි.
ඉපදුනොත් වැයවෙලා යනවා.
විපස්සනා වඩන්නෙක් කරන්නෙ
මේ ප්‍රවණතාවයට ඉඩ දී
මනස නිසලව තබා ගැනීමයි..

මොහොතෙන් මොහොතට
තමා තුළ සිදුවෙන දේට
මෝහය නැතිව සිහියෙන්ද
රාග ද්වේශ නැතිව
උපේක්ෂාවෙන්ද විසීමේදි
සිතේ තැන්පත් වෙලා තියන
රාග ද්වේශ මෝහ කෙලෙස්
සංස්කාර විදියට මතුවෙලා
සංස්කාර වල ස්වභාවය වන,
වැය වීමේ සහ
ඉපදුණොත් නැතිවීමෙ ධර්මතා මත
නිරෝධ වෙලා යාමට ඉඩ දීමෙන්
සිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා.
සිත පිරිසිදු වෙනවා.