20121228

විදර්ශනාවෙන් තොර බෞද්ධ භාවනා නැත.


විදර්ශනාවෙන් තොර භාවනාවක්
බෞද්ධ භාවනාවක් විය නොහැක.


කාය, වේදනා, චිත්ත හා ධම්ම යන
සතිපට්ඨාන අංග සතර පිළිබඳව
සිහියෙන් හා උපෙක්ෂාවෙන් තොරව වඩන
ඕනෑම භාවනාවක් සමථ භාවනාවකි.



බෞද්ධ භාවනාවක් තුළින්ද
චිත්ත සමාධිය ලැබෙන නමුදු
ඒ සමාහිත බව තුළ
තමා පිළිබඳව සිහියත්
ඒ මොහොතෙහි
කාය, වේදනා, චිත්ත හා ධම්ම වශයෙන්
දැනෙන දේට උපේක්ෂාවත් පවතී.

මජ්ජිම නිකායේ උපරි පන්නාසකයේ
ආනාපාන සති සූත්‍රය දේශනා කරමින්
කෙබඳුවූ භික්‍ෂූහු
උන්වහන්සේගේ භික්‍ෂු සංඝයා අතර
කුමන භාවනාවන්හි යෙදී වාසය කරන්නේදැයි
බුදුන් වහන්සේ වදාළහ.

´´මහණෙනි, මෙබඳුවූ භික්‍ෂූහුද
මේ භික්‍ෂු සංඝයා අතර සිටිති.
මහණෙනි, මේ භික්‍ෂූ සංඝයා අතර
01, සතර සතිපට්ඨාන භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්‍ෂූහුද
02, සතර සම්‍යක් ප්‍රධාන භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්‍ෂූහුද
03, සතර ඎද්ධිපාද භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්‍ෂූහුද
04, පංචේන්‍ද්‍රිය භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්‍ෂූහුද
05, පංච බල භාවනාවෙහි යෙදී වසන්නාවූ භික්‍ෂූහුද
06, සප්ත බෝධ්‍යඞ්ග භාවනාවෙහි යෙදී වාසය කරන භික්‍ෂූහුද
07, ආර්‍ය අෂ්ටාංගික මාර්‍ග භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්‍ෂූහුද
08, මෛත්‍රී භාවනාවෙහි යෙදී වාසය කරන භික්‍ෂූහුද
09, කරුණා භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්‍ෂූහුද
10, මුදිතා භාවනාවෙහි යෙදී වාසය කරන භික්‍ෂූහුද
11, උපෙක්‍ෂා භාවනාවෙහි යෙදී වාසය කරන භික්‍ෂූහුද
12, අසුභ භාවනාවෙහි යෙදී වාසය කරන භික්‍ෂූහුද
13, අනිත්‍ය සංඥා භාවනාවෙහි යෙදී වාසය කරන භික්‍ෂූහුද
14, ආනාපාන සති භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්‍ෂූහුද ඇත්තාහ.
- ආනාපාන සති සූත්‍රය.
උපරි පන්නාසකය - මජ්ජිම නිකාය

ඉහත දැක්වෙන ඕනෑම
භාවනාවක් වැඩීමෙන්
විදර්ශනාව සම්පූර්ණ
විය යුතුය.

බෞද්ධ භාවනා ලෙස නම්කළ හැකි
භාවනා සියල්ල මෙපමණක් වියයුතුය.

මේ සියල්ලෙන්ම විදර්ශනාව,
එනම් කාය, වේදනා, චිත්ත හා ධම්ම යන
සතිපට්ඨාන අංග සතර මත
සම්මා සතිය වැඩෙනු ඇත.

බුදුන් වහන්සේ දක්වන
බෝධිපාක්ෂික ධර්ම කවරක් වුවද
තමා තුළම
කාය,
වේදනා,
චිත්ත හා
ධම්ම යන
සතිපට්ඨාන අංග සතර නොදැක
විඳිය නොහැක.

වචන තොල් මැතිරීමෙන්
සිත එක අරමුණක තබා ගත හැකි වුවද
තමා පිළිබඳව සිහියෙන් තොරව
කිසිදු වෙනසක් විය නොහැක.

ඉහත දැක්වෙන සියල්ලෙන්ම
විදර්ශනාව,
එනම් කාය, වේදනා, චිත්ත හා ධම්ම යන
සතිපට්ඨාන අංග සතර මත
සම්මා සතිය වැඩෙනු ඇත.


 සබැඳි සටහන්

විදසුන් නැති තැනැත්තාට, මිත්‍යා දෘෂ්ටිය උපදිනවා. 

තමා සරණයි, අන් සරණක් නැත. 

 ඔබේ සිරුර ගැන ඔබට සිහිය නැහැ.

 



No comments:

Post a Comment