20220224

බුදු දහම ආගමක් හෝ දර්ශනයක් නොවේ.

 

 

බුදු දහම
සීල සමාධි ප්‍රඥා වඩන
පිළිවෙත් මගක්.

බුදු දහම
ආගමක් හෝ දර්ශනයක් නොවේ.

බුදු දහම
සීල සමාධි ප්‍රඥා වඩන
පිළිවෙත් මගක්.

බුදු දහම ශ්‍රද්ධාවෙන් දකින අය
තවමත් දහම ස්පර්ශ කොට නෑ..

බුදු දහම දර්ශනයක් විදියට දකින අය
දහමෙන් ගන්නෙ වචනමාත්‍රය විතරයි.

බුදු දහම අවබෝධ වන්නේ
පිළිවෙත් මග පුරන අතළොස්සටයි.

ආගම ශ්‍රද්ධාව මත පදනම් වෙනවා.
දර්ශනයෙන් ප්‍රඥාව පහළ විය යුතුයි.

බුදු දහම ඇරඹෙන්නේ ශ්‍රද්ධාවෙන්.
ඒ නිසා ආගමික ලක්ෂණ එහි තියනවා.
බුදු දහමේ අවසාන අරමුණ ප්‍රඥාවයි.
ඒ නිසා දාර්ශනික පැත්තක්ද තියනවා.

ඒත් බුදු දහම තනිකරම
ආගමක් හෝ දර්ශනයක් ලෙස භාවිතා කොට
ප්‍රඥාව ලබා ගන්නට හැකියාවක් නෑ.

බුදු දහම එහි හරයේදී
විඳ පසක් කළ යුතු දහමක්.
පච්චත්තං වේදිතබ්බෝ.

ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් අතර
ඉතා වැදගත් පියවර තුනක්
බුදු දහමේ පවතිනවා.

වීර්ය, සති, සමාධි

මේ පියවර තුන ශ්‍රද්ධාවෙන් හෝ
බුද්ධිය මෙහෙයවීමෙන් පමණක්
විඳ පසක් කළ නොහැකියි.

බුදු දහම පිළිබඳව
ප්‍රමාණවත් ශ්‍රද්ධාවක් ඇති තැනැත්තා
සිහිය දියුණු කරන්නට වීර්ය වඩනවා.

ඔහු සිහිය දියුණු කරන්නේ
තමන්ගේම සිත හා කය ගැන
සම්මා සතිය වැඩීම මගිනුයි.
.
කය, කයේ වෙනස්වීම් සහ
සිත සිතේ වෙනස් වීම් වශයෙන්
තමා තුළ සිදුවෙන ක්‍රියාවලිය
සිහියෙන් බලා සිටින ඔහු තුළ
සම්මා සමාධිය පහළ වෙනවා.

වේදනා නිසා තණ්හාව උපදින අයුරුත්
තණ්හාව උපාදාන වෙමින්
තමා දුක් විඳින අයුරුත් දකින විට
ඔහු තුළ ප්‍රඥාව පහළ වෙනවා.

මේ සත්‍යතා දැකිය යුත්තේ
එදිනෙදා ජීවිතය තුළ ප්‍රශ්න වලදී
තමන්ගේ කයත්, සිතත් වෙනස් වීම
විඳ පසක් කිරීමෙන් පමණයි.

තනිකර ශ්‍රද්ධාව හෝ තනිකර දර්ශනය
බුදු දහමේදී අසාර්ථකවෙන්නේ
ඒ දෙකට පාදක වෙන අත්දැකීම
වීර්ය, සති, සමාධි පිළිවෙත් මග
ඒ දෙක අතර පැවතීමයි.
ශ්‍රද්ධා,
වීර්ය,
සති,
සමාධි,
ප්‍රඥා
පියවර පහම භාවිතා කිරීම
බුදු දහමේ නිවන් මගයි.

ශ්‍රද්ධාවන්තයාට 
සතර සතිපට්ඨානයට අනුව
වීර්ය වැඩීමෙන් සම්මා සමාධිය ලැබීමෙන්
ප්‍රඥාව පහළ වෙනවා.

ශ්‍රද්ධාවත් දර්ශනයත් අසම්පූර්ණයි.
දුකෙන් මිදීමට ඒකායන මාර්ගය
සතර සතිපට්ඨානයයි.

- අතුල සිරිවර්ධන


No comments:

Post a Comment