20130118

කෙටි සටහන්.





මිනිසා තමන්ට ප්‍රිය පරාසයක දුක
සැපක් විදියට විඳිනවා.

හැම කම්පනයක්ම දුකක්.
හැම සසල වීමක්ම දුකක්..

හැම වේදනාවක්ම දුකක්..

ඒත් තමන්ට හුරු පරාසය තුළ
ඇබ්බැහි වීම මත විඳින
ප්‍රිය වේදනා ඔහුට සැපක්.

මිරිස් රස දුකක්.
ඒ රසට ඇබ්බැහි වුණ දිවට
මිරිස් රස සැපක්.

ඒ පරාසයෙන් පිටත විඳින දුකම
අර පරාසය තුළත් ඔහු විඳිනවා.
ඒ දුක ඔහු දකින්නෙ සැපක් විදියටයි.

මිනිසාගේ සැප පවතින්නෙ
ඔහු එසේ ප්‍රියකරන පරාසයෙයි.
20130118
=============================================
 
දැනෙනවා කියන්න එකක්..
හිතනවා කියන්නෙ වෙන එකක්.

උණ තියන කෙනෙක් විඳින උණුසුමට
උණ කටුවත් සංවේදීයි.

ඒත් උණ කටුවට
හැඟීම් පහළ වෙන්නෙ නැහැ.

මිනිසෙකුට තව කෙනෙකුගෙ
දුකක් දැක්කාම
සිහිය, උපේක්ෂාව තියනවා නම්
කරුණාවක් පහළ වෙනවා. 


දුක නොදැනෙන අයට වුණත්
තමන් අහල තියන ධර්ම දේශනා නිසා
වැඩිහිටියන්ගෙන් ලැබිල තියන ආදර්ශ නිසා
අනික් කෙනා විඳින දුක ගැන
සිතිවිලි පහළ වෙනවා.


ඒ සිතිවිලි වලට
දුක, තරහ, අප්‍රසාදය ආදී වශයෙන්
ද්වේශය මුල්කරගත් සිතිවිලි
පහළ වෙන්න පුලුවන්.

එහෙම නැත්නම් යමක් කිරීමෙන් සතුටුවීමට
රාගයක් පහළ වෙන්නත් පුලුවන්.
ඔහු ඒ සඳහා
සංවිධානයක් හදන්නත් පුලුවන්.

මෝහයෙන් හිත අඳුරු නම්
අනික් කෙනාගෙ දුක නොපෙනෙන්නත් පුලුවන්. 

20130118
=============================================

.
සමථ ක්‍රමයට විදසුන් වඩන්න බෑ.

සබ්බ කාය පටිසංවේදී.
ඉරියාපථ පබ්බ.
සම්පජඤ්ඤ පබ්බ වලින් කරන්නෙ
ඒ ඇබ්බැහි කමෙන් හිත මුදවලා
මුලු සිරුරටම හිත අවදි කිරීමයි.

ශරීරය කියන්නෙ විවිධ වේදනා
මිලියන් ගාණක් වේදනා ඇති වෙවී
නැති වෙලා යන තැනක්.

එයින් එකක් තෝරාගෙන බලන එක
ඕනම කෙනෙක් කරනවා.
හිසේ කැක්කුම, දත් කැක්කුම වෙලාවට
ඔවුන් කරන්නෙ ඒකයි.
ඒ කැක්කුම දරන්න බැරි වෙන්නෙත් ඒකයි.

සමස්තයක් විදියට කය ගැන සිහිය දියුණු කළ යුතුයි.

සමස්තයක් විදියට වේදනා ගැන සිහිය දියුණු කළ යුතුයි.

සමස්තයක් විදියට සිත  ගැන සිහිය දියුණු කළ යුතුයි.

සමථයෙන් විදසුනට යන කෙනෙක්
එක වේදනාවක් බලමින්
පටන් ගන්න පුලුවන්.

ඒත් මුලු සිරුරම දකින තැනට
වර්ධනය විය යුතුයි.

එක මොහොතක
සමස්ත පුද්ගලයාම
සිත කය දෙකෙන්ම විඳින
සියල්ලම පිළිබඳව
සිහියෙන් හා උපේක්ෂාවෙන් සිටීමයි
අග්‍ර ඵලය.

විදසුන් වඩන්නෙක් නම්
වීර්යයෙන් එතන සිටිය යුතුයි.

රහතන් වහන්සේ
නිරායාසයෙන්ම ඉන්නවා.
20130118
=============================================

No comments:

Post a Comment