20130106

ශීල සමාධි ප්‍රඥා


ශීල සමාධි ප්‍රඥා තුන
සරලව හඳුනා ගැනීම වැදගත්.


ශීලයෙන් මූලිකව ආරක්ෂා වෙන්නෙ
පුද්ගලයාට වඩා සමාජයයි.

ශීලයෙන් කරන්නෙ
හිත කරන්න කියන දේ නොකර ඉඳීමයි.

මත්පැන් පානයෙන් වැළකිය යුතු
ඒ දේ කරගන්න බැරි තැනකට
පත් නොවී ඉන්නයි.

ශීලයෙන් සංවරය,
ආත්ම දමනය හුරු වෙනවා.
තමා කරන දේ කියන දේ
හිතන දේ පෙනෙනවා.
මේ ගුණාංග සමාධියට
වැදගත් වෙනවා.

සමාධිය දෙයාකාරයි.
පළවැන්නෙ අරමුණ සමාධියම නෙමෙයි.
හිත අවුල් වුණාම
පැනලා යන්න තැනක් අවශ්‍යයි.

තමන්ට කැමති අරමුණක
හිත තියා ගැනීමෙන්
හිත අවුලෙන් මිදෙන්න පුලුවන්.
ගීත, ටෙලිනාට්‍ය, ඔපාදූප,
රසවත් ආහාර පාන,
විතරක් නෙමෙයි,
දුම් බීම, මත්පැන පවා
හිතේ අවුලෙන් මිදෙන්න
යොදාගන්නා ක්‍රම.

ඒත් ඒ අරමුණ බිඳිලා
හිත ආයෙමත් අවුල් වුණාම
හැසිරෙන්නෙ සතෙක් වගෙයි.

මේ ක්‍රමයෙ තවත්
ප්‍රභේදයක් වශයෙන්
සමථ භාවනා
සලකන්න පුලුවන්...

කිසියම් විදියකින්
සමථ භාවනා හුරුවෙන අයත්
හිත අවුල් වෙනකොට
තැන්පත් කරගන්න
ක්‍රම හොයාගන්නවා.

වචන මැතිරීමෙන්,
නවගුණ වැල, කොන්තය ගැනීමෙන්
ආදී ආකාරවලින්
හිත අකර්මණ්ය කිරීම
ඔවුන්ගේ ක්‍රමයයි.

මේ ක්‍රම එකකින්වත් හිත
නිසි අයුරින් පිරිසිදු වෙන්නෙ නැහැ.

හිත අවුල් කරමින්
හිතේ මතු වුණ කෙලෙස්
මඩ වතුර බඳුනක
මඩ පතුලට තැන්පත් වෙනවා වගේ
හිත පතුලට තැන්පත් වීමෙන්
හිත නිවෙනවා.

හිත අවුල් වෙන ප්‍රමාණයට
කෙලෙස් ගබඩාව වැඩි වෙවී යනවා.
සමථ භාවනා වඩන්නාට තියන සහනය
ඔවුන් සාමාන්‍ය අය තරම් වෙලාවක්
විඳවන්නෙ නැහැ.
ඒත් ඔවුන්ගෙ ගැලවීම තාවකාලිකයි..
පහසුවෙන් බිඳෙන සුළුයි.


දෙවැනි ක්‍රමය
බුදුන් වහන්සේගේ සොයා ගැනීම වන
විදසුන මගින් කෙලෙසුන් නසා ලබන
නොබිඳෙන සම්මා සමාධියයි.

සම්මා සමාධියට
මූලිකවම හේතු වෙන්නෙ
විදසුන මගින්
හිතේ කෙලෙස් සුන්වීමයි.
ඒ නිසා විදසුන් වඩන්නා තුළ
දවසින් දවස නොකඩවා වැඩෙන
සමාධියක් තියනවා.

සතෙක් එදිනෙදා ජීවිතය ගත කරන කොට
ඌ තුළ මෙන්ම බාහිරව සිදුවෙන දේට
ප්‍රතික්‍රියා දක්වන්නෙ ආවේගශීලීවයි.
උගේ සම්පූර්ණ අවධානය පවතින්නෙ
තමාට කරදරයක් වුණ දේටයි.
ඌට තව සතෙක් මරන්න
තවත් සතෙකුට තුවාල කරන්න
ප්‍රබල හේතුවක් අවශ්‍ය නැහැ.

මිනිස්සුන්ට අවශ්‍ය නම්
සතුන් වගේ නැතුව
තමන් කරන දේ ගැන
සිහියෙන් ක්‍රියා කරන්න පුලුවන්.

සාමාන්‍ය මිනිහෙකුටත්
සතෙකුට වගේම
තමන් තුළ සිදුවෙන දේ
පෙනෙන්නෙ නැහැ.

ඔහු දවසක් තුළ අනන්ත වාරයක්
තමන්ගෙ ඉරියව් වෙනස් කරනවා.
ඒ බව ඔහු දන්නෙ නැහැ.
දවසක් තුළ බොහෝ දේ කරනවා.
පුරුද්දට කරගෙන යනවා.
නුහුරු විදියකට කරන්න වුණොත්
කෝපයටත් පත් වෙනවා.

මිනිසා කියන්නෙත් සතෙක්මයි.

මිනිසා මේ තිරිසන් ජීවිතයෙන් මුදාගෙන
මිනිහෙක් කරන්න මුල් පියවර තැබුවේ
බුදුන් වහන්සේයි.

තමන් කවුද කරන්නෙ මොනවද කියලා
කිසිම හැඟීමකින් තොරව
දවස පුරා ප්‍රිය දේවල් ලබන්නත්
අප්‍රිය දේවල් ඈත් කරන්නත්
වල් වැදී රස්තියාදු ගහන හිත
තමන් ළඟට ගන්න
උන් වහන්සෙ මුලින්ම
තමන්ගෙ මුහුණ ගැන සිහියෙන්
හුස්ම දිගද කෙටිද කියලා
බලා ඉන්න හිතට පුරුදු කරනවා.
එයින් හිත සමාධි ගත වුණාට
තමන් අමතක වෙන්නෙ නැහැ.

අනිත්‍‍ය එනම්
වෙනස් වීම දකිනවා.
අනත්ත
එනම් තමාට සිදුවන
තමා කරන දේ
"කිසිවෙක් නොකරන බව" දකිනවා.

මේ අතරම හිත
මුලු සිරුරටම සංවේදී වෙනවා.
ඔහු තමන්ගෙ ඉරියව්ව දකින්න
නිරායාසයෙන්ම හුරු වෙනවා.

කරන කියන දේ සිහියෙන් කරන්න
පුහුණු වෙනවා.

සිහිය සමග උපේක්ෂාවත්
දියුණු වෙන නිසා
සිහිය වැඩෙනවා.

වෙනදා හිසේ කැක්කුමක්, දත් කැක්කුමක්
වගේ දේකට සංවේදී වුණ ඔහු
මුලු සිරුරටම සංවේදී වෙනවා.

කල් යාමේදී සිහිය තියුණු වෙනවා.
සියුම් වෙනවා.

ඇතිවෙන වේදනා අනුව,
එනම් කයෙහි වෙනස් වීම් අනුව
හිත වෙනස් වෙන ආකාරයත් දකින්න
ඔහුට හැකි වෙනවා.

හිතේ ඇතිවෙන ද්වේෂය
ව්‍යාපාදයට හැරෙන ආකාරයත්
ඒ ව්‍යාපාදය ඵරුෂ වචන සහ
සැරඵරුෂ ක්‍රියා බවට
පත්වෙන හැටිත් ඔහුට පෙනෙනවා.

ඒ ක්‍රියාවලිය සියුම් මට්ටමකදී
එනම් වේදනා, චිත්ත හෝ නීවරණ
අවස්ථාවෙදි දකින්න
ඔහුගෙ සිහිය තියුණු නම්
ශීලය ඉබේම රැකෙනවා.

තමා අරමුණු කරගෙන
හිත පවතින නිසාත්
සිහිය සමග උපේක්ෂාව ඇති නිසාත්
සමාධිය වැඩෙනවා.

මේ සියල්ලටම වඩා වටින්නෙ
අත්දැකීම් සිත කය දෙකෙන්ම විඳිමින්
තමා තුළත් බැහැරත්
සිදුවන සියල්ලම දකින නිසා
අත්දැකීමෙහි සැබෑ රූපය පසක් කිරීම නිසා
නිරායාසයෙන් වැඩෙන ප්‍රඥාවයි.

විදසුන් වඩන්නෙක් වරදක් කළත්
එම අත්දැකීම
සමස්තයක් ලෙස විඳින නිසා
එහි ආදීනවත් පෙනෙනවා.
නිස්සරණය සිදුවන්නෙ
නිරායාසයෙන්.

වීර්යයෙන් වගාකරගන්නා ශීලය
ප්‍රමාදය නිසා බිඳෙනවා..
ලෞකික සමාධිය බිඳෙනවා.
වීර්යයෙන් වගාකරගන්නා සම්මා සතියත්
සම්මා සමාධියත්, ප්‍රඥාවත්
සසර පුරා අපත් සමග සැරි සරනවා.

සම්මා සතියත්
සම්මා සමාධියත්, ප්‍රඥාවත්
තෘෂ්ණා, මාන හා දෘෂ්ඨි නිසා
මළ බැඳී යටපත් වුණත්
නැතිවෙන්නෙ නැහැ.


2 comments: