20121210

රස රස හා නිරස රස



ආහාර යනු මොනවාද.?
ආහාර වලින් සිදු වන්නේ කුමක්ද?

කිසියම් දෙයක් පවතින්නට
උපකාරී වන්නේ ආහාරයයි.

ආහාර නැති විට පැවැත්ම නතර වෙයි.

වාහනයට ඩීසල් හෝ පෙට්‍රල් ආහාර වෙයි.
විදුලි උපකරණයකට ඉන්ධන ආහාර වෙයි.

අවකාශය තුළ
අප පවතින්නේ
ආහාර නිසාය.

කාලය තුළ
අප පවතින්නේ
ආහාර නිසාය.

අපේ සිරුර පවතින්නේ
අප මුවින් ගන්නා ආහාර,
ජලය සහ ඔක්සිජන් නිසාය.

කය පවත්නා තලයෙන්
අප බාහිර ලෝකයත් සමග සම්බන්ධ වන්නේ
ආහාර ජලය හා ඔක්සිජන් මගිනි.

ඔක්සිජන්, ජලය සහ ආහාර
සිරුරේහි පැවැත්මට කෙළින්ම බලපායි.
ආහාර නැති විට පැවැත්ම නතර වෙයි.
කයට ආහාර නැතිව
ජීවිතයට පැවතිය නොහැක.


කයට ආහාර දීමෙන් වැලකී
එමගින් සිත හා කය දමනය කරන්නට
උපවාස කරන්නා හුරු වෙයි.

සිරුරට ආහාර සහ ජලය මෙන්
ඔක්සිජන් අඩංගු වායුව
සිරුරේහි සහ මනසෙහි පැවැත්ම යන
දෙකටම බලපායි.

සිරුර වැඩි වේගයකින් ක්‍රියා කරන විට
ආහාර සහ ඔක්සිජන්
වැඩියෙන් අවශ්‍ය වෙයි.

මනස වේගයෙන් ක්‍රියා කරනවිට...
එනම් ආවේගශීලී වූ විට
හුස්ම ගැනීම වේගවත් වී
ඔක්සිජන් වැඩියෙන් ලබා ගනියි.
සිත එකඟ වන විට
හුස්ම සියුම් වෙයි.

සිරුරට ආහාර සහ ජලය මෙන්
ස්පර්ශයත් සිරුර හා මනස
පවත්වා ගැනීමට අවශ්‍ය ආහාරයකි.
ස්පර්ශය නොදැනී ගියහොත්
අප ආහාර ගන්නේ නැත.
ස්පර්ශය නොදැනෙන විට
ආහාරයෙහි රසය නැතිව යන බැවිනි.

අප රූප දකින්නේ ඇස් වල ස්පර්ශය නිසාය.
අපට ශබ්ද ඇසෙන්නේ කන් වල ස්පර්ශය නිසාය.
අන් ඉඳුරන් පිළිබඳවද එසේමය.

ඒ අයුරින් ස්පර්ශය
ශරීරයේ සහ
ඉඳුරන්ගේ පැවැත්මට
අවශ්‍ය වන ආහාරයයි.
අප ඉඳුරන් මගින්
ලෝකය හා බැඳෙන්නේ
ස්පර්ශයෙනි.

සීලයෙන් කයත් සිතත්
සංවර කරගන්නා කෙනෙකු
ස්පර්ශයෙන් ලැබෙන ආහාරයට
උපවාසය පුරුදු කර
යම් පමණකට
සිත හා කය දමනය කර ගන්නට
පුහුණු වෙයි.

සිරුරට ආහාර සහ ජලය මෙන්
මනස පවතින්නටද
ආහාර අවශ්‍යය.
අප සිතන සිතුවිලි
මනසට ආහාරයි.
අප අතීතය හා අනාගතය සමග
සම්බන්ධ වන්නේ සිතුවිලි මගිනි.
අප කාලය තුළ ක්‍රියා ශීලී වන්නේ
සිතුවිලි මගිනි.

අප සිතීම නතර කළ විට
සිත නතර වෙයි.

අන් සියලු අත්දැකීම වලට
ඇති සංවේදී බව අක්‍රිය කොට
සිත එක් අරමුණක තබාගෙන ඉන්නා
සමථ යෝගියා
අක්‍රිය භාවයට සිත ඇබ්බැහි කරයි.
අක්‍රියබවට ඇබ්බැහි වන
ඔහු සිත ක්‍රියා කළ යුතු විට පවා
සිත අක්‍රිය කරගෙන
ධ්‍යාන සුවයෙන් පසු වෙයි.
ධ්‍යානය යනු
සිතුවිලි හා හැඟීම් වලට
උපවාසයෙන් පසු වී ලබා ගන්නා
අක්‍රිය සිතයි.
ඒ අයුරින්ද සිත
යම් පමණකට දමනය වෙයි.

විඤ්ඤාණයට ආහාරය නම්
මුලින් විස්තර කරන ලද
ආහාර වර්ග වල ස්පර්ශයට
හා ඉන් ජනිතවන වේදනාවට ඇති
රස, අප්‍රිය රස හා නිරස නිසා ඇතිවන
ප්‍රිය හෝ අප්‍රිය බව සහ
මැදහත් බවයි.

ඉහත කී ආකාරයට
සිත සහ කය
අවශ්‍ය පමණට ආහාර ගන්නා විට
සිත සහ කය
ස්වාභාවිකව පැවතිය හැකි
කාලය පමණක් පවතියි.
දීර්ඝ කාලයක් ජීවත් වන්නේ ඔවුන්ය.

ආහාර නැතිවීම දුකකි.
ආහාර සොයා යෑමද දුකකි..
සිරුරට මෙන්ම මනසටද
කුසගින්නක් හා පිපාසයක් ඇත.

කුසගින්නට හා පිපාසයට
ආහාර ගන්නා තැනැත්තා
අහාරයෙහි ප්‍රිය බව නිසා
විඤ්ඤාණයට ආහාරය වන
ප්‍රිය බව සොයන්නට වෙයි.
කයෙහි හා සිතෙහි
කුසගින්න හා පිපාසයට වඩා
විඤ්ඤාණයෙහි කුස ගින්නට
ආහාර සොයන්නට ඔහු පෙළඹෙයි.

රස ප්‍රිය නම් ආහාරයක් නොවන දෙයක් වුව
ඔහු සිරුරට හා සිතට එක් කර ගනියි.
අප්‍රිය නම් ආහාරයක් වුවද
ප්‍රතික්ශේප කරයි.
මෙසේ ඔහු ආහාරයට වඩා
රසය මත යැපෙන්නට පටන් ගනියි.

මූලික ආහාරයට ඇති අවශ්‍යතාවය
ඉටු කර ගැනීම දුකක් නොවේ.
දුක ඇත්තේ අන්ත දෙකෙහිය.
දුක පවතින්නේ,
ආහාර නැතිව ජීවත් වීමට සිදු වීම සහ
රසය මත ආහාර සෙවීම තුළය.

රසය මත ආහාර සොයන්නා මෙන්ම
රසය මත ආහාර  ප්‍රතික්ෂේප කරන්නාද
මනසින් හා කයින් දුක් විඳින
ප්‍රමාණය වැඩිය.

ප්‍රිය රසයෙන් මනස සනසන්නට
කයට අනවශ්‍ය ආහාර ඇතුල් වීමෙන්
කය දුක් විඳියි.
ඖෂධ වැනි ආහාරවල
රසය අප්‍රිය වූ විට
සිත දුක් විඳියි.

දුකට හේතුව වන්නේ
ආහාරයෙහි ප්‍රිය රසය සෙවීමය.
එය සොයන්නේ කලින් විඳි රස පිළිබඳව
තොරතු රැස් කරගෙන සිටින
විඤ්ඤාණයයි.

විඤ්ඤාණයට ආහාරය වන්නේ
ස්පර්ශය, වේදනා, හැඟීම් හ සිතුවිලි වල
රස, අප්‍රිය රස හා නිරස නිසා ඇතිවන
ප්‍රිය හෝ අප්‍රිය බව සහ
මැදහත් බවයි.

සිතින් හෝ කයින් ගන්නා
ආහාර වර්ග අවම කිරීමෙන්
සිත හා කය අක්‍රිය කළ හැකි වුවද
ආහාර කයට හා ඉතට ගන්නා ආහාර
නොගෙන සිටීමෙන්
විඤ්ඤාණයෙහි පැවැත්ම දුර්වල නොවෙයි.

මන්ද යත්,
ආහාර නොගෙන සිටීමද
විඤ්ඤාණයට ප්‍රිය හෝ අප්‍රිය වන බැවිනි.
ගන්නා ආහාරය නොදැනුනද
එම තොරතුර පවා
විඤ්ඤාණය සටහන් කරගන්නා බැවිනි.

ඒ අනුව
අනික් ආහාර වලින් වැළකී සිටිය හැකි වුවද
විඤ්ඤාණය පෝෂණය වීම
සාමාන්‍ය ආකාරයට දකින්නෙකුට
නතර කළ නොහැක.
විඤ්ඤාණය පැය විසිහතර පුරාම
ලැබෙන ආහාරයෙන් පෝෂණය වෙයි.

කය ආහාර ගන්නා විට
ආහාරයෙහි රසය ඉතා ප්‍රිය නම්
විඤ්ඤාණය රාගයෙන් පෝෂණය වෙයි.
අප්‍රිය නම්, එයින්ද
විඤ්ඤාණය ද්වේෂයෙන් පෝෂණය වෙයි.
ප්‍රිය හෝ අප්‍රිය භාවය අවම වනවිට
මෝහයෙන් පෝෂණය වෙයි.
විඤ්ඤාණයට ආහාරය
සංස්කාරයි.

සංස්කාර නිරෝධ වන්නේ
විඳින අත් දැකීම්
විද්‍යාමාන වීමෙනි.
සිහිය දියුණු වීමෙනි.
අවිද්‍යාව දුරු වීමෙනි.



විඤ්ඤාණය දුර්වල කරන්නට නම්
විශේෂ ආකාරයකින්
දැකිය යුතුය.

අප අත් දකින දේට
අවසිහියෙන් සිටීමෙන්
මෝහ සංස්කාර ඇති වෙයි.

අප අත් දකින දේට
ලොබ බඳීමෙන්
රාග සංස්කාර ඇති වෙයි.

අප අත් දකින දේට
ද්වේශය ඇති කර ගැනීමෙන්
මෝහ සංස්කාර ඇති වෙයි.

විඤ්ඤාණය
පෝෂණය නොවන ආකාරයට
විසිය හැක්කේ
එනම් සංස්කාර ඇති වීමෙන්
වැළකී විසිය හැක්කේ
කයින් හා සිතින්
අප අත් දකින සියලුම දේට
සිහියෙන් සිටින අතරම
කයින් හා සිතින්
අප අත් දකින සියලුම දේට
ලොබ බැඳීමෙන් හා
දොම්නසට පත්වීමෙන්
වැළකී සිටීමෙනි.

දුකට හේතුවන
විඤ්ඤාණය නිරෝධ කර ගන්නට නම්
අප පැය විසි හතර පුරාම
මුලු ශරීරයෙන්ම සහ මනසින් විඳින
සියලුම ප්‍රිය අප්‍රිය හා මැදහත් වේදනා,
සිතුවිලි හා හැඟීම් පිළිබඳව
පූර්ණ සිහියෙන්,
එනම් සම්පජානෝ සතියෙන් සහ
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් විසීමෙනි.

මේ මොහොතෙහි
කයින් හා සිතින්
අප අත් දකින සියලුම දේට
සිහියෙන් සිටින අතරම
කයින් හා සිතින්
අප අත් දකින සියලුම දේට
ලොබ බැඳීමෙන් හා
දොම්නසට පත්වීමෙන්
වැළකී සිටීමෙනි.

නිවන් දකින්නට පෙර
දුකෙන් මිදෙන්නට නම්
ආහාර ජයගත යුතුය.

ඒ සඳහා එකම මග
විදසුනයි.





No comments:

Post a Comment