20130101

අව්වෙ ඉන්න පණුවා සහ මිනිසා


අව්වෙ ඉන්න පණුවෙකුත්,
සාමාන්‍ය මිනිසෙකුත්,
සමථ යෝගියෙකුත්,
විදසුන් වඩන්නෙකුත් ක්‍රියා කරන්නෙ
හතර ආකාරයකටයි.

1, පණුවා අව්වෙ ඉන්නෙ
උපේක්ෂාවෙන් නෙමෙයි..
වේදනාවට ද්වේශයෙන්
ඌට කරන්න වෙන දෙයක් නෑ.
ඒත් ඌ අතීතයෙ තිබුණ කුඩය ගැනවත්
අනාගතයෙ ගන්න යන කුඩය ගැනවත්
හිතන්නෙ නැති නිසා
අව්ව නැති වුණාම උගේ ප්‍රශ්නය ඉවරයි.


 
2, සාමාන්‍ය මිනිසා
අව්ව නිසා ඇතිවෙන
දුක්ඛ වේදනාව දකින්න පෙරම
ඔහුට ද්වේශ චිත්තය ඇතිවෙනවා.
එවිටම ව්\‍යාපාද නීවරණය ඇතිවෙලා
ඔහු එයින් දුක් විඳිනවා.
කයෙහි දැනෙන දුක්ඛ වේදනාව
එයින් ඇතිවෙන ද්වේශය චිත්තය
එයින් ඇතිවෙන ව්‍යාපාද නීවරණය නිසා
කැළඹෙන හිත නිවා ගන්න
සාමාන්‍ය මිනිසා
එක්කො අතීතයෙ තිබුණ කුඩය ගැන
අනාගතයෙ ගන්න යන කුඩය ගැන හිතමින්
නැත්නම් වෙනත් දෙයක් ගැන හිතමින්
අව්ව නිසා ඇතිවෙන ද්වේශය දරාගන්නවා.
එහෙම ප්‍රපංච තනන්නෙ නැති කෙනෙක් නම්
අව්වට හෝ කුඩය නැතිවීමට හේතු වුණ අයට
අව්වෙ ඉන්න හේතු වුණ අයට
දෙස් දෙවොල් තියමින් දුක් විඳිනවා.
හෙවනක් දකින කොට දුවගෙන යනවා.


 
3, සමථ යෝගියා කරන්නෙත්
ලෞකික ධ්‍යානයෙන් ඇතිවෙන
මෝහය නිසා
පණුවා මෙන් බකං නිලාගෙන ඉඳීමයි.
මන්ද... ඔහු උපෙක්ෂාව හදාගන්නෙ
අව්ව නිසා ඇතිවෙන
දුක්ඛ වේදනාව සහ
එයින් ඇතිවෙන ද්වේශය චිත්තය
එයින් ඇතිවෙන ව්‍යාපාද නීවරණය යන තුනම
දැනෙන්නෙ නැති විදියට
වෙනත් පුරුදු කළ අරමුණකට
හිත එකඟ කරගන්න
සමථ භාවනාව මගින්
පුහුණු වෙලා ඉන්න නිසයි.

අව්ව නිසා ඇතිවෙන
දුක්ඛ වේදනාව සහ
එයින් ඇතිවෙන ද්වේශය චිත්තය
එයින් ඇතිවෙන ව්‍යාපාද නීවරණය ගැන
විදසුන් වඩන්නා තුළ පවතින සිහිය
ඔහුගෙ උපේක්ෂාව සමග නැහැ.

සමථ යෝගියා තුළ තියෙන්නෙ
අව්ව නිසා ඇතිවෙන
දුක්ඛ වේදනාව සහ
එයින් ඇතිවෙන ද්වේශය චිත්තය
එයින් ඇතිවෙන ව්‍යාපාද නීවරණය
උවමනාවෙන් නොසලකා හැර
ඔහුට කැමති අරමුණකට
එකඟ කර ගත් හිතක්.
ලෞකික ධ්යානයක්.

සමථ යෝගියා තුළ තියෙන්නෙ
අව්ව නිසා ඇතිවෙන
ශාරීරික හා මානසික වෙනස් කම්
හිතා මතාම නොසලකා හැර
ඇති කර ගත් මෝහයයි.
ඔහු ධ්‍යාන සුවය කියලා විඳින්නෙ
ඒ මෝහයයි.

මත්පැන් බීමෙනුත්
මේ වගේ තත්වයක්
ඇතිවෙනවා.
අව්ව නිසා ඇතිවෙන
දුක්ඛ වේදනාව සහ
එයින් ඇතිවෙන ද්වේශය චිත්තය
එයින් ඇතිවෙන ව්‍යාපාද නීවරණය
බේබද්දාටත්, සමථ යෝගියාටත්
ගාණක් නැහැ.

ඔවුන් දෙන්නාටම
තමා තුළ සිදුවෙන දේ
ගාණක් නැහැ.

සමථ යෝගියා ඔහුගෙ ධ්‍යානයෙන්
අසුරු සැණකින් මුදව ගන්න පුලුවන්.
බේබද්දා අවදිවෙන්නෙ
මත්පැන ඔහුට කරන
බලපෑමෙන් ඔහු මිදුණාමයි.

මත්පැන් බොන අය ඒක නතර කරලා
සමථ භාවනාව වඩන එක හොඳයිද???
ඒක වෙනම ප්‍රශ්නයක්..


 
4, විදසුන් වඩන්නාටත්
පණුවාට දැනෙන
ශාරීරික වේදනාව දැනෙනවා.
එයින් ඉවත්වෙන උවමනාව
එනම් තණ්හාවත් ඇතිවෙනවා.
සාමාන්‍ය මිනිසාට
අව්ව නිසා ඇතිවෙන
දුක්ඛ වේදනාව සහ
එයින් ඇතිවෙන ද්වේශය චිත්තය
එයින් ඇතිවෙන ව්‍යාපාද නීවරණයත්
ඇතිවෙනවා.

විදසුන් වඩන්නාටත්
වෙන කරන්න දෙයක් නැත්නම්
අව්ව නිසා ඇතිවෙන
දුක්ඛ වේදනාව සහ
එයින් ඇතිවෙන ද්වේශ චිත්තය
එයින් ඇතිවෙන ව්‍යාපාද නීවරණය
යන තුනම නිසා ඇතිවෙන
ශාරීරික හා මානසික වෙනස් කම්
සමස්තයම සිහියෙන් දකිමින්
ඒ සියල්ලටම උපෙක්ෂාවෙන් ඉන්නවා.
දැනෙන මාත්‍රයට දකිමින්,
සිදුවෙන වෙනසට
නැවත නැවතත් සිහිය උපදවා ගනිමින්
දුක්ඛ වේදනාවට
එයින් ඇතිවෙන ද්වේශ චිත්තයට
එයින් ඇතිවෙන ව්‍යාපාද නීවරණයට
අනිශ්‍රිතව, උපාදාන කර නොගෙන
සෝ තැවුල්, දුක් දොම්නස් නැතිව
මේ මොහොතෙ වෙසෙනවා.

හෙවනක් දුටුවාම හෙවනට යනවා.

ඒත් පණුවා මෙන්
සිදුවෙන්නෙ මොනවද කියල
නොදන්නෙ නැහැ.

සමථ යෝගියා මෙන්
මෝහයට වැටෙන්නෙ නැහැ.

සාමාන්‍ය මිනිසා මෙන්
ප්‍රපංච තනන්නෙ නැහැ.
අව්වට සහ හේතුවලට
දෙස් දෙවොල් තියන්නෙ නැහැ.
හෙවන දැක්කාම දුවගෙන යන්නෙත් නැහැ.

අව්වෙ හිටියත්
හෙවනෙ හිටියත්
කයෙහි හා සිතෙහි වෙන වෙනස්කම්
ඔහුට බරක් නොවෙයි..
දුකක් නොවෙයි.

ඔහු පසුවෙන්නෙ
අව්ව නිසා ඇතිවෙන
දුක්ඛ වේදනාව සහ
එයින් ඇතිවෙන ද්වේශය චිත්තය
එයින් ඇතිවෙන ව්‍යාපාද නීවරණය
පිළිබඳව සිහියෙන් සහ
ඒ සියල්ලටම උපේක්ෂාවෙන්.

No comments:

Post a Comment