20140530

සතර සතිපට්ඨානය ක්‍රියා කරන අයුරු





ඔබේ ශරීරයෙහි කළමනාකරු
ඔබේ මනසයි.
ඒ කාර්යය නිවැරදිව කරන්නට
ඔබේ මනසට නොහැකියි..

ඔබේ මනසත් කයත්
සම්බන්ධ කරන පුරුක වන වේදනා
කළමනාකරණය කරගන්නට නොහැකි වීම
මනසෙහි අසාර්ථකත්වයට
මූලික හේතුවයි.

කායික වේදනාවක් මතුවෙන්නෙ
කයෙහි සිදුවෙන වෙනසක්
මනසට දැනුම් දෙන්නයි.
ඒ දැනුම් දීම ලැබෙන්නෙ
කිසියම් වේදනාවක් මගින්.

වේදනාව දැණුනාම
සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීම
මනසෙහි යුතුකමක්.
මනස ඒ යුතුකම ඉටු කළොත්
සත්වයෙකුට ස්වාභාවිකව පවතින්න
ඒ ටික ඇති.

ඒත් මිනිස් මනසට
කයෙහි වේදනාවක් දැණුනාම
මනස ඒ වේදනාව
තමන්ගෙ දෙයක් කරගන්නවා.
ඇත්තටම මනස
ඒ වේදනාව
තමන්ගෙ දෙයක් ලෙස විඳිය යුතු නැහැ.

ප්‍රිය වේදනා වලට ඇති කැමැත්ත නිසා
මනස ප්‍රිය වේදනා සොයනවා.
කයට අවශ්‍ය නැති දේවල්
කයෙහි සහ මනසෙහි ස්පර්ෂ කරගනිමින්
කයෙහි මතුවෙන වේදනා රස විඳින එක
මනසෙහි පුරුද්දක්.

මනස ප්‍රිය කරන රස වේදනාවක්
මනසේ ඇති කරන ආහාරයක්
කයට අවශ්‍ය නැති වුණත්
ඒකාධිපති මනසෙ උවමනාවට
මනස විසින් කයට ඇතුල් කරනවා.

දිවේ ගෑවෙන ආහාරය නිසා
දිවත් මොළයත් ඇතර ඇතිවෙන
ප්‍රිය ජනක රසායනික වෙනසෙන්
මනස තෘප්තිමත් වෙනවා.
ඒ කුඩා රසායනික වෙනස ඇති කරලා
ආහාරය කුසට ඇතුල්වෙනවා.

එතැන් පටන් ඒ ආහාරය
දිරවා හෝ නොදිරවා
කයෙන් පිට වෙනතුරු
වගකීම කයට පැවරෙනවා.

කය පැමිණිලි නොකලොත්
මනස සතුටෙන් ඉන්නවා.

මනස කියන්නෙ ඔබ කියලයි ඔබ හිතන්නෙ..
කය නවාතැනක්..
ඔබ කියන්නෙ මනස පමණක් නෙවෙයි.
මනස පවතින්නෙ කය ආධාර කරගෙනයි.
සිතේ සිදුවෙන හැම දෙයක්ම
ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව
වේදනාවක් ලෙස
කයෙහි ප්‍රකට වෙනවා.

ඒත් මේ මනසෙහි මේ ක්‍රියාවලියට
තදින් බැඳුණ අයට
කය කියන්නෙ මනසෙන් පරිබාහිර දෙයක්.

මනසෙහි ක්‍රියාවලියට
තදින් බැඳුණ අයට
ප්‍රිය වේදනා මනසට එනතාක් කල්
කය මතක්වෙන්නෙ නැහැ.
ඔවුන්ට කය මතක් වෙන්නෙ
අප්‍රිය වේදනාවක් මතු වුණාමයි.

ඒ මොහොතෙ ඉඳලා
ඒ අප්‍රිය වේදනාවෙන් මිදෙන්න
කය නිර්වින්දනය කරන්න
ඒකාධිපති මනස කටයුතු කරනවා.

ප්‍රිය වේදනාවට
රතු බුමුතුරුණ එලන ඒකාධිපති මනස
අප්‍රිය වේදනාවට
සුදු වෑන් එකක් යවනවා.

ගැටලුව විසඳෙන්නෙ නැහැ..

තාවකාලිකව
කයෙහි උද්ඝෝෂණය
මර්දනය වෙනවා.

මනස වගකීමෙන් තොරව
කටයුතු කිරීමෙහි ප්‍රතිඵල
කායික ලෙඩ රෝග,
මානසික අක්‍රමිකතා විදියට
පසුකාලීනව මතු වෙනවා.
වයසට හැදෙන ලෙඩ කියලා
හිත සනසා ගත්තට
වයස යද්දි හැදෙන ලෙඩ
තරුණ කාලේ
කයට වැරදි ලෙස සැලකීමෙ ප්‍රතිඵල.
කාමය, ක්‍රෝධය, දුක, භය..
මේ හැම ආවේගයක්ම
කයෙහි නොමැකෙන වෙනස්වීම් ඇතිකරනවා.
කය වැය වෙනවා. පිරිහෙනවා.

මනස වගකීමෙන් තොරව
කටයුතු කිරීමෙහි ප්‍රතිඵල ලෙස
කායික ලෙඩ රෝග මතුවෙන කොට
ඒ ප්‍රශ්නත් මනස විසඳන්නෙ
කලින් වගේම දුර්දාන්ත
පාලන ක්‍රමයකටයි.

කයට බෙහෙත් කරන්නෙ කය සුව කරන්න නොවෙයි.
වේදනාවෙන් මුදවලා මනස සනසන්නයි.
ඔසු කියලා ඇතුල් කරන බොහෝ දෙ
නිර්වින්දක පමණයි.

කය පිරිහිලා
මනසට පාලනය කරන්න බැරි
බරපතල රෝගී තත්වයකට
අවසානයෙ කය පත්වුණාම
මනස පැහැදිලිව තිබුණොත්
කයට දුන් වද වේදනා සියල්ලටම
වන්දි ගෙවන්න මනසට සිදු වෙනවා.
ඒත් බොහෝ විට වෙන්නෙ
මනස අක්‍රිය වීමයි.
මේ තත්වයට මූලික හේතුව
කයත් මනසත් අතර
දූතයෙක් මෙන් ක්‍රියා කරන වේදනාවට
වැරදි විදියට සැලකීමයි.

එක මොහොතක ඉඳුරන් පහකින්
සහ මනසෙන් තොරතුරු අරන්
දූතයන් එනවා.
මේ සියලු පණිවිඩ වලට සංවේදී වීමට
නිවුණු සංවර යහපත් මනසකට පුලුවන්.

පවට බර අයහපත් මනස
මේ තොරතුරුවලට
පක්ෂපාතීව කටයුතු කරනවා.
කයෙහි දැනෙන වේදනා
මනසෙහි රුචිකත්වය අනුව
මනස ව්සින්ම වර්ග කරනවා.

වේදනාව ප්‍රිය නම්
ඒ වේදනාව දිගටම විඳින්න
මනස උත්සාහ කරනවා.
අනික් සියලු තොරතුරු මග හැරෙනවා.

වේදනාව අප්‍රිය නම්
වහාම ඒ වේදනාව
නැති කරගන්න මනස උත්සාහ කරනවා.
අනික් සියලු තොරතුරු මග හැරෙනවා.

මනස සැප කියල විඳින්නෙ
කිසියම් ප්‍රිය වේදනාවක් හෝ
ප්‍රිය වේදනා මාලාවක්.

ප්‍රිය ගීතයක් කියන්නෙ
ප්‍රිය ජනක වේදනා මාලාවකට.
සවන හෝ මනස ආධාරයෙන්
කයෙහි ඇති කරන වේදනා මාලාව ප්‍රිය නිසා
අපි ගීතයක් ප්‍රිය කරනවා.

රස ආහාරයක් කියන්නෙ
ප්‍රිය වේදනා මාලාවකට.

ලස්සණ රූපයක් කියන්නෙ
ප්‍රිය වේදනා මලාවකට.

වේදනා මාලාව ප්‍රිය නම්
මනස ඒ වේදනා මාලාව ඇතිකරන
තැනැත්තා හෝ දේ සිතින් බැඳගන්නවා.
හැකිනම් නීතියෙනුත් බැඳගන්නවා.

වේදනා මාලාව අප්‍රිය නම්
එයින් මිදෙන්නත් එවැනිම හෝ
ඊටත් වැඩි වෙහෙසක් දරනවා.

මනසේ රුකුල් දීම මත
කයට බැරිවෙනතුරු
ප්‍රිය අප්‍රිය දෙපැත්තට දෝලනය වෙමින්
මනසට  රිසි පරිදි
ජීවිතය ගත වෙනවා.

මේ දෝලනයෙන් සැප හා දුක් විඳින අය
එක පැත්තකට සතුටෙන් පැද්දිලා ගිහින්
අනික් පැත්තට හඬමින් දෝලනය වෙනවා.

මේ දෙකම විඳින්න
මනස දරන ආයාසයෙන්
වෙහෙසට පත්වෙන අතළොස්සක්
හැම යුගයකම ඉන්නවා.
ඔවුන් දුකෙන් මිදෙන්න මගක් සොයනවා.

ඔවුන් වෙනුවෙන්
බොහෝ අය විසඳුම් සෙව්වා.
ඒ අතරෙන් ජනප්‍රියම ක්‍රමය
තමන් කැමති එක අරමුණකට
මනස ඒකාග්‍ර කරලා
දැහැන්ගත වෙලා
කයෙහි දැනෙන සියලු වේදනාවන්ට
නිර්වින්දනය වීම.

ඔවුන් මනසෙහි සතුට උදෙසාම
සොයාගත් ඒ විසඳුමෙන්
තාවකාලික සුවයක් ලැබුණත්
දැහැන බිඳුණාම
සාමාන්‍ය අයටත් වඩා දුක් විඳිනවා...
මනස කැළඹෙනවා.

මේ විසඳුම් වල
අරුත් සුන් බව දුටු
බුදුන් වහන්සේ
මනසේ විකෘති දුර්දාන්ත පාලනයෙන්
කය මුදවාගෙන,
මනසත් කයත් අතර සුහදතාවයක් ගොඩ නගලා
මනසත් කයත් නීරෝගීව පවත්වා ගන්න
පෙර නොවූ විරූ
විසඳුමක් සොයා ගත්තා.

ඒ විසඳුමෙන්
ප්‍රධාන කරුණු පහක් ඉටුවෙන බව
උන්වහන්සේ සොයාගත්තා.
1, සත්වයාගේ විශුද්ධිය,
2, සෝක පරිදේව සමතයට, ඉක්මවීම
3, දුක් දොම්නස් අස්තංගත වීම
4, ප්‍රඥාව ඉහළ යාම
5, නිවන සාක්ශාත් කිරීම
මේ  කරුණු පහ ඉටු කරගන්න
වෙනත් කිසිදු මගක් නැහැ..

ඒ විසඳුමෙහි පළමු අංගය
බාහිර ලෝකයත් අභ්‍යන්තර ලෝකයත් අතර
සම්බන්ධතාවය පවත්වන
ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව
සිහියෙන් විසීම.

ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ගැන
සිහියෙන් සිටින කෙනෙක්
කෙමෙන් කෙමෙන් තමන්ගෙ කයට
සංවේදී වෙන්න පටන් ගන්නවා.

සිදුවෙන වෙනස්කම් දෙස
නොකඩවාම, දැනෙන මාත්‍රයෙන්,
සිහිය පවතින මාත්‍රයෙන්,
ඒ වෙනස්කම් වලට අනිශ්‍රිතව,
වෙනස සිතින් අල්ලා නොගෙන
කය පිළිබඳව සිහියෙන් වසන්න
බුදුන් වහන්සේ උපදෙස් දෙනවා.

ආශ්වාස ප්‍රශ්වාසය වුණත් අපට දැනෙන්නෙ
ඒ ක්‍රියාවෙදි කයෙහි නැගෙන සියුම් වේදනා නිසයි.
මේ වෙනස මුලු කයටම දැනෙනවා.

මුහුණ ප්‍රදේශයට හිත යොමු කරගෙන
සැහැල්ලුවෙන් ආශ්වාස ප්‍රශ්වාසය බලන
මේ විශේෂ තැනැත්තාට
ඔහුගෙ මුලු කයම ඒකකයක් මෙන් දැනෙනවා.
ඔහු මුලු කයටම සංවේදී වෙනවා.

ඉන් පසුව
ඒ සංවේදීතාවයෙන් යුක්තව
ඇතුළතින් පිටතින්, ඇතුළත හා පිටතින්,
කය "සමස්තයක් ලෙස" සිහියෙන් දකිමින්
වෙනස්වීම් ඇරඹෙන විදිය,
වෙනස්වීම් නැති වෙන විදිය ගැන
දැනුවත්ව වසන්න
බුදුන් වහන්සේ උපදෙස් දෙනවා.

කයෙහි ප්‍රධාන ඉරියව් පිළිබඳව සිහියෙන්
එහි ඇති වෙන වෙනස්කම් වලින් නොසැලී,
නොකැළඹී වෙසෙන්න
නොකඩවාම, දැනෙන මාත්‍රයෙන්,
සිහිය පවතින මාත්‍රයෙන්,
ඒ වෙනස්කම් වලට අනිශ්‍රිතව,
වෙනස සිතින් අල්ලා නොගෙන
කය පිළිබඳව සිහියෙන් වසන්න
බුදුන් වහන්සේ උපදෙස් දෙනවා.

යාම් ඊම්, කෑම් බීම්, සවන් දීම්,
කතා කිරීම්, නිහඬව හිඳීම්,
මළමුත්‍ර පහකිරීමේදී පවා
පවත්වන සෑම ඉරියව්වක්ම, කරන සෑම ක්‍රියාවක්ම
කය "සමස්තයක් ලෙස" සිහියෙන් දකිමින්
නොකඩවා,
දැනෙන මාත්‍රයෙන්,
සිහිය පවතින මාත්‍රයෙන්,
ඒ වෙනස්කම් වලට අනිශ්‍රිතව,
වෙනස සිතින් අල්ලා නොගෙන
කය පිළිබඳව සිහියෙන් වසන්න
බුදුන් වහන්සේ උපදෙස් දෙනවා.

නොයෙක් අයුරින් කය හඳුනාගන්න
ක්‍රියා කරන විශේෂ දැක්මකින් යුතු
මේ තැනැත්තා කෙමෙන් කෙමෙන්
වේදනා දකින්න හුරු වෙනවා.

සුඛ වේදනා, දුක වේදනා
සහ දුක හෝ සැප නොවෙන වේදනා වශයෙන්
වේදනාව කොටස් තුනකට වර්ග කරන
බුදුන් වහන්සේ
ඒ වර්ග තුනේම වේදනා
මේ අවස්ථාවෙහි මේ ආකාරයේ වේදනාවක් විඳිමි
කියා පමණක් දකිමින් වෙසෙන්න උපදෙස් දෙනවා.
ඒ වේදනාව සාමිසද නිරාමිසද කියාත්
හඳුනාගෙන වෙසෙන්න උපදෙස් දෙනවා.

ඇතුළතින් පිටතින්, ඇතුළත හා පිටතින්,
වෙනස්වීම් ඇරඹෙන විදිය,
වෙනස්වීම් නැති වෙන විදිය ගැන
දැනුවත්ව වසන්න
බුදුන් වහන්සේ උපදෙස් දෙනවා.

නොකඩවාම,
දැනෙන මාත්‍රයෙන්,
සිහිය පවතින මාත්‍රයෙන්,
ඒ වෙනස්කම් වලට අනිශ්‍රිතව,
වෙනස සිතින් අල්ලා නොගෙන
වේදනාවන්හි වේදනා පිළිබඳව
සිහියෙන් වසන්න
බුදුන් වහන්සේ උපදෙස් දෙනවා.

වේදනා පිළිබඳව
උපේක්ෂාවෙන් වෙසෙද්දි
සිහිය දියුණු වෙනවා.

ඉතා රළු වේදනාවලින් හෝ
නොකැළඹී ඉන්න පුරුදු වෙන අතර
සියුම් වේදනා දැනෙන්න පටන් ගන්නවා.
රුධිර සංසරණය පව දැනෙන තරමට
සිහිය සියුම්වෙන අවස්ථා තියනවා.
ඒ සියුම් සංවේදී සිතට
සිතේ වෙන වෙනස්වීම් වලට සමානුපාතිකව
කයෙහි වෙන ව්නස්වීම් දැනෙනවා.

රාග, ද්වේශ, මෝහ වශයෙන්
සිත වෙනස් වෙන අයුරු දකින්න
බුදුන් වහන්සේ උපදෙස් දෙනවා.

ඇතුළතින් පිටතින්, ඇතුළත හා පිටතින්,
වෙනස්වීම් ඇරඹෙන විදිය,
වෙනස්වීම් නැති වෙන විදිය ගැන
දැනුවත්ව වසන්න
බුදුන් වහන්සේ උපදෙස් දෙනවා.

මේ අයුරින් සිතෙහි සිහිය පිහිටුවාගෙන
නොකඩවාම,
දැනෙන මාත්‍රයෙන්,
සිහිය පවතින මාත්‍රයෙන්,
ඒ වෙනස්කම් වලට අනිශ්‍රිතව,
වෙනස සිතින් අල්ලා නොගෙන
චිත්තයන්හි චිත්ත පිළිබඳව
සිහියෙන් වසන්න
බුදුන් වහන්සේ උපදෙස් දෙනවා.

සිතෙහි ඇතිවෙන නීවරණ, සප්ත බොජ්ඣංග,
ස්කන්ධ පහ, ආයතනාදී අති සියුම් වෙනස්වීම්
පිළිබඳව සිහිය පිහිටුවාගෙන
නොකඩවාම,
දැනෙන මාත්‍රයෙන්,
සිහිය පවතින මාත්‍රයෙන්,
ඒ වෙනස්කම් වලට අනිශ්‍රිතව,
වෙනස සිතින් අල්ලා නොගෙන
ධර්මතාවන්හි ධර්මතා පිළිබඳව
සිහියෙන් වසන්න
බුදුන් වහන්සේ උපදෙස් දෙනවා.

චතුරාර්ය සත්‍යය පිරිසිඳ දකින්නට
මේ විශේෂ දර්ශනය පුහුණු කළ තැනැත්තා
සමත් වෙනවා.
මේ දර්ශනය වඩන මොහොතක් පාසා
මේ සියල්ල අංශුමාත්‍රය හෝ බැගින් වැඩෙන්නෙ
මේ සියල්ල වෙන් වෙන්ව නම් කළත්
එකට වෙනස්වෙන එකම ඒකකයක අංග නිසයි.

සමස්තය දකින විට හැම වෙනස්වීමක්ම
එකට සම්බන්ධ බව දැනෙනවා.
කයත්, වේදනාත්, සිතත්, ධර්මතාත්
එකම දිය බඳුනක නැගෙන
විවිධ ස්වරූප ගත් තරංග බව
වැටහෙනවා.

සියල්ල ක්ෂණයක් පාසා
වෙනස් වෙන බව වැටහෙනවා.

අපි සැප කියා හඳුන්වන්නේ
දුකෙහි අපිට ප්‍රිය පරාසය බව වැටහෙනවා.

අපි කිසිවක් නොකරන බවත්
පවතින සිදුවීම හා
ඒ සිදුවීම වලට අනුරූපව වෙනස් වෙන
සිතත් කයත් මා ලෙස සලකමින්
දුක් විඳින බව වැටහෙනවා.

සිහියෙන් හා උපේක්ෂාවෙන් වෙසෙන හැම මොහොතකම
දුකෙන් මිදී ජීවත් වෙන්නට
විදසුන් වඩන්නාට හැකි වෙනවා.

No comments:

Post a Comment