20140220

දුක දකින්න වනගත විය යුතු නැහැ.




Ranga Deshapriya අතුල මහත්මයා ,ලෝකයේ ස්වභාවය ඕකයි (දුක)
හොදට බලන්න . ලෝකය තමන්ට කැමති විදියට සකස් කරගෙන දුකක් නැතිව ඉන්න ක්‍රමයක් නේද ඔය හොයන්නේ.

ඕක කරන්න පුළුවන් වැඩක්ද ?

විපස්සනාව කියන්නේ ඕක නොවෙයි නේද ?
අද මගේ කියලා අල්ලාගෙන දගලන දරුවා , බිරිඳ හෙට මගේ මාරයා විය හැකියි.
කෙලෙස් විසින් හසුරවන සත්වයාගේ ස්වභාවය එයයි.
ලෝකයේ ස්වභාවය (දුක )දැනගෙන, දැකගෙන ඉන් එතෙර වීමටයි අප වීර්ය කල යුත්තේ.
====================================================================


ඔබ සෝවාන් වෙලා නැහැනෙ. රංග.

ඔය ඔබේ ප්‍රඥාව නොවෙයි.
ඔබ කාගෙන් හෝ ලබාගත් වචන පෙළක්.
ඔය වචන පෙළ සිහිපත් නොකළොත්
මේ මොහොත ඔබ දකින්නෙ
වෙනත් විදියකටයි.
ඒ දැක්ම ඔබෙයි.
දැන් ඔබේ දැක්ම
ඔය වචන වලට මුවා වෙලා..
ඔබටවත් පෙනෙන්නේ නැහැ.

අනික් ලෝකයා ලෝකය අල්ලගන්න
පාවිච්චි කරන හිතම
ඔබ ලෝකයෙන් පැනල යන්න
පාවිච්චි කරනවා.
ලෝකය තමන්ට කැමති විදියට සකස් කරගෙන
දුකක් නැතිව ඉන්න ක්‍රමයක් නේද ඔය හොයන්නේ.

ඔවුන් රාගයෙන් විඳිනවා.
රාගයෙන් මෝහයට යනවා.
ඔබ ද්වේශයෙන් පැනල යනවා..
ද්වේශයෙන් මෝහයට යනවා.

දුක හැම මොහොතකම තියනවා.
දැන් ඔබ ඔබේ කයට හිත යොමු කළොත්
කය පුරාම ඔබට අප්‍රසන්න වේදනා තියනවා.
ඔබ මේ සත්‍යයෙන් පැනල යන්න
ක්‍රම සොයනවා.
අන් අය ලෝකය තුළට පැනලා යනවා.
ඔබ පොතපත තුළට පැනල යනවා.
ලෝකය තමන්ට කැමති විදියට සකස් කරගෙන
දුකක් නැතිව ඉන්න ක්‍රමයක් නේද ඔය හොයන්නේ.
ඔබ දකින දුක
ඔබ දකින්නෙ පොතපත තුළයි.
ඔබ අනුන්ගේ නඩුවක නීතිඥයෙක්.
ඔබ මේ සිදුවීම බලන්නෙත් ඒ විදියටයි.

මට මේ විදුහල්පති මම වගෙයි.
වෙනෝෂා මගේ දුව වගෙයි.
ඔවුන් විඳි දුක් මම විඳිනවා.
මම විදුහල්පති චරිතය රඟපෑවත්
මගේ දුව සිය දිවි නසා නොගත යුතුයි.

ඒ චරිත දෙක හැසිරුණ විදියත්
ඔවුන්ට ලෝකයා දක්වන ප්‍රතිචාරත් තුළ
අපි කවදාවත් නොදකින
සත්‍යතාවයන් තියනවා.
මෙවැනි අවස්ථා වලින් පළා ගොස්
දුක දකින්න බැහැ.
මෙවැනි අත්දැකීමක්
අපිට සසරෙ නැවත නොලැබෙන්න පුලුවන්.

දුක දකින්න වනගත විය යුතු නැහැ.
ඔබ කොතන හිටියත්,
මොනව කළත් දුක තියනවා.

ඔබ ඉරියව්ව වෙනස් කරන්නෙ දුක නිසයි.
ඔබට එක ඉරියව්වක් දුකක් වුණාම
ඔබ ඉරියව්ව වෙනස් කරනවා.
දුක දකින්නෙ නැහැ.

කෙනෙක් ඔබට දුකක් ඇති කළාම
ඔබ අතුල් පහරක් දෙනවා.
ඔබට ඔහුගෙන් ආපසු එකක් ලැබුණොත්
ඔබට දුක දැනෙනවා.
ඒත් ඔබේ අතුල් පහරට මුල්වුණ දුක
ඔබ දැක්කෙ නැහැ.
අතුල් පහර දෙනකොට
ඔබේ අත්ළට දැණුන දුක
ඔබ දැක්කෙ නැහැ.
කලින් ඔබ නොදුටු දුකට සාපේක්ෂව
ඒ අතුල් පහර ඔබට සැපක්.
අනෙකාගේ දුක ඔබට සැපක්.
ඔබ විඳින්නෙ තෝරාගත්
දුක් පරාසයක්.

දුක දකිනවා කියන්නෙ
දුකයි දුකයි කියා මතුරමින්
දුකෙන් පළා යාම නෙවෙයි.

විපස්සනා වඩා ප්‍රඥාව මේරූ
පැවිද්දන්ට කළ දේශනා අනුව
ගිහි ගෙයි ඉන්න වෑයම් කිරීම
ඔබ සමග ජීවත් වෙන බිරිඳට දරුවන්ට
නෑසියන්ට කරන අසාධාරණයක්.
ඔබ ප්‍රඥාව වඩාගත යුත්තෙ
සැබැවින්ම සිදුවෙන දේ තුළ
ඔබ විඳින දේ තුළයි.
ඔබට පැනල යන්න පුලුවන්
දුක නැති තැනක් නැහැ.
පැවිදි වුණත් දුක දුකමයි.
ඇතිවෙන හේතුත් එකයි.

විපස්සනා නැතුව
ඔබට දුකෙන් ගැලවීමක් නැහැ.
ඔබ බුදු දහමෙන් තෝරාගන්නෙ
සමථයානිකයාට
ජීවිතයෙන් පැනල යන්න අවශ්‍ය වෙන
නිදහසට කරුණු ටික විතරයි.
ජීවිතයට මුහුණ දෙන්න නම්
විපස්සනා අවශ්‍යයි.

ජීවිතයෙන් පැනල යන්න
ඔබ බුදු දහමෙන් තෝරාගන්න කරුණු
හින්දු ආගමෙත් තියනවා.
ඔවුන් තපසට යන්න හදා ගත්
නිදහසට කරුණු
ඔබ බුදු දහමෙන්
ඉගෙන ගෙන තියනවා.

විපස්සනා වඩන්නාට
පැනල යන්න දෙයක් නැහැ.
ඔහුගෙ අරමුණ මේ මොහොතයි.
ඔහුට ප්‍රඥාව පහළ වෙන්නෙ
මොහොතින් මොහොතටයි.

විපස්සනා කියන්නෙ
ජීවිතය හරහා යන අතර
උදා වෙන අවස්ථාවන්ට අනුව
සිත හා කය වෙනස් වෙන හැටි
සිහියෙන් දකිමින්
ඒ දකින වෙනස් වීම් වලට
උපේක්ෂාවෙන් විසීමයි.
කෙනෙක් කරන කිසිම දේකින්
ඊට බාධාවක් නැහැ.

මොනදේ කිව්වත් කළත්
උදා වෙන අවස්ථාවන්ට අනුව
සිත හා කය වෙනස් වෙන හැටි
සිහියෙන් දකිමින්
ඒ දකින වෙනස් වීම් වලට
උපේක්ෂාවෙන්
කරන දේ කරගෙන යනවා.

ඒ විසීම තුළ
බුදු දහම අත් දකිනවා.
කෙලෙස්, නීවරණ, බොඣ්ජංග
ඔබ තුළම දකින්න පුළුවන්..
ඉන් පහළ වෙන්නෙ ප්‍රඥාවයි.
බොල් දැනුම නොවෙයි.

දැනුම කියන්නෙ
ලේබල් එකක් සහිත හිස් බඳුනක්.
ප්‍රඥාව කියන්නෙ
ලේබල් එකක් ඇති හෝ නැති පිරුණ බඳුනක්.

බුදු සසුන නැති වුණත්
තමා පිළිබඳව සිහියෙන් සහ
උපේක්ෂාවෙන් වෙසෙන්නා තුළ
ප්‍රඥාව පහළ වෙනවා.
ඒ ප්‍රඥාවෙනුත් දුක නිවෙනවා.
සසරෙන් ගැලවීම දෙවෙනි කරුණක්.
වඩා වැදගත් මේ මොහොතයි.

මේ මොහොතෙ
මොනදේ කිව්වත් කළත්
උදා වෙන අවස්ථාවන්ට අනුව
සිත හා කය වෙනස් වෙන හැටි
සිහියෙන් දකිමින්
ඒ දකින වෙනස් වීම් වලට
උපේක්ෂාවෙන්
කරන දේ කරගෙන යනවා.
මේ සිදුවෙන කිසි දෙයක්
තමන් නොවන බවත් දන්නවා.
මේ සිදුවෙන දේ
බාහිර හා අභ්‍යන්තර
සිදුවීම් පෙළක් පමණයි.
ප්‍රතිචාර පෙළක් පමණයි.
සිදුවීම් හා ප්‍රතිචාර පෙළක්
පමණයි.

ඝණ්ටාවකට තට්ටු කලාම
ඇතිවෙන කම්පනය වළක්වන්න
ඉන් නැගෙන හඬ වළක්වන්න
ඉන් ඇතිවෙන දෝංකාරය වළක්වන්න
ඝණ්ටාවට බැහැ.
ඒත්
ඒ පහර ගැන සිහියෙන්
ඇතිවෙන කම්පනය ගැන සිහියෙන්
නැගෙන හඬ ගැන සිහියෙන්,
නැගෙන දෝංකාරය ගැන සිහියෙන්,
ඒ පහරට උපේක්ෂාවෙන්
කම්පනයට උපේක්ෂාවෙන්
නැගෙන හඬට උපේක්ෂාවෙන්
දෝංකාරයට උපේක්ෂාවෙන්
වෙසෙන්න පුලුවන්.

ඔබට පහර පෙනෙනවා.
කම්පනය පෙනෙන්නේ නැහැ.
නැගෙන හඬ ඇසෙනවා.
දෝංකාරය ඇසෙනවා.

විපස්සනා කියන්නෙ
වදින පහර ගැන සිහියෙන්
කම්පනය ගැන සිහියෙන්
නැගෙන හඬ ගැන සිහියෙන්,
දෝංකාරය ගැන සිහියෙන්,
ඒ පහරට උපේක්ෂාවෙන්
කම්පනයට උපේක්ෂාවෙන්
නැගෙන හඬට උපේක්ෂාවෙන්
දෝංකාරයට උපේක්ෂාවෙන්
විසීමයි

No comments:

Post a Comment