20150101

දහම් සංවාද කෙටි පිළිතුරු



දහම කැටි වූ බුදු වදන්
හයිකු කවි මෙන් සුන්දරයි..

භික්ෂුවක් 
ඇතුළත ශාන්ත බව විනා
අන් මාර්ග වලින් ශාන්තිය නොසොයයි.
ඇතුළත ශාන්තිය ඇති විට...
තමන් නැත...
අනිකෙකු පවතින්නේ කෙසේද?

-----------------------------

මේ විදර්ශනාවෙ උපරිම ඵලය..
ඤාණ මත්තාය
තමන්ට දැනෙන මාත්‍රය තුළ
පටිස්සතිමත්තාය
යළි යළිත් සිහිය පිහිටන මාත්‍රය තුළ
පූර්ණ සිහිය සහ පූර්ණ උපෙක්ෂාව.

 ======================================
අභි ධර්මය සමග පොර බදමින්
තනිකරම සිත තුළ සැරි සරන අයට
චතුරාර්ය සත්‍යය,
සතර සතිපට්ඨානය සහ
පටිච්ච සමුප්පාදය සමග ප්‍රශ්න තියනවා.
කය සහ වේදනා අත් හැර දමන අය
චතුරාර්ය සත්‍යය,
සතර සතිපට්ඨානය සහ
පටිච්ච සමුප්පාදය මග හරිනවා.

සබ්බේ ධම්මා වේදනා සමෝසරණා.
සිතෙහි ඇතිවෙන සියලු ධර්මතා සමග වේදනා සමව සරයි..
හැම සිතිවිල්ලක් සහ හැඟීමක් සමගම කය සම්බන්ධයි

මම කරුණු දක්වන්නේ
චතුරාර්ය සත්‍යය,
සතර සතිපට්ඨානය සහ
පටිච්ච සමුප්පාදය ඇසුරෙන්.
විඳ ප්‍රත්‍යක්ෂ කරන්නට කැමති අතළොස්ස
ඒ කරුණු ගැන උනන්දු වෙනවා.
මගේ මූලික හැදැරීම
ප්‍රායෝගික සතර සතිපට්ඨානයයි.
ඒ හැදැරීමට න්‍යාය වන්නේ
චතුරාර්ය සත්‍යය සහ
පටිච්ච සමුප්පාදය පමණයි.
අදාළ නම් පමණක්
අනිත් තැන් පිළිබඳ සොයනවා.


====================================================
විදසුනෙන් කරන්නේ
ශක්තිය යෙදීම නිරෝධ කිරීමයි..
අපි යමකට කැමති නම් හෝ අකමැති නම්
ළං කරගන්න හෝ ඈත් කරන්නට
අපි ශක්තියක් යොදනවා.
කය තුළ සිදුවෙන විපර්යාසත්..
ඒ අනුව මනස තුළ සිදු වෙන විපර්යාසත්
සිහියෙන් දකිමින්
ඒ සියලු විපර්යාස වලට
උපේක්ෂාවෙන් වෙසෙන විට
මමත්වයෙන්, කැමැත්තෙන්, අකමැත්තෙන් ඉපදෙන
ශක්තිය ඉපදීමක් හෝ යෙදීමක්
සිදු වෙන්නෙ නැහැ..

මැදිහත්කරුවා නිසලයි..
සාක්ෂිකරුවෙක් ඉන්නවා.
====================================================


තනි තටුවෙන් පියාඹන්න හිතන කෙනෙක්
මොන තටුවෙන් පියාඹනවද කියන එක ප්‍රශ්නයක් නෑ.
තටුව වනවනා ඇවිදින්න පුලුවන්,
දේශන පවත්වන්න පුලුවන්..
කාටවත් තනි තටුවෙන් පියාඹන්න බෑ.

තනිකර කය සමග ක්‍රියා කළත්
තනිකර සිත සමග ක්‍රියා කළත්
ඒ දෙන්නටම කවදාවත්
නිදහසේ පියාසර කරන්න බෑ.
නිදහස් වෙන්නෙ
මේ දෙකම එකක් ලෙස ක්‍රියා කරද්දි
සිහියෙන් සිටින පුද්ගලයායි..

එනම් රහතන් වහන්සේයි..

====================================================

බුදු දහම අනුව
සත්‍යය කියන්නෙ මේ මොහොතෙ
සිතත්, කයත්, බාහිර පරිසරයත් තුළ
සිදු වෙන වෙනස් වීම්...

ඒ වෙනස් වීම් වලින්
අපි දකින්නෙ කොටසක් විතරයි.
සත්‍යයෙන් කොටසක් විතරයි..

ඒ ළඟට ඒ දකින කොටසත්
කැමතිවෙන දේ හොඳයි කියල
අකමැති වෙන දේ නරකයි කියල
දෙකකට වෙන් කරනවා.

ඒ අනුව
තමන්ට පමණක් සාපේක්ෂව
තමන් දකින හොඳ නරක දේ
නිවැරදියි කියල
පිළිගන්න අය සමග කල්ලි ගැහිලා
නොපිළිගන්න කල්ලි සමග ගැටෙනවා.

සිතත්, කයත්, බාහිර පරිසරයත් තුළ
සිදු වෙන වෙනස් වීම්...
සමස්තයක් විදියට සිහියෙන් දැකලා
ඒ වෙනස්වීම් වලට
උපේක්ෂාවෙන් ඉන්න පුලුවනි නම්
සත්‍යය පෙනෙනවා.
====================================================

එක මොහොතක
අපි අත් දකින සත්‍යය
අංග දෙකකි.

අභ්‍යන්තර සත්‍යය සහ
බාහිර සත්‍යය වශයෙනි.

බාහිර සත්‍යය නම්
ඉඳුරන් තුළින් අපට ලැබෙන
සියලු තොරතුරුය.

අභ්‍යන්තර සත්‍යය නම්
අප ඒ තොරතුරු වලින් ලද කම්පනය සහ
අප තුළ නැගෙන ප්‍රතිචාරයයි.

පූර්ණ සත්‍යය අත්දකින කෙනෙක්
මේ දෙකම පිළිබඳව සිහියෙන්
ඒ දෙකටම උපේක්ෂාවෙන් සිටිය යුතුය.

බාහිර කම්පන සහ
ශාරීරික තත්වයන් අනුව
නීවරණ මතු වෙයි.

නීවරණද අප අත්දකින
අත්දැකීමෙහි කොටස්ය.

ඒ නීවරණ වලට
උපේක්ෂාව නැති නිසා
නීවරණ යටපත් කරන කෙනෙක්
ඇතුළත් සත්‍යය විකෘති කරයි.

සමථය අසම්පූර්ණ වන්නේ එහෙයිනි.
සත්‍ය වශයෙන්ම තමා දකින්නට නම්
විදසුන් වැඩිය යුතුය..

 ====================================================

අත්දැකීමෙන් ධර්මය හොයන අයට...
ජීවිතය පුරාම
වැඩි කාලයක් තිස්සෙ
අව්වට වැස්සට පින්නට තෙමෙන වේලෙන අතරෙ
ඉඳල හිටලා ඒ සියල්ලෙන්ම මිදිලා
සුවපහසුවට ඉඳගෙන
අව්ව වැස්ස පින්න ගැන ඉගෙන ගන්න
සිසුන් පිරිසක් ගැන හිතන්න.

ඔවුන් අව්ව වැස්ස පින්න නිසා දුක් විඳින වෙලාවට
පන්තියෙ ඉගෙන ගන්න දේ මතක නැහැ.

පන්තියෙ ඉගෙන ගන්න වෙලාවට
අව්ව වැස්ස පින්න ගැන මතක නැහැ.
පොතපත කියවීමෙන්,
දහම් දේශනා ඇසීමෙන්,
තර්ක කිරීමන්
බුදු දහම ඉගෙන ගන්න අයත්
ඒ වගෙයි.

ජීවිතය පුරාම
රාග, ද්වේශ, මෝහ නිසා,
පංච නීවරණ නිසා දුක් විඳින ඔවුන්
දුක් විඳින වෙලාවට
ඒ දුක් විඳින්නෙ
රාග, ද්වේශ, මෝහ
පංච නීවරණ නිසා බව දන්නෙ නැහැ.
පොතපත කියවීමෙන්,
දහම් දේශනා ඇසීමෙන්,
තර්ක කිරීමන් ඉගෙන ගන්න වෑයම් කරන කොට
රාග, ද්වේශ, මෝහ
පංච නීවරණ නිසා විඳපු දුක්
මතක නැහැ.

බුදුන් වහන්සෙගෙ ක්‍රමය ඒක නෙමෙයි.

වැස්ස පින්න අව්ව නිසා අපි විඳින දුක
සත්‍යයක්, යථාර්ථයක් ලෙස අපි දැකිය යුත්තෙ
වැස්සට තෙමෙන, අව්වට වේලෙන වෙලාවටයි.

රාග, ද්වේශ, මෝහ නිසා,
පංච නීවරණ නිසා
විඳින දුක දැකිය යුත්තෙ
රාග, ද්වේශ, මෝහ නිසා,
පංච නීවරණ නිසා දුක් විඳින වෙලාවටයි..

සදොසංවා චිත්තං සදොසං චිත්තං පජානාති.

සිතේ ද්වේශය තියන වෙලාවට
සිත ද්වේශය සහිත සිතක් කියල දන්නවා.
මේ අපි දකින්නෙ හිතලුවක් නෙවෙයි.

පොතපත කියවීමෙන්,
දහම් දේශනා ඇසීමෙන්,
තර්ක කිරීමන් ඉගෙන ගන්න හිතලුවක් නෙවෙයි.

මේ අපි දකින්නෙ සත්‍ය වශයෙන්ම ද්වේශය.

සදොසංවා චිත්තං
සදොසං චිත්තං පජානාති.

ඉන් පසුව බුදුන් වහන්සේ කියා දෙනවා
ද්වේශය දුකක් නොවෙන විදියට
බලා ඉන්නෙ කොහොමද කියලා.

ඒ ක්‍රමයට සිහියත්, උපේක්ෂාවත්
පවත්වා ගන්න පුලුවනි නම්
ඒ හැම මොහොතක්ම
දුකෙන් මිදුණ මොහොතක්.

විශුද්ධි මාර්ගයත් එයමයි.

සබ්බේ සංඛාරා අනිච්චාතී
යදා පඤ්ඤාය පස්සති.
අථ නිබ්බින්දති දුක්ඛේ -
ඒස මග්ගෝ විසුද්ධියා -

සංස්කාර අපි තුළ මතු වෙලා
වෙනස් වෙමින් පවතිද්දීම
සංස්කාර අනිත්‍ය බව දැකිය යුතුයි.

සබ්බේ සංඛාරා අනිච්චාතී
සිහිය ඇති තැන මෝහය නැහැ.
උපේක්ෂාව ඇති තැන
රාග ද්වේශ නැහැ.
ඇත්ත ඇති සැටියෙන්ම පෙනෙන ප්‍රඥාව...
යදා පඤ්ඤාය පස්සති.

ඒ අවස්ථාව දුක් නොවිඳින මොහොතක්.

අථ නිබ්බින්දති දුක්ඛේ
උපදින සංස්කාර නිරුද්ධ වෙනවා.

විශුද්ධියට මාර්ගය එයයි.

ඒස මග්ගෝ විසුද්ධියා -

==============================================

අනිත්‍යය දකින්න ඕනෙ
මේ මොහොතෙ අපි තුළමයි.
සංස්කාර ඇති වෙවී
නැති වෙවී තියනවා.
ඒ සංස්කාර
අපිට ස්වරූප දෙකකින් පෙනෙනවා.
එකක් කයෙහි වෙනස්කම් විදියට..
වේදනා විදියට..
දෙවැන්නෙ සිතෙහි සිදු වෙන
වෙනස් කම් විදියට..
රාගය, කාමච්ඡන්ද ආදිය විදියට.

සබ්බේ සංඛාරා අනිච්චාති
කයත් සිතත් තුළ මොනවා දැක්කත්
අපි දකින්නෙ වෙනස් වෙන සංස්කාර..

යදා පඤ්ඤාය පස්සති..
මේ සංස්කාර ගැන සිහියෙන්
සංස්කාර වලට උපේක්ෂාවෙන් විසීමෙන්
උපදින උපදින සංස්කාර නිරුද්ධ වෙනවා,

අථ නිබ්බින්දති දුක්ඛෙ.
සංස්කාරවලට උපේක්ෂාව ඇති තැනැත්තා
දුක් විඳින්නෙ නැහැ.

ඒස මග්ගෝ විසුද්ධියා.
විශුද්ධි මාර්ගය එයයි..

ඔබ අනවශ්‍ය දීර්ඝ ගමනක් යනවා.
මේ කෙටිපාර පරීක්ෂා කර බලන්න.

විපස්සනා
 ==============================================

ඉන්ද්‍රිය පහෙන් එන තොරතුරු වලින්
අංශුමාත්‍රයක් හැර
අන් සියල්ලම
අපට විද්‍යාමාන වෙන්නෙ නැහැ...

අපි කැමති හෝ අකැමති යමක්
එක ඉන්ද්‍රියකින් වෙන කොට
අපි ඒ ඉන්ද්‍රියට
සම්පූර්ණ මානසික ශක්තිය යොදවලා
ඒ අත්දැකීම විකෘති කරගන්නවා.

ඉන්පස්සෙ
ඒ විකෘති අත්දැකීම
නැවත නැවත විඳින්න හෝ
පලායන්නට අපව පොළඹවනවා.

මිනිසා ජීවත් වෙන්නෙත් සතෙක් වගෙයි..
ඔහු කරන්නෙ ඔහුට ගැලපෙන දේ නොවෙයි..
ගැලපුණත් නැතත් ඔහු කරන්නෙ
ඔහුගෙ හිත කියන දේයි..

මිනිස්සු තමන්ට හානිකර දේ කරන්නෙ
හානිකර බව නොදැන නෙවෙයි.
ඒ දේ යම් ඉන්ද්‍රියකට හෝ
සිතට ප්‍රිය නිසයි..

ඒ ඉන්ද්‍රිය පිනවද්දි
කයෙහි ඉතිරි කොටසට වෙන හානිය
ඔහුට දැනෙන්නෙ නැහැ.

මේ අංගවිකල මානසිකත්වයෙන්
මිදෙන්න තියන එකම මග
බුදුන් වහන්සේ සොයාගත් විදසුන පමණයි.

==============================================

සබ්බේ ධම්මා වෙදනා සමො සරණා
හැම ධර්මයක්ම
වේදනාවක් සරණ කොට ඇතිවෙනවා.

වේදනානුපස්සනාව
චිත්තානුපස්සනාව
ධම්මානුපස්සනාව

තුනටම 

කායානුපස්සනාවත් අදාළයි.

සිහියෙන් ඉන්න කෙනෙක්
සියයට සියයක්ම
තමා පිළිබඳව සිහිය ඇතිවෙන තුරු
වර්ධනය විය යුතුයි.

එක් දෙයක් ගැන හිත යොමු කරද්දි
අනික් දේවල් නොපෙනෙන්නෙ
සමථ වඩන්නාටයි.
විදසුන් වඩනාට
එක් දෙයක් පෙනෙන්නෙ
අන් සියල්ලටම සාපේක්ෂවයි.

 ==============================================

තමන් නොවිමසා
අනුන් කියන දේ පිළිපදින කෙනෙකුට
සතර සතිපට්ඨානය පිහිටන්නෙ නැහැ.

සතර සතිපට්ඨානය කියන්නෙ
තමන් විමසා බැලීමයි.

තමන්ගෙ නාමරූප ධර්ම හැසිරෙන විදිය
තව කෙනෙකුගෙන් අහගෙන ඉගෙන ගන්න බැහැ.

==============================================

බුදුන් වහන්සෙ
මහා සතිපට්ඨාන සූත්‍රයෙ
පර්යංකය දේශනා කළේ
ආනාපාන සතියටයි.

ඒත් සතර සතිපට්ඨානය වඩන්න
ඉරියව්වක් නියම කරලා නැහැ.

හැම ඉරියව්වක්ම කායානුපස්සනාවෙන් ගත කරන්නත්
පසුව සම්පජානෝ සතියෙන් ගත කරන්නත්

මහා සතිපට්ඨාන සූත්‍රයෙ දේශනා කරලා තියනවා.

හැම ඉරියව්වක්ම සිහියෙන්
සහ උපේක්ෂාවෙන් පැවැත්වීම.
ආනාපාන සතියෙන් පසුව තියන
පුහුණු වීමයි,

වේදනානුපස්සනාවෙදිත්
චිත්තානුපස්සනාවෙදිත්
ධම්මානුපස්සනාවෙදිත්
කායානුපස්සනාව අවශ්‍යයි.

සතරක් වශයෙන් දේශනා කළත්
ඉරියව්ව කුමක් වුවත්
සමස්ත පුද්ගලයා ගැනම
ඔහුට සිහිය තිබිය යුතුයි.

 ==============================================

[[ අනාපාන සූත්‍ර යේ
අස්ස පස්ස බුද්ධ දේශනාව පුරා අැත.
උදා: පා+පස්ස අකරණං
කුසල+අස්ස උපසම්පදා ]]]
-------------------------------------------

ඔබත් මේ විකෘති දහම අදහනවා නම්
ඔබ බරපතල ලෙස නොමග යැවීම් වලට  ලක් වෙලා තියනවා.

බුදුන් වහන්සේ කියන දේ
එලෙසින්ම නොකියා
සැඟවුණු අරුත් මතු කරන
කිසිම කයිරාටිකයෙක්
විශ්වාස නොකළ යුතුයි.

බුදුන් වහන්සේට
අරුත් සඟවන්න අවශ්‍ය නම්
උන් වහන්සේ
සංස්කෘත තෝරාගන්න තිබුණා.

තමන් විශේෂයි කියල
වචන කඩලා අලුත් තේරුම් දෙන අය
එහෙම කරන්නෙ
ඔබට වෙන කිසිවෙකු ළඟට යන්න
නොහැකි කරන්නයි.

ඔබට අන් සියලු දෙනා හා
ගැටෙනවා හැර
වෙන කළ හැකි දෙයක් නෑ.

මේ ක්‍රියාවලිය තුළ
ඔබ නොදැනුවත්ව, වක්‍රව
බුදු වදන් සමගත් ගැටෙනවා.

 ==============================================

මගේ විපස්සනා වැඩීම හෝ
වෙනත් කෙනෙකුගේ විපස්සනා වැඩීමෙන්
ඔබට හෝ වෙනත් කෙනෙකුට වැඩක් නැහැ.

දුක් විඳින වෙලාවට
ඒ දුක තමන් තුළ ප්‍රකට වෙන ආකාරයට
උපේක්ෂාවෙන් පසු වීම හැර
විපස්සනා වඩන්නා ලබන
අමුතු බලයක් නැහැ.

ඒ හැකියාව වුණත් තමන් පොරක්
කියල හිතන්න දෙයක් නෙමෙයි.

අනික් අයගෙ දුක නිවෙන විදියට
හැකි දෙයක් කිරීමයි
ඔහුගෙ වගකීම සහ යුතුකම.

  ==============================================
.
අනිත්‍ය විඳ ප්‍රත්‍යක්ෂ කරන්න
එකම ක්‍රමයයි තියෙන්නෙ.
විපස්සනා වැඩීම පමණයි.
අනිත් හැම ක්‍රමයකින්ම කරන්න
අනිත්‍යය ගැන සිතීමයි.

අනිත්‍යය දකින කෙනෙක්
මුලින්ම දැකිය යුතු පහසුම දේ
ආශ්වාස ප්‍රශ්වාසයයි.
ඉන් පසුව කයේ ඉරියව් වෙනස් වෙන ආකාරය...
වේදනා වෙනස් වෙන ආකාරය
ආදී වශයෙන්...
තමන්ගෙ කයෙත් සිතෙත්ය් වෙනස් වීම්
දකින්න පුලුවන්..

අනිත්‍ය දැකීමෙ හැකියාව දියුණු වෙද්දි
සිත කයට යොමු කරද්දි
රුධිර සංසරණය පවා දැනෙනවා.

අනිත්‍යය සපුරා දකින්න
වෙනත් ක්‍රමයක් නැහැ.
==============================================

 අනිත්‍ය කියන්නෙ අවසානයම නෙමෙයි

නිත්‍ය නෑ = අනිත්‍ය

ක්වන්ටම් වාදයෙ දි
පදාර්ථයක්ද ශක්තියක්ද කියල
නිශ්චය කරගන්න බැරි...
සබ්බෙ ලොකො පකම්පිතෝ කියන
පවතින හැම දේම ප්‍රකම්පිතයි කියන
අනිත්‍ය ස්වභාවය නිසයි..
නිරන්තරයෙන් වෙනස් වෙන ස්වභාවය නිසයි.

මේ ස්වභාවයෙහි ඉතාම සියුම් අවස්ථාව වන
සබ්බෙ ලෝකෝ පකම්පිතෝ කියන ස්වභාවය
තමන් තුළම අත්දකින්නට
විපස්සනාවෙන් පුලුවන්.
විපස්සනා වඩන කෙනෙකුට
ඒ අවස්ථාවෙදි
පදාර්ථයත් නොවන ශක්තියත් නොවන
ක්වන්ටම් වාදයෙන් කියවෙන ස්වභාවය
තමන් තුළම අත්දකින්න පුලුවන්.

 ==============================================

පුබ්‌බඞ්‌ගමා අකුසලානං ධම්‌මානං සමාපත්‌තියා,
අන්‌වදෙව අහිරිකං අනොත්‌තප්‌පං .
අවිජ්‌ජාගතස්‌ස, භික්‌ඛවෙ,
අවිද්‌දසුනො මිච්‌ඡාදිට්‌ඨි පහොති;

පුබ්‌බඞ්‌ගමා කුසලානං ධම්‌මානං සමාපත්‌තියා,
අන්‌වදෙව හිරොත්‌තප්‌පං.
විජ්‌ජාගතස්‌ස, භික්‌ඛවෙ ,
විද්‌දසුනො සම්‌මාදිට්‌ඨි පහොති;

 ==============================================

 හිරි කියන්නෙ වරදක් කරන්න කලින්
අපිට දැනෙන හිරි ගතිය.. චකිතය..
ඔත්තප්ප කියන්නෙ
වරදක් කළාට පසුව එන තැවීම.....
දඬුවමකින් කරන්නෙ ඒ තැවීම

බාහිර වශයෙන් ලබාදීම.
දම් දෙසීම් පහදා දීම...
වරද නිසා තැවෙන කෙනාට
නැවත වරදක් කරන්න වුණාම
හිරි ගතිය ඇති කරනවා.

හෘද සාක්ෂිය කියන්නෙ
මේ අවස්ථා දෙකටම.

 ==============================================

එක මොහොතක
අපි අත් දකින සත්‍යය
අංග දෙකකි.

අභ්‍යන්තර සත්‍යය සහ
බාහිර සත්‍යය වශයෙනි.
බාහිර සත්‍යය නම්
ඉඳුරන් තුළින් අපට ලැබෙන
සියලු තොරතුරුය.

අභ්‍යන්තර සත්‍යය නම්
අප ඒ තොරතුරු වලින් ලද කම්පනය සහ
අප තුළ නැගෙන ප්‍රතිචාරයයි.

පූර්ණ සත්‍යය අත්දකින කෙනෙක්
මේ දෙකම පිළිබඳව සිහියෙන්
ඒ දෙකටම උපේක්ෂාවෙන් සිටිය යුතුය.

බාහිර කම්පන සහ
ශාරීරික තත්වයන් අනුව
නීවරණ මතු වෙයි.

නීවරණද අප අත්දකින
අත්දැකීමෙහි කොටස්ය.

ඒ නීවරණ වලට
උපේක්ෂාව නැති නිසා
නීවරණ යටපත් කරන කෙනෙක්
ඇතුළත් සත්‍යය විකෘති කරයි.
සමථය අසම්පූර්ණ වන්නේ එහෙයිනි.

සත්‍ය වශයෙන්ම තමා දකින්නට නම්
විදසුන් වැඩිය යුතුය..

 ==============================================

ශීලය මනින්න පුලුවන්.

ඔබ සිල්වත්ද?
ඔබේ හිත මිතුරන් සිල්වත්ද?
සිල්වත්කම මැනිය යුතු වෙන්නෙ
ඔබ කරන ලද යහපත් දේ හෝ
අයහපත් දේ මත නොවෙයි.
ඔබේ සිල්වත් කම රඳා පවතින්නෙ
ඔබට වැරදි කරන්න ලැබුණ අවස්ථාවලින්
කීයකදි වැරදි කරල තියනවද...
කීයකදි වැරදි නොකර තියනවද කියන
වෙනස මතයි.

සිල්වත් කෙනෙකුට ලැබෙන අවස්ථා වැඩියි.
ඔහු වැරදි කරන අවස්ථා අඩුයි.
ඔහු අනික් අවස්ථාවල තමන් ජය ගන්නවා.
දුර්ජනයින්ට ලැබෙන අවස්ථා බොහොමයකදි
ඔවුන් පරාජයට පත්වෙනවා.
ඔබ මුලු ලොවම ජයගත්තත්
ඔබට ඔබ ජයගන්න බැරි නම්
ඔබ පරාජිතයෙක්..
---------------------------------------

සංග්‍රාමයකදි
මිනිසුන් දස ලක්ෂයක් දිනනවා.
එක් පුද්ගලයෙක් තමා ජයගනී නම්
සියලු සංග්‍රාම වලට වඩා උතුම්ය..
-ධම්ම පද

 ==============================================  
මිනිස් ජීවිතය
පරිපූර්ණ පැවැත්මක් නෙවෙයි.
මිනිසෙක් කියන්නෙ අන්ධයෙක්..
ඔහු දකින්නෙ ඇත්ත නෙමෙයි..
ඔහු දකින්නෙ සාපේක්ෂවයි..
නිරපේක්ෂව දකින්න නම්
තමා කියන සංකල්පය
ක්‍රියා විරහිත වෙන දර්ශනයක්
අවශ්‍යයි...
විදර්ශනාව කියන්නෙ
සිතත් කයත් දෙස
මමත්වයෙන් තොරව බැලීමයි..

 ==============================================

මම බුදු දහම විග්‍රහ කරන
වෙනත් අයගෙ විග්‍රහ විමසන්නෙ නැහැ.
ඒ විග්‍රහ ඔවුන්ට සාපේක්ෂයි.
ඔවුන් අදහනවා නම් හැරෙන්න
ස්වයං ගවේෂණයක යෙදෙන කෙනෙකුට
ප්‍රයෝජනයක් වෙන්නෙ නැහැ..
මම මගේ අත්දැකීමත්
බුදු වදනත් අතරයි
ගවේෂණය කරන්නෙ.

මම බුදු දහම සොයන්නෙ
මගේ අත්දැකීම සමගයි.
උදාහරණයක් විදියට
රාග ද්වේශ මෝහ කියන්නෙ
වෙනස් සංවේදනා තුනකින්
නිරූපණය වෙන හැඟීම් තුනක්..

මට ගැටළු පවතින්නෙ
මගේ අත්දැකීම් සමගයි..
මම මනස උපයෝගී කරගන්නෙ
තොරතුරු රැස් කරන්නයි..
අවබෝධය සොයන්නෙ
අත්දැකීම හරහා පමණයි..

==============================================

 Mohamed Saheer
Athula. A man rape and kill a 9 year old girl in srilanka,
what is the teaching of budhism in this situation
--------------------------------------------------------------------
ඒ මිනිහා
දැරිය දූෂණය කරන්න හේතුවුණ
දූෂිත හා කුරිරු මානසිකත්වය
ඉතාම සියුම් තලය දක්වා දකින්න
බුදු දහමෙන් පුලුවන්.
ඒ වගේම එවැනි ක්‍රියාවන්ට හේතු වෙන
අකුසල් මූලය මුලිනුපුටා දමන්නත්
බුදු දහමෙන්
ඉතා පැහැදිලිව මග පෙන්වනවා.ඒ මිනිහා දහම් මග යනවා නම්
ඔහු ස්වේච්ඡාවෙන් යා යුතුයි.
ඊටත් වඩා දරුණු මිනීමරුවන්
දහම් මග පිළිපැදීමෙන්
ශාන්තිය ලබාගත්තා.

බුදු දහමෙ නීති සමාජයට අදාළ නැහැ.

ගිහියන්ට බුදු දහමෙ නීති නැහැ.

බුදු දහමෙ නීති අදාළ වෙන්නෙ
පැවිද්දන්ට විතරයි..

පැවිද්දන්ට වුණත්
ඔවුනොවුන් රැස්වෙලා වැරදි කතා කරලා
හදාගන්න ක්‍රමයක් තිබුණෙ.

බුදුන් වහන්සේ හැර වෙනත් කිසිවෙක්
විනය පණ වන්නෙත් නැහැ.

බුදු දහමෙ පැවිද්දන් කියන්නෙ
නිවන් දකින්නට සිවුර දරාගන්නා
තුන් සිවුරත් පාත්‍රයත් පමණක් හිමි..
ඊළඟ වේලටවත්
කෑම ටිකක්වත් රැස් නොකරන
සරල උතුමන් පිරිසක්.

බුදු දහමෙ
ගිහියන්ට හරි වැරදි කියල තිබුණාට
බුදු දහම පිළි පැදීම
ගිහියන් ස්වේච්ඡාවෙන් කරන දෙයක්.

==============================================
බුදු දහමෙ
බහුශෘත වූ දැනුමැත්තා
අගය කරන්නෙ දෙවනුවයි.
පළමුවැන්නා ප්‍රඥාවන්තයායි.
සතරපදයක් කටපාඩම් කරගන්නට බැරි
චූලපන්ථක තෙරුන් වහන්සේ
ධර්ම භාණ්ඩාගාරික අනඳ තෙරුන් වහන්සේට පෙර
රහත් වුණා.

==============================================


චතුරාර්ය සත්‍යය දකින්නට
ත්‍රිපිටකය අවශ්‍ය නැහැ..
දුක දැකීමයි අවශ්‍ය වෙන්නෙ.
දුක නාඳුනන කෙනෙක්
ත්‍රිපිටකයම දැන ගත්තත්
දුක නිවෙන්නෙ නැහැ.
මුස්ලිම්, හින්දු හෝ ක්‍රිස්තියානි කෙනෙක් වුණත්
සතර සතිපට්ඨානයෙන්
දුක දකින්න සිහිය පිහිටුවා ගත්තොත්
ඔහුගෙ දුක නිවෙන්න පටන් ගන්නවා

==============================================

ගින්නට පිළිස්සෙන කෙනෙක්
ද්වේශ සංස්කාරය සහිතව
අත්දැකීම විඳින නිසා
පිළිස්සෙන අත්දැකීම
ඔහු තුළ රැඳෙන්නෙ
විඥාණය විදියටයි..

ගින්නට පිළිස්සෙන කෙනෙක්
කාය වේදනා චිත්ත ධම්ම වශයෙන්
සිහියෙන් උපේක්ෂාවෙන් වින්දොත්...
ඔහු ගින්න දකින්නෙ ප්‍රඥාවෙන්.

ද්වේශ සංස්කාරය සහිතව
ගින්නට පිළිස්සෙන අත්දැකීම වින්ද කෙනෙක්
විදසුන් වඩද්දි
සිහියෙන් විසීමෙන්
ඔහුගෙ විඥාණය හැදුන
ද්වේශ සංස්කාර ඉපදිලා
උපේක්ෂාව නිසා
අලුත් සංස්කාර උපදින්නෙ නැතුව
සංස්කාර නිරුද්ධ වුණාම
ඒ අත්දැකීමෙ විඥාණය
ප්‍රඥාව වෙනවා.

-----------------------------------------

අනිච්‌චා වත සංඛාරා,
උප්‌පාදවයධම්‌මිනො
උප්‌පජ්‌ජිත්‌වා නිරුජ්‌ඣන්‌ති

   ==============================================

වතුරට මඩ මිශ්‍රවුණාම
මඩ වතුර කියනවා.
මඩ ඉවත් වුණාම
පිරිසිදු වතුර කියනවා.
මඩ වතුර කිළිටියි..
පිරිසිදු වතුර නිර්මලයි..

කෙලෙස් ඉවත් කරන ලද විඥාණයට
ප්‍රඥාව කියනවා.

විඥාණය < - > ප්‍රඥාව
මේ දෙක දෙකක් නොවෙයි...
දෙකක් වෙන්නෙ කෙලෙස් නිසයි.

වතුර වතුරමයි..
මඩ කියන්නෙ පරිබාහිර,
ආගන්තුක ධර්ම.
රාග ද්වේශ මෝහ.

විඥාණය සංස්කාර සමග රැස්වූ
අත්දැකීම් පිළිබඳ ඤාණයයි..
සංස්කාර නැසීමෙන්
ප්‍රඥාව පහළ වෙනවා.
විඥාණය කිළිටියි..
ප්‍රඥාව නිර්මලයි..

විඥාණය
විදසුනෙන් පිරිසිඳ දකින විට
සංස්කාර නිරෝධයෙන්
විඥ්ඥාණය නිරුද්ධ වෙනවා.
 ==============================================
චක්ඛු විඥාණය යනු
දකින රූපයක වර්ණය,
දිග පළල ආදී වශයෙන්
කැමති අකැමති භාවයෙන් තොරව
තමාට සාපේක්ෂව නොගෙන
හඳුනා ගැනීම් මාත්‍රය පමණයි
කියා මා සිතනවා.
ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව
සංඝ්නා අවස්ථාවේදී
ප්‍රිය හෝ අප්‍රිය වශයෙන් ගෙන
රාග, ද්වේශ ඇති කරගැනීම හෝ
නොසලකා හැරීමෙන් මෝහය හෝ
සංස්කාර ඇතිවීමෙන්
පහළ වෙන විඥාණය පාක්ෂිකයි..

ආහාරය පුළුස්සන ගින්න හොඳයි.
කය පුළුස්සන ගින්න නරකයි..
කලට වැස්ස හොඳයි..
අකලට වැස්ස නරකයි..

ඔහු කම්පා වෙනවා,
නැත්නම් අවසිහියෙන් ඉන්නවා.
ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැහැ.

 ==============================================

ඵස්ස, වේදනා, සංඥා ,සංස්කාර ඇතිවෙන විට
විඥාණය ඇතිවෙන බව බුදු වදනයි..
පරිණාමයට හේතුව සංස්කාරයි..

සංස්කාරයක් ඇති වෙන්නෙ
පරිසරයෙහි හෝ තමා තුළම ඇතිවෙන වෙනසකට
දක්වන ප්‍රතිචාරයක් විදියටයි.
ඒ ප්‍රතිචාරය නිසාත්
සත්වයා තුළ වෙනසක් වෙනවා.
මේ වෙනස්වීම සමුදාය
සත්වයාගේ පරිණාමයයි..
සත්වයාගේ පරිණාමයට හේතුව
සත්වයාගේ පරිසරයෙහි හෝ තමා තුළම
යම් ස්පර්ශයන් නිසා හටගන්නා
වේදනා හඳුනාගනිද්දී
ඒට දක්වන කැමති හෝ අකැමති බව
හෝ නොසලකා හැරීම නිසා
සිදුවෙන වෙනස්වීම් රටාවයි..

සත්වයාගේ දුක නම්
මේ වෙනස්වීම් රටාවයි.
එහි යම් වෙනස්වීම් වලට
 ප්‍රිය කළත්,
හැම සංස්කාරයක්ම වෙනසක්..
හැම සංස්කාරයක්ම දුකක්..
හැම සංස්කාරයක්ම ඉබේටයි ඇති වෙන්නෙ.
කැඩපතක වැටෙන පිළිබිඹුව වගෙයි..

මේ වෙනස්කම් ගැන සිහියෙන් පසුවීම සහ
ඒ වෙනස්කම් වලට උපේක්ෂාවෙන් විසීම
දුකෙන් මිදෙන්නට ඇති එකම මගයි..
      ==============================================

 Janith Wimukthike [[[[සූත්‍රය සෛද්ධාන්තික දෙයක් නෙමෙයිද...?]]]

නැහැ..සූත්‍රය සෛද්ධාන්තික දෙයක් නෙමෙයි
සූත්‍රය පටන් ගන්නෙ මෙහෙමයි...
1,
අරණක හෝ, රුක් මුලක හෝ, හිස් ආගාරයක
2,
පළක් බැඳ හිඳගෙන,
3,
සිරුර කෙළින් තබාගෙන
4,
සම්පූර්ණ මුහුණට සිහිය පිහිටුවාගෙන
5,
සිහියෙන් ආශ්වාස කරයි,
6,
සිහියෙන් ප්‍රාශ්වාස කරයි.
7,
දිග හුස්මක් ආශ්වාස කරයි නම්
දිග හුස්මක් ආශ්වාස කරමියි දැන ගනියි.
8,
දිග හුස්මක් ප්‍රාශ්වාස කරයි නම්
දිග හුස්මක් ප්‍රාශ්වාස කරමියි දැන ගනියි.
9,
කෙටි හුස්මක් ආශ්වාස කරයි නම්
කෙටි හුස්මක් ආශ්වාස කරමියි දැන ගනියි.
10,
කෙටි හුස්මක් ප්‍රාශ්වාස කරයි නම්
කෙටි හුස්මක් ප්‍රාශ්වාස කරමියි දැන ගනියි.
11,
මුලු සිරුරටම සංවේදීව ආශ්වාස කරමියි හික්මෙයි
12,
මුලු සිරුරටම සංවේදීව ප්‍රාශ්වාස කරමියි හික්මෙයි.


මේ සිද්ධාන්තයක් නම්
ඔබ ආනාපාන සති වඩන්න පටන් ගත්තාම
හුස්මක් දෙකක් බලා ඉන්නකොටම
ඔබ ඔබේ මුළු කයටම සංවේදී විය යුතුයි..

ඔබ හුස්මටවත් සංවේදී වෙයිද කියා සැක සහිතයි..

ඔබට හුස්ම දෙකක්වත් බලා ඉන්න බැරි තරම්
ඔබේ හිත අවුල් වුණ කෙනෙක් වෙන්න පුලුවන්..
ඔබ ඔබේ මුළු කයටම සංවේදී වෙන්න
වසර ගාණක් යන්න පුලුවන්..
කල්ප ගාණක් යන්නත් පුලුවන්..

සිද්ධාන්තයක් කටපාඩම් කරගන්න ඔබට පුලුවන්.

මෙතන පියවර දෙක තුනක් වුණාට
ඔබ දැන් ඉන්න මානසික තත්වය අනුව
ප්‍රයෝගිකව යොදුන් ගාණක් යා යුතුයි..

මේ ටික කරන්න හැදුවොත් ඔබේ මාන්නය බිඳෙනවා.

ඔබේ හිත ඔබට අයිති නැති බව
ඔබට වැටහෙනවා.
ඔබ ඔබේ සිතේ වහලෙක් බව තේරෙනවා.
ඔබේ සිත ඔබට කීකරු නැති බව තේරෙනවා.

ඔය අකීකරු කම නිසාම තමයි
ඔබ දැන දැන වැරදි කරන්නෙ.

සිද්ධාන්ත වලට ඔබ ගලවා ගන්න බෑ.

ප්‍රායෝගිකව එක හුස්මක් බලන එක
ත්‍රිපිටකයෙන් බාගයක්
සිද්ධාන්ත දැනගන්නවාට වඩා වටිනවා...

ඒ එක මොහොත තුළ තමන් දැකීම
කාගේ හෝ සිද්ධාන්ත දකිනවාට වඩා වටිනවා.

     ==============================================

දෙවියන් වහන්සේ නෑ කියා ඔප්පු කරන්න කෙනෙකුට බෑ.

ඒත්
විද්‍යාව නිසා
දෙවියන් වහන්සේ පිලිබඳ අවශ්‍යතාවය නැති වෙනවා.
- ස්ටීවන් හෝකින්..

විද්‍යාව නිසා
දෙවියන් වහන්සේ පිලිබඳ අවශ්‍යතාවය
නැති වෙනවා නම් සාධාරණයි..

පල්ලියට, කෝවිලට ගිහින්
ඒ දේශනා වලට ඇහුම් කන් දීලා
ප්‍රශ්නයක් අරන් ගෙදර එන
තර්කයට බර විද්වතුන්
දෙවියන් වහන්සේගෙන් මුදවාගන්න
අවශ්‍ය තරම් ගැටළු රැසක්
විද්‍යාව විසින් සපයනවා.
ඔවුන් දෙවියන්ගෙන් ඈත් වෙනවා.

ජීවත් වෙද්දි මතුවෙන
විසඳුමක් නොපෙනෙනන ප්‍රශ්නයක් අරන්
පල්ලියට, කෝවිලට ගිහින්
හිත සනසාගෙන ආපහු එන
සරල බැතිමතාගේ අවශ්‍යතාවය
විද්‍යාවට කවදාවත්ම ඉටු කරන්න බැරිවෙයි..

සැබැ නිරාගමිකයා යනු
විශ්ව ධර්මතාවය
අන්ධ භක්තියෙන් විශ්වාස කිරීමෙන් මිදී
විශ්ව ධර්මතාවය අවබෝධ කරගන්නායි..

විද්‍යාවෙ දැනුම ආදේශකයක් කර ගැනීමෙන් හෝ
විදසුනෙන් ධර්මය හඳුනා ගැනීමෙන් තොරව
අකලට මෝරන නිරාගමිකයා
මේ මහා අනෙක් දෙය
විස්වාස කිරීමෙන් මිදී
සමීප වෙන්නෙ තිරිසනාටයි..
ඔහු පසුවෙන්නෙ මෝහයෙන්..
භක්තියට හා විශ්වාසයට
ආදේශකය විය යුත්තෙ
මෝහය නොවෙයි.
ප්‍රඥාවයි..
අවම වශයෙන් දැනුම හෝ වියයුතුයි..
හොඳම ආදේශකය ප්‍රඥාවයි.======================
ස්ටීවන් විද්‍යාව තුලින්
ප්‍රඥාව සොයා ගත් නිරාගමිකයෙක්

ප්‍රඥාව කියන්නෙ
වෙනස්වීමට, අනිත්‍යයට අනුගත වීම බව
ඔහු අවබෝධ කරගත්තා,.

මොහොතින් මොහොතට
සිදු වෙන සියල්ලටම
විනිශ්චයෙන් තොරව අනුගත වන්නා
රහතන් වහන්සේයි..

      ==============================================   
 Mahinda Gunawardana
බුදු දහම Update නොවෙච්ච එක අවුලක්. එසේ කරන්නට බැරි වීමත් අවුලක්,

---------------------------------------------

බුදු දහම අප්ඩේට් කරන්න
අවශ්‍ය නෑ..
ඔබයි අප්ඩේට් විය යුතු..
මොහොතින් මොහොත වෙනස් වෙන
ජෛව රසායනික නිසා
ඔබ උපන්දා පටන්
කල් ඉකුත් වෙමින් යනවා..
අපි කියන්නෙ කෙලෙස් කියලා.
ඒ කෙලෙසුන් නසා
ඔබයි යාවත් කාලීන විය යුත්තෙ.
ඔබ එසේ යාවත්කාලීන වෙන ක්‍රමය
විපස්සනා නමින් හැඳින්වෙනවා.
විපස්සනා යාවත්කාලීන කරන්න දෙයක් නෑ.
කවදා කළත්
ඔබ තුළ සිදුවෙන වෙනස් වීම් ගැන සිහියෙන්
ඒ වෙනස්වීම් වලට උපේක්ෂාවෙන් විසීම
එදත් එකයි, අදත් එකයි..
හෙටත් එකයි..
ඔබයි විපස්සනා උපයෝගී කරගෙන
යාවත්කාලීන විය යුත්තෙ..

    ==============================================   
බුදු දහම තනිකරම මනසින්
අවබෝධ කරගන්න බැහැ..
කයත් උපයෝගී විය යුතුයි.
මිනිසා මොහොතක් පාසා විඳින
දුකට අදාළ ධර්මතා
කයත් මනසත් දෙකටම පොදුයි.

අපි අත්විඳින හැම මානසික වෙනස්වීමක් සමගම
කයත් සාපේක්ෂව වෙනස් වෙනවා.
මනසෙහි සිදු වෙන හැම වෙනසක්ම සමග
කයෙත් වේදනාවක් සමව සරණවා.
කය නැතුව මනස නිසි පරිදි ග්‍රහණය කරගන්න බෑ.
මිනිසා මොහොතක් පාසා විඳින
දුකට අදාළ ධර්මතා
කයත් මනසත් දෙකම
අත්විඳින මොහොතෙම විඳ ප්‍රත්‍යක්ෂ කර ගැනීම
බුදු දහමෙහි මූලිකම මාර්ගයයි.
ඉන් බාහිර අවබෝධ කරගැනීම්
එතැනට යොමු විය යුතුයි..
අපි අත්විඳින හැම මානසික වෙනස්වීමක් සමගම
කයත් සාපේක්ෂව වෙනස් වෙනවා.
මොහොතින් මොහොත වෙනස් වෙන
ජෛව රසායනික නිසා
උපන්දා පටන්
කය කල් ඉකුත් වෙමින් යනවා..
අපි කියන්නෙ කෙලෙස් කියලා.
මනස නිසි පරිදි ග්‍රහණය කරගන්න
ඒ කෙලෙසුන් නසා
කය යාවත් කාලීන විය යුතුයි...
එසේ යාවත්කාලීන වෙන ක්‍රමය
විපස්සනා නමින් හැඳින්වෙනවා.


    ==============================================
විඥාණය ස්ථිතික නෑ..
සංස්කාර කෙලෙස් වෙමින්
කෙලෙස් සංස්කාර වෙමින්
නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින්නෙ..
විඥාණය කියන්නෙ
ගුණාත්මක වශයෙන්
කෙලෙස් නිශ්‍රිත ප්‍රඥාවයි..
විදසුනෙන් කෙලෙස් නැසෙන විට
විඥාණය ප්‍රඥාව බවට පත් වෙනවා.
    ==============================================

    ==============================================

    ==============================================

    ==============================================

    ==============================================

    ==============================================   







No comments:

Post a Comment