20140605

සංස්කාර නිදහස් වෙලා සිත පිරිසිදු වෙනවා.




මනසෙහි සිතුවිල්ලක් හට ගන්නේ
කයෙහි ඇති වෙන වෙනසක් නිසයි..
මනස හිතනවා කියල කියන අත්දැකීමත්
රෑට හීන දැකීමෙත් අතර වෙනසක් නැහැ..

කයෙහි සිදුවෙන වෙනස්වීමක්..
කලින් අත්දැකීමක ප්‍රතිඵලයක් වශයෙන්
ස්නායු පද්ධතියෙහි හෝ මොළයෙහි සිදුවෙන
නිදහස් වීමක් සකස් වීමක් ඊට හේතු වෙනවා.

ගමනක් ගිහින් ආවම
කයෙහි තැන් තැන්වල වේදනා දැනිලා
කය යථා තත්වයට පත් වෙනවා වගේම
නොයෙක් අත්දැකීම් මත
මනසේ සිදුවෙන වෙහෙසවීම්
පසු අවස්ථාවල නිදහස් වෙනවා.

පැරණි කෙලෙස්
සංස්කාර විදියට මතුවෙලා
නිදහස් වෙනවා.
ඒ නිදහස් වෙන සංස්කාරයට අනුව
නින්දෙදි නම් සිහිනයක් දකිනවා.
දවල්ට නම් සිතුවිලි එනවා.

ඒ සිතුවිලි වලට අනුව සිතීමෙන්,
හැඟීම් පහළ වීමෙන්
තව තවත් සංස්කාර උපදිනවා.

දවල්ට අව්ව නිසා ඇතිවුණ ද්වේශය
වෙනත් අවස්ථාවක මතු වුණොත්,
ඒ ද්වේශයට අනුව
තරහකාරයෙක් සිහි වෙන්න පුලුවන්.

ඒ ද්වේශ සංස්කාරයට අනුව
ඔහුට බනින්න, ගහන්න, මරන්න
සැලසුම් කිරීමෙන් පාපයක් සිදු වෙනවා වගේම
නව සංස්කාරත් ඇති වෙනවා.
නින්දෙදි නම් ඔහුට ගහනවා, බනිනවා..
සිහිනයෙන් දකින්නත් පුලුවන්.

හිතේ ද්වේශයක් ඇති වුණාම
මගේ හිතේ ද්වේශයක් තියෙනවා කියන සිහියෙන්
ඒ ද්වේශයට උපෙක්ෂාවෙන් ඉන්න පුලුවනි නම්
ඒ ද්වේශ සංස්කාරය නිසා
නව සංස්කාර ගොඩ නැගෙන්නෙත් නැහැ.
මතු වුණ සංස්කාරය නිදහස් වෙලා
සිතත් එක ක්ලේශයකින් පිරිසිදු වෙනවා.

විපස්සනා වැඩීම ලෙස
බුදු දහමෙ උගන්වන්නෙ
කය වශයෙනුත්, සිත වශයෙනුත්
ඒ වෙලාවෙ ඇතිවෙන නව සංස්කාර හෝ
මේ නිදහස් වෙන පැරණි සංස්කාර ගැන සිහියෙන්,
ඒ සංස්කාරවලට උපේක්ෂාවෙන් සිටීමයි.

සංස්කාර වල ස්වභාවය වෙනස්වීමයි.
ඉපදී නැතිවී යාම ධර්මතාවයයි.
ඉපදුනොත් වැයවෙලා යනවා.
විපස්සනා වඩන්නෙක් කරන්නෙ
මේ ප්‍රවණතාවයට ඉඩ දී
මනස නිසලව තබා ගැනීමයි..

මොහොතෙන් මොහොතට
තමා තුළ සිදුවෙන දේට
මෝහය නැතිව සිහියෙන්ද
රාග ද්වේශ නැතිව
උපේක්ෂාවෙන්ද විසීමේදි
සිතේ තැන්පත් වෙලා තියන
රාග ද්වේශ මෝහ කෙලෙස්
සංස්කාර විදියට මතුවෙලා
සංස්කාර වල ස්වභාවය වන,
වැය වීමේ සහ
ඉපදුණොත් නැතිවීමෙ ධර්මතා මත
නිරෝධ වෙලා යාමට ඉඩ දීමෙන්
සිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා.
සිත පිරිසිදු වෙනවා.

No comments:

Post a Comment