20140625

දුකෙන් මිදීම සරලයි, විද්‍යාත්මකයි. සත්‍යයි.



ඔබට තියන කායික මානසික රෝග
සතුන්ට නැත්තේ ඇයි?

මිනිසාට තියන ප්‍රශ්නය මිනිසාගේ "දියුණු" මනසද?

කයත් මනසත් දෙකම රෝගී කරන්නට
මිනිසාගේ "දියුණු" මනස
නොදියුණු කයට දායක වන්නේ කොහොමද?
ඔබට තියන කායික මානසික රෝග ගැටළුවට 
විසඳුමක් දෙන්නට තරම්
මිනිසාගේ "දියුණු" මනස
දියුණු වී නැද්ද?

බාහිර ලෝකයත් මිනිසාත් වෙනස්වන විට
මිනිසාගේ "දියුණු" මනසත් කයත් හැසිරෙන්නේ කොහොමද?

1
රස කෑමක රූපයක් දකිනවා.
2,
හිතේ ආශාව උපදිනවා.
3,
රස විඳින්න හිතෙනවා.
4,
රස විඳින්න උත්සාහ කරනවා.

කෑම කන්න කය අවශ්‍ය වුණාට
රස විඳින්න මනස වුණත් ඇති.

රස කෑමක රූපයක් දකින
හිතේ ආශාව උපදින
ඒ කෑම රස විඳින්න හිතෙන
ඒ රස විඳින්න උත්සාහ කරන
එක් එක් අවස්ථා වලදි
අපේ මොළයත් ස්නායු පද්ධතියත්
වෙනස් වෙනවා.

අසංඛ්‍යවූ තොරතුරු රැසක්
ජෛව රසායනික වෙනස්වීම විදියට
මොළයත් ස්නායු පද්ධතියත් කයත් හරහා
කාය සංස්කාරත්, චිත්ත සංස්කාරත් ඇති කරමින්
සමස්ත කය පුරා සංසරණය වෙනවා.
මේ සංසරණය ජෛව රසායනිකයි.

රූප ශබ්ද ගන්ධාදී
බාහිර අරමුණුවලින් උත්තේජනය වෙන

සුඛ දුක්ඛ අදුක්ඛමාසුඛ වේදනා නම්
ජෛව රසායනික වෙනස් වීම් නිසා
කය ආධාර කරගත් මනස තුළත්
රාග, ද්වේශ, කාමච්ඡන්ද, ව්‍යාපාද ආදියට අනුව
ජෛව රසායනික වෙනස් වීම් සිදුවෙනවා.

ඇසට වැටෙන රූපයෙන් ඇසේ ඇතිවෙන
ජෛව රසායනික වෙනස මගින්
මොළයෙ ඇතිවෙන ජෛව රසායනික වෙනස
මොළය හඳුනාගන්නෙ රස කෑමක් විදියට.
පෙරදාක එදා
මේ කෑම රස විඳිද්දී
ඇතිවූ ජෛව රසායනික වෙනස්වීම්වලට
මනස ප්‍රිය කළ නිසා
ඒ කෑම රසයි කියල
විඥාණයෙ සටහන් වුණ තොරතුරු
මේ වෙලාවෙදි
ජෛව රසායනික උත්තේජකයක් විදියට ක්‍රියා කරනවා.
කෑමෙ රූපයක්,
කෑමෙ නම ඇහුණොත් ශබ්දයක් විදියට
නැත්නම් සුවඳ විදියට
කෑම පිළිබඳ තොරතුරක්
බාහිර උත්තේජකය වෙනවා.
ඒ උත්තේජකය අපේ මතකයෙ තියන
රස පිළිබඳ මතකය අවුස්සනවා.
ඒ ජෛව රසායනික කැළඹීම,
ඒ ජෛව රසායනික කම්පන මාලාවත් අපිට ප්‍රියයි.
අපි ඒ ප්‍රිය ජනක උත්තේජනය හොයනවා.
මොළයේ ජෛව රසායනික වෙනස්කම් සිදුවෙනවා.
කය තුළත් හෝමෝන ශ්‍රාවය කට කෙළ ඉනීම වැනි
ක්‍රියා ගණනාවක් ජෛව රසායනිකව සිදු වෙනවා.

මීට කලින් ඒ කෑම රස විඳින වෙලාවෙ,
ඒ කෑම දිවේ තැවරීමෙන්
දිවේ පහල වූ ජෛව රසායනික වේදනා මාලාව
ප්‍රිය වේදනා මාලාවක්
සුඛ වේදනා මාලාවක් විදියට
මනස හඳුනා ගත්තා.
ඒ වේදනා මාලාව ප්‍රියයි කියල
සකස් වුණ ජෛව රසායනික සංස්කාර අනුව
මනස ලද වින්දනයෙ මතක
ජෛව රසායනික සටහනක් ලෙස
විඥාණයෙ සටහන් වුණා.

ඒ කෑම පිළිබඳ මතකය ඇවිස්සුණාම
මේ ජෛව රසායනික සංස්කාර යළි මතුවෙනවා.
මේ සංස්කාර මතු වීම අපට ප්‍රියයි.
අපි කෑම සිහි කරමින්, සිතමින්
ඒ පිළිබඳ අන් අයට කතා කරමින්,
ඔවුන් ඒ ගැන කියන දේ අහමින්
මොළයෙ ඇති වෙන ජෛව රසායනික උත්තේජනත්
කයෙහි ශ්‍රාවය වෙන හෝමෝනත්
රස ව්ඳිනවා.
ජෛව රසායනික උත්තේජන ප්‍රබල නම්
හෘදස්ඵන්දනයත් වැඩි වෙනවා.
කෑම කන වෙලාවෙදිවත් ක්‍රියා නොකළ විදියට
කයත් මනසත් ක්‍රියා කරනවා.

අඹරන්න කිසිම දෙයක් නැතුව
ඇඹරුම්හල වැඩ කරනවා.

සතෙකුට මෙහෙම අමතර අමාරුවක් නැහැ.
කුසගින්නක් ආවම ඌ කෑම හොයනවා.
කළින් කාපු රස කෑමක් ගැන සිහි කරමින්
ඒ කෑම පිළිබඳවම සිතමින්
ඒ පිළිබඳව චැට් කරමින්
වෙනත් කෑම ප්‍රතික්ෂේප කරමින්
මනසට සහ කයට වද දෙන්නේ නැහැ.

ඒ වදය කයටත් මනසටත් රෝගී තත්වයක්.
ඉධ තප්පති.. දැනුත් දැවෙනවා.

අපි වෙන දේකට යොමු වුණත්
ඒ සිදු කරගත් හානිකර වෙනස් කම්
එසැණින් යථා තත්වයට පත් වෙන්නෙ නැහැ.
පෙච්ච තප්පති.
පසුවත් දැවෙනවා.
මේ දවීම ජෛව රසායනිකව තැන්පත්වී
අනාගතයෙත් මතුවෙනවා.
දවනවා, තවනවා, පෙළනවා.

අකමැති දෙයක්, අකමැති කෙනෙක් මතක් වුණත්
මේ වගේම ජෛව රසායනික වෙනසක්
කායිකව හා මානසිකව අප තුළ ඇති වෙනවා.

ඒ අප්‍රිය සංස්කාර මතුවීමත්
ඇඹුල් රස, තිත්ත රස වගේ
සමහරුන්ට ප්‍රියයි.
ද්වේශයත් මනසට ආහාරයක්.
ආහාරයක මිරිස් රසට ගිජු වන්නාක් මෙන්
ද්වේශයත් රස විඳීමට
මිනිස් සිත පෙළඹෙනවා.
ඔවුන් ජාති වාදය, ආගම් වාදය හො..
කිසිවෙක් කළ සතුරු කමක් සිහි කරමින්
මනස මගින් මොළයත්,
කයත් උත්තේජනය කරන
ජෛව රසායනික වෙනස නිසා සිදුවෙන
කයත් මනසත් දැවීම
නොදැනුවත්වම රස විඳිනවා.

මිනිසාට කිසියම් ඉන්ද්‍රියයක
අරමුණක් ස්පර්ෂ වුනාම
ඔහු ඒ අනුව මනසින් ක්‍රියා කරමින්
පැරණි ජෛව රසායනික සංස්කාර මතු කරගෙන
මොළයෙත් ස්නායු පද්ධතියෙත් වෙන
ජෛව රසායනික  වෙනස්කම්,
කයෙහි ශ්‍රාවය වෙන
හෝමෝන ආදිය ආගන්තුකව රස විඳීම
කයටත් මනසටත් හානිකරයි.

ඔහු කරන්නෙ කාමයෙහි වරදවා හැසිරීමක්.

සතුන්ගෙ ආහාර සෙවීම,
ආහාර ගැනීම, සංසර්ගය, නින්ද ආදී
සියලුම ජෛව විද්‍යාත්මක ක්‍රියා සරලයි.
ඒ නිසා මිනිසුන් නිකරුණේ වැය කරන
කායික මානසික ශක්තිය ඉතිරි වෙන්වා.
රාගයෙන් අතීතය සිහි කරමින්,
කයෙහි මතුවෙන රාග සංස්කාර විඳින්නට
මනස කාමච්ඡන්දයෙන් පෙළමින්
අනාගතයට බලපාන ලෙස
නව ජෛව රසායනික සංස්කාර ඇති කරගන්නවා.
කායික හා මානසික රෝග බිහිකරන
වර්තමානයක් මිනිසාට තියනවා.

මෙසේ රාගය ඔවුන් නොපෙළන වෙලාවට
ඔවුන් පෙළන්නට ද්වේශය මතුවෙනවා.

ද්වේශයත් මනසට ආහාරයක්.
ආහාරයක මිරිස් රසට ගිජු වන්නාක් මෙන්
ද්වේශයත් රස විඳීමට
මිනිස් සිත පෙළඹෙනවා.

සිතේ ද්වේශය උපදින අරමුණක්
ස්පර්ශ වූ සැණින්
කය තුළ ඇතිවෙන
දුක්ඛ වේදනා මාලා අනුව
මන්සේ මතුවෙන ද්වේශ සංස්කාර ප්‍රිය නම්..
මොළය හා ස්නායු පද්ධතිය තුළ සිදු වෙන
ජෛව රසායනික වෙනස්කම්,
කයෙහි ඇතිවෙන හෝමෝන ශ්‍රාවය ආදිය
ඔහුට ප්‍රිය නම්
මේ ද්වේශ සංස්කාර උත්තේජනය
ඔහු විසින් පෝෂණය කරනවා.
ඔහු ද්වේශයෙන් අතීතය සිහි කරමින්,
ද්වේශයෙන් වර්තමානය දකිමින්,
ද්වේශයෙන් අනාගතය ගැන සිතමින්
කයෙහි මතුවෙන ද්වේශ සංස්කාර විඳින්නට
ඔහු පෙළඹෙනවා.

මනස ව්‍යාපාදයෙන් පෙළමින්
අනාගතයට බලපාන ලෙස
නව සංස්කාර ඇති කරගනිමින්
කායික හා මානසික රෝග බිහිකරන
ජෛව රසායනික වෙනස්කම් බහුල
රෝගී වර්තමානයක් ඒ මිනිසාට තියනවා.

රාග ද්වේශ ක්‍රියාවලීන් දෙකෙන්
වෙහෙසට පත්වූ පසු
හෝ, මේ රාග ද්වේශ ක්‍රියාවලි දෙකම නැති විට
මිනිසා පසුවෙන්නෙ අවසිහියෙන්, මෝහයෙන්.

වෙහෙසට පත්වූ පසු
ඔහු බාහිර අරමුණු වලට සංවේදීබව අඩුයි.

ඔහුනින්දට පත් වුණොත්
බාහිර උත්තේජක දැනෙන්නෙම නැහැ.

වෙහෙසට පත්වීම හෝ නිදිමත නිසා
ථින මිද්ධ නීවරණයට සිත ගොදුරු වෙන
මේ අක්‍රිය, විඩාබර, නිදිබර අවස්ථාවේදී
මෙතෙක් සිදු වූ
හානිකර ජෛව රසායනික වෙනස් කම් වලින්
කය නිදහස් කරගන්නට
ස්වයං ක්‍රියාකාරීව කය වෙහෙසෙනවා.

නින්ද ප්‍රබල නැත්නම්
එසේ යළි සැකසෙන
ජෛව රසායනික වෙනස් කම් වලට අනුව
ඔහුට සිහින පෙනෙනවා.

දවල් දවස පුරාම
කාමච්ඡන්දයෙන්, ව්‍යාපාදයෙන් දැවෙමින්
රාගයෙන් ද්වේශයෙන් සංස්කාර ඇති කරගනිමින්
සිය කයටත් මනසටත් දුක් දුන්
බොළඳ ළදරු මනස
ථින මිද්ධයෙන් නිද්‍රාවට පත්වූ පසු
තව දවසක් දුක් විඳින්නට අවසර සොයා
ස්වල්ප වශයෙන්
කයත් මනසත් සුවපත් වෙනවා.
ඉතිරි වෙන සංස්කාර සියල්ල
අනාගත දුකට පෝෂණය දෙන්නට
කෙලෙස් ලෙස මනසෙහි තැන්පත් වෙනවා.
මහළු වියෙහි අවසිහියට,
කායික මානසික රෝගවලට
විසඳුම නොදන්නා කම නිසා
කයෙහි පැළපදියම් වූ
ජෛව රසායනිකවෙනස්වීම්
හේතු වෙනවා.

ථින මිද්ධ නීවරණයෙන් විඩාවට, නිද්‍රාවට පත්වී
සාමාන්‍ය ජනයා මෝහය තුළ සැනසීම සොයද්දී
රෑවෙන තුරු ඉවසිය නොහැකි පිරිසක්
සරල විසඳුමක් සොයනවා.

දහවල් කාලය තුළ
ඉන්ද්‍රියත් කයත් වෙනස් වෙද්දී
කයෙහි හා මනසෙහි
රාග ද්වේශ ලෙස
ජෛව රසායනික සංස්කාර ඉපදීම
ස්වාභාවිකයි.

ඊට අමතරව
උවමනාවෙන් අදාළ දවල් සිහින මගින්
දවස පුරාම
ජෛව රසායනික සංස්කාර
උපදවා ගැනීමත් නිසා
කයත් මනසත් දවන තවන පෙළන
රාග, ද්වේශ සංස්කාර වලින්,
ජෛව රසායනික ක්‍රියාවන්ගෙන්
ඔවුන් විඳින දැවීම, තැවීම, පෙළීම
ඔවුන් දුකක් ලෙස දකිනවා.

ඔවුන් ඉතා පහසු විසඳුමක් උපයෝගී කරගන්නවා.
කිසියම් ඉන්ද්‍රියයක බාහිර අරමුණක් ස්පර්ශවීමෙන්
ඉන්ද්‍රිය මගින් වේදනා ලෙස ගෙන යන තොරතුරෙන්
රාග ද්වේශ උත්තේජනය වී
විඥ්ඥාණය කැලැත්තෙනවා.

රාග ද්වේශ සංස්කාර උපදවමින්
කාමච්ඡන්දය හෝ ව්‍යාපාදය ඇවිළෙන විට
වෙනත් අරමුණකට සිත යොමු කිරීමෙන්
සංස්කාර ඉපදීම තාවකාලිකව නතර වන බව
මේ හානිකර ජෛව රසායනික ක්‍රියාවලිය
තාවකාලිකව නවතින බව
ඔවුන් ඉවෙන් මෙන් දන්නවා.
ඔවුන් ඒ අවස්ථාව මගහැර පලා යනවා.

පොතක් කියවන්නට, රූපවාහිනිය නරඹන්නට,
මාතෘකාව වෙනස් කරන්නට ඔවුන් පෙළඹෙනවා.
ශීලය වතක් ලෙස පුරන්නේ මේ පිරිසයි.

එවැන්නකින් සෑහීමට පත් නොවෙන තරම්
සංස්කාර මතුවීම ප්‍රබල
පාරසංවේදී සියුමැලි සිත් ඇති අය
ශීලයෙන් නැසැණහී
සමථ භාවනාවට යොමු වෙනවා.

වචනයක් හෝ කීපයක් මතුරමින්
රාග ද්වේශ සංස්කාර ඇති වීම වළකනවා.
තවත් පිරිසක්
කය පිළිබඳව සිහියෙන් තොරව
සමස්ත කයටම සංවේදී නොවී
ආශ්වාස ප්‍රශ්වාස කයට පමණක්ම
සිත යොමු කරනමින්
මනස රාගයෙන් හා ද්වේශයෙන් මුදවාගෙන
මෝහය තුල රඳවා ගන්නවා..

ආක්‍රමණික රාග ද්වේශ දෙක
කයත් සිතත් ආක්‍රමණය කිරීම නිසා
කයත් මනසත් පෙළන තවන දවන
මනසෙහි කාමච්ඡන්ද, ව්‍යාපාද සමග
කයෙහි මතුවෙන ජෛව රසායනික සංස්කාර වලින්
දුක් විඳින බව වැටහෙන පිරිස
සිත සමාහිත කරගනිමින්
කුමන හෝ ආකාරයකින්
මෝහයට සංක්‍රමණය වී
මෝහය තුළ කඳවුරු බැඳගෙන
සරණාගත ජීවිත ගත කරනවා.

තවකාලිකව මෝහය තුළට පළාගොස් ගත කරන
සරණාගත ජීවිතය තාවකාලිකයි.

ප්‍රබල ජෛව රසායනික සංස්කාර ඇති නොවුණත්
ඉඳුරන් මගින් නොකඩවාම එන තොරතුරු නිසා
ඔහු නොදැනුවත්වම කයෙහි ඇතිවෙන
ජෛව රසායනික වෙනස් වීම්
මෝහ සංස්කාර ලෙස කයෙහි රැස්වෙනවා.
ඔහු මානසිකව නිද්‍රාවක පසුවෙනවා.

මනස දැහැන්ගතවුණත්
කය දුක් විඳිනවා.

ඔහු තෝරාගන්නා දේ සමග ඔහු පසුවෙද්දී
අන් සියල්ලම සිදු වෙනවා.
ඔහු අන් සියල්ලටම මෝහයෙන් පසුවෙනවා.

රාග ද්වේශත් දවස පුරාම ඔහු පසුපස එනවා.
හැම රූපයක්ම, හැම රසක්ම, සුවඳක්ම, ශබ්දයක්ම
හැම ස්පර්ශයක්ම රාගයට හෝ ද්වේශයට
හේතු වෙනවා.

මෝහයට පත්වීමේ  විසඳුම
අසාර්ථක බව දන්නා සරණාගතයන්
උද්දකාරාම පුත්ත, ආළාරකාලාම සෙනසුන් හැරපියා
දුකෙන් මිදෙන සැබෑ මග සොයනවා.
තමාට සරණ තමාම බව
වටහා ගන්නවා.

සුඛ දුක්ඛ අදුක්ඛමාසුඛ වේදනා
රාග, ද්වේශ, කාමච්ඡන්ද, ව්‍යාපාද ඇතිවෙන විට
ඒ ජෛව රසායනික සංස්කාර වලින්
දුක් විඳින්නේ නැතිව,
මෝහයට පළා යාමෙනුත් මිදී,
දුක නොවිඳ දුකට මුහුණ දෙන
අතළොස්සක් බුදු සසුන තුළ ඉන්නවා.

සුඛ දුක්ඛ අදුක්ඛමාසුඛ වේදනා
රාග, ද්වේශ, කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී
සියලුම ජෛව රසායනික වෙනස් වීම්
ඇතිවෙන මොහොතෙහිම සිහියෙන් දකිමින්,
ඒ වෙනස්කම් සිතින් පෝෂණය නොකරමින්,
සියලුම ජෛව රසායනික වෙනස් වීම් වලට
උපේක්ෂාවෙන් වෙසෙමින්
උපදින උපදින රාග ද්වේශ සංස්කාර
වැයවී නිරුද්ධ වන්නට හරිමින්
කයත් මනසත් දුකෙන් මුදවා ගන්නා මග
විපස්සනා පුහුණුවයි.

විදසුන් වඩන්නා
ඔහු තුළ ඇතිවෙන
ජෛව රසායනික වෙනස්වීම් නිසා
කැළඹෙන්නේ නැහැ.
පළායන්නේත් නැහැ.


මේ මොහොතෙහි බැහැර හෝ ඇතුළත සිදුවෙන
කිසියම් දෙයක් නිසා
ජෛව රසායනික වෙනස්වීම් සිදු විය හැක.

එසේ නොවේනම්
වත්මන් අරමුණක් හේතුවෙන්
අතීතයෙහි රාග ද්වේශ මෝහ කෙලෙස්
කැළැත්තීමෙන්
පැරණි ජෛව රසායනික සංස්කාර
යළි මතු විය හැකියි.

ජෛව රසායනික සංස්කාර  කුමක් වුවත්
විදසුන් වඩන්නා සැලෙන්නේ නැහැ.

සමස්ත කයෙහිම සිදුවෙන
ජෛව රසායනික වෙනස් වීම් පිළිබඳව
සම්පජානෝ සතියෙන්
සමස්ත කයෙහිම සිදුවෙන
ජෛව රසායනික වෙනස් වීම්
කැමැත්තෙන් විඳින්නෙත් නැතිව
අකමැත්තෙන් බැහැර කරන්නෙත් නැතිව
ඔහු උපේක්ෂාවෙන් පසු වෙනවා.
විදසුන් වඩන තැනැත්තා...
මොහොතක් මොහොතක් පාසා
ඔහු තුළ ඇති වෙන නැති වෙන
සියලුම ජෛව රසායනික වෙනස් වීම්
ඇතිවෙන විදිය දකිනවා
සියලුම ජෛව රසායනික වෙනස් වීම්
නැතිවෙන විදිය දකිනවා.

1, උපදවාගත් සිහිය ප්‍රතිෂ්ඨාපිත කරගෙන
2, නොකඩවාම,
3, තමන්ට දැනෙන ප්‍රමාණය මත.
4, නැවත නැවත සිහිය ඇති කරගනිමින්,
5, සියලු ජෛව රසායනික වෙනස්වීම් වලට අනිශ්‍රිතව
6, ඒ වෙනස්වීම් පෝෂණය නොකරමින් වෙසෙනවා

මෙසේ වෙසෙන සත්වයා
රාග ද්වේශ මෝහ කෙලෙස් ලෙස පැවති
ජෛව රසායනික මළ පහකොට
විශුද්ධියට පත්වෙනවා.
ඔහු තුළ හටගන්නා සෝක පරිදේව
සමතයට පත්වී ඉක්මවා යනවා.
ඔහු තුළ හටගන්නා දුක් දොම්නස් අස්තංගත වෙනවා.
තමාට අදාළව ලෝකයත්
ලෝකයට සාපේක්ෂව තමා වෙනස්වෙන අයුරුත්
සිහියෙන් හා උපෙක්ෂාවෙන්  දකින
ඔහුගේ ප්‍රඥාව ඉහළ යනවා.

රන්කරුවා රන් රිදී වල මල හරින්නාක් මෙන්
ඔහු තුළ රැස්වූ කෙලෙස් මළ සියල්ල
කෙමෙන් කෙමෙන් නැසී,
ආශ්‍රව සියල්ල කෙමෙන් කෙමෙන් ක්ෂය වූ පසුව
නිවන සාක්ශාත් වෙනවා.

එතෙක් ඔහුගේ දිවි ගමනේදී
විදසුන් වඩන මොහොතෙන් මොහොතට
දුක් නොවිඳ වෙසෙන්නට ඔහු දන්නවා.

-----------------------------------------------------------------
මෙහි සඳහන් වෙන විවිධ අවස්ථාවන්හි
කය තුළ සිදු වෙන ජෛව රසායනික වෙනස් වීම්
ජෛව විද්‍යාත්මකව පැහැදිලි කරන මෙන්
මගේ මිතුරු ජාලයෙහි සිටින
වෛද්‍යවරුන්ගෙන් සහ වෛද්‍ය සිසුන්ගෙන්
ඉල්ලා සිටිනවා.

No comments:

Post a Comment