20140608

දුක් විඳින වෙලාවට දුකෙන් මිදෙන්න.


.
ජීවිතය පුරාම 
වැඩි කාලයක් තිස්සෙ
අව්වට වැස්සට පින්නට තෙමෙන වේලෙන අතරෙ
ඉඳල හිටලා ඒ සියල්ලෙන්ම මිදිලා
සුවපහසුවට ඉඳගෙන
අව්ව වැස්ස පින්න ගැන ඉගෙන ගන්න
සිසුන් පිරිසක් ගැන හිතන්න.

ඔවුන් අව්ව වැස්ස පින්න නිසා දුක් විඳින වෙලාවට
පන්තියෙ ඉගෙන ගන්න දේ මතක නැහැ.
පන්තියෙ ඉගෙන ගන්න වෙලාවට
අව්ව වැස්ස පින්න ගැන මතක නැහැ.

පොතපත කියවීමෙන්,
දහම් දේශනා ඇසීමෙන්,
තර්ක කිරීමන්
බුදු දහම ඉගෙන ගන්න අයත්
ඒ වගෙයි.

ජීවිතය පුරාම
රාග, ද්වේශ, මෝහ නිසා,
පංච නීවරණ නිසා දුක් විඳින ඔවුන්
දුක් විඳින වෙලාවට
ඒ දුක් විඳින්නෙ
රාග, ද්වේශ, මෝහ
පංච නීවරණ නිසා බව දන්නෙ නැහැ.

පොතපත කියවීමෙන්,
දහම් දේශනා ඇසීමෙන්,
තර්ක කිරීමන් ඉගෙන ගන්න වෑයම් කරන කොට
රාග, ද්වේශ, මෝහ
පංච නීවරණ නිසා විඳපු දුක්
මතක නැහැ.

බුදුන් වහන්සෙගෙ ක්‍රමය ඒක නෙමෙයි.
වැස්ස පින්න අව්ව නිසා අපි විඳින දුක
සත්‍යයක්, යථාර්ථයක් ලෙස අපි දැකිය යුත්තෙ
වැස්සට තෙමෙන, අව්වට වේලෙන වෙලාවටයි.

රාග, ද්වේශ, මෝහ නිසා,
පංච නීවරණ නිසා
විඳින දුක දැකිය යුත්තෙ
රාග, ද්වේශ, මෝහ නිසා,
පංච නීවරණ නිසා දුක් විඳින වෙලාවටයි.
.

සදොසංවා චිත්තං සදොසං චිත්තං පජානාති.
සිතේ ද්වේශය තියන වෙලාවට
සිත ද්වේශය සහිත සිතක් කියල දන්නවා.

මේ අපි දකින්නෙ හිතලුවක් නෙවෙයි.

පොතපත කියවීමෙන්,
දහම් දේශනා ඇසීමෙන්,
තර්ක කිරීමන් ඉගෙන ගන්න හිතලුවක් නෙවෙයි.
මේ අපි දකින්නෙ සත්‍ය වශයෙන්ම ද්වේශය.

සදොසංවා චිත්තං 
සදොසං චිත්තං පජානාති.

ඉන් පසුව බුදුන් වහන්සේ කියා දෙනවා
ද්වේශය දුකක් නොවෙන විදියට
බලා ඉන්නෙ කොහොමද කියලා.

ඒ ක්‍රමයට සිහියත්, උපේක්ෂාවත්
පවත්වා ගන්න පුලුවනි නම්
ඒ හැම මොහොතක්ම
දුකෙන් මිදුණ මොහොතක්.
විශුද්ධි මාර්ගයත් එයමයි.

සබ්බේ සංඛාරා අනිච්චාතී
යදා පඤ්ඤාය පස්සති.
අථ නිබ්බින්දති දුක්ඛේ -
ඒස මග්ගෝ විසුද්ධියා -


සංස්කාර අපි තුළ මතු වෙලා
වෙනස් වෙමින් පවතිද්දීම
සංස්කාර අනිත්‍ය බව දැකිය යුතුයි.
සබ්බේ සංඛාරා අනිච්චාතී

සිහිය ඇති තැන මෝහය නැහැ.
උපේක්ෂාව ඇති තැන
රාග ද්වේශ නැහැ.
ඇත්ත ඇති සැටියෙන්ම පෙනෙන ප්‍රඥාව...
යදා පඤ්ඤාය පස්සති.

ඒ අවස්ථාව දුක් නොවිඳින මොහොතක්.
අථ නිබ්බින්දති දුක්ඛේ

උපදින සංස්කාර නිරුද්ධ වෙනවා.
විශුද්ධියට මාර්ගය එයයි.
ඒස මග්ගෝ විසුද්ධියා -

No comments:

Post a Comment