20170325

0001 මහා සතිපට්ඨාන සූත්‍රය සරලව...සත්තානං විසුද්ධියා.



සිහිය පිහිටුවා ගැනීමෙන් පමණක්
ලබා ගත හැකි ප්‍රයෝජන පහක්
මහා සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේම
සඳහන් වෙනවා.

1, සත්තානං විසුද්ධියා.
ඉන් පළමු වැන්නයි.

සත්වයා
ස්වභාවයෙන්ම පාරිශුද්ධ බව
ඉන් කියැවෙනවා.
ප්‍රභාස්වර සිත උපකෙලෙස් වලින්
කිළිටි වෙන බවත් බුදුන් වහන්සේ කියනවා.

සත්වයා කිළිටි වන්නේ
රාග ද්වේශ මෝහ කෙලෙස්වලින්.

බුදු දහමෙහි මූලික අරමුණ
මේ කෙලෙස් නසා සත්වයා ලබන විශුද්ධියයි.

කෙලෙස් නැසෙන විට ප්‍රඥාව පහළ වෙනවා.
මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා
සතර බ්‍රහ්ම විහරණ පහළ වෙනවා.

කෙළෙස් නසා රහත්වූ කෙනෙක් තුළ
පවතින්නේ ප්‍රඥාව සහ
සතර බ්‍රහ්ම විහරණයි.

දවසේ පැය විසි හතර පුරාම
අප්‍රමාණ වූ විවිධාකාර අරමුණු
අපේ ඉන්ද්‍රිය පහ සහ මනසෙහි
ස්පර්ශ වෙනවා.

දැනුවත්ව හෝ නොදැනුවත්ව
මේ හැම ස්පර්ශයකටම
අපේ සිත ප්‍රතිචාර දක්වනවා.

ප්‍රිය අප්‍රිය දේට දක්වන
රාග හා ද්වේශ ප්‍රතිචාර මෙන්ම
අපේ ප්‍රතිචාරයක් නොදැක්වීමත්
මෝහ ප්‍රතිචාරයක් ලෙස
අප තුළ සලකුණු වෙනවා.

එක් ස්පර්ශයකින් තුන් වර්ගයක
වේදනා පහළ වීමට හැකියි.
1, සුඛ
2, දුක්ඛ
3, අදුක්ඛමාසුඛ

කායිකව දැනෙන සුඛ වේදනාව මෙන්ම
දුක්ඛ වේදනාවත් අදුක්ඛමාසුඛ වේදනාවත්
පුද්ගලයා අනුව, ඔහු තුළ පවතින ස්වභාවය අනුව
මනසින් ප්‍රිය වශයෙන් ගැනීම සිදු විය හැකියි.

මේ වේදනා වර්ග තුනෙන් කුමක් හෝ
ප්‍රිය වශයෙන් ගැනීමෙන් රාග සංස්කාරය උපදිනවා.

අදාළ වේදනාව ගැන හෝ
ඉන් උපදින රාග සංස්කාරය ගැන
සිහිය සහ උපේක්ෂාව නැති නිසා
ක්ලේශයක් ලෙස විඥාණයෙහි තැන්පත් වෙනවා.
නැවත අත්දැකීමකදි ඉන් උපදින සංස්කාර සමග
මේ කෙලෙස් එකතු වෙන්න පුලුවන්.

සුළු අත්දැකීමකදි දැඩි රාගයක් උපදින්නට
විඥාණයෙන් මතුවෙන
රාග කෙලෙස් හේතු වෙනවා.

මේ වේදනා වර්ග තුනෙන් එකක්
අප්‍රිය වශයෙන් ගැනීමෙන්
ද්වේශ සංස්කාරය උපදිනවා.

මේ වේදනා වර්ග තුනෙන් එකක්
ප්‍රිය හෝ අප්‍රිය වශයෙන් නොගැනීමෙන්
සිත ශූන්‍ය වීම නිසා
මෝහ සංස්කාරය උපදිනවා.

මේ සංස්කාර කෙලෙස් බවට පත්ව
සිතෙහි තැන්පත්වීම නිසා
පිරිසිදු සිත අපිරිසිදු වෙනවා.

විදසුන් වැඩීමෙන්
මේ කෙලෙස් සිතට මතු වී නැසෙනවා.
කෙලෙස් නැසෙන සත්වයා පිරිසිදු වෙනවා.


මතු සබැඳේ.

No comments:

Post a Comment