20140518

ඔබ විඳින සියලුම දේ කායිකයි.






ඔබ අවට ලෝකය ගැන
මේ මොහොතෙහි ඔබේ කයට
ඉඳුරන් පහකින් තොරතුරු ලැබෙනවා.

මනස මගින්
ඔබ අතීතයට හා අනාගතයට
සම්බන්ධ වෙනවා.

මේ ආයතන හයෙහි
මේ මොහොතෙහිත්
බොහෝ ස්පර්ශ ඇති වෙනවා.

1, සලායතන පච්චයා ඵස්ස
සලායතන නිසා ස්පර්ශය ඇතිවෙයි.

පසිඳුරන් සහ මනස භාවිතා කරමින්
ඔබ දුක් විඳිනවා.. සැප  විඳිනවා...
කාගේ හෝ දේශනාවක් ඇසීමෙන් හෝ
ඔබටම සිතීමෙන්
සැප දුක දෙකම ගැන කලකිරී
ඒ දෙකෙන්ම තොරව
එක් අරමුණක සමාධි ගතව ඉන්නත්
ඔබ පෙළඹෙනවා.
ඔබ විඳින සැප ඒ සමාධියයි.
එක අරමුණක් පිළිබඳව සිහියෙන්
ඒ අරමුණට බැඳී විසීම
ලෞකික සැපක් හෝ දුකක්.

සත්වයෙක් ලෙස විඳින
සැප දුක් දෙක
හැම සත්වයෙකුටම පොදුයි.

ඔබ විඳින සියලුම දේ ..
ඔබ කායික හා මානසික වශයෙන්
සැප දුක් කියා වෙන් කරනවා.
එහෙත් මූලිකව බැලුවාම
සියල්ලම කායිකයි.

ඔබ විඳින සියලුම දේ ..
එනම්
ඔබ විඳින සැපත් දුකත්
සංහිඳියාවත්
ඔබ විඳින්නෙ ඔබේ කය තුළමයි.

ඔබ මොන ස්වරූපයෙන් වින්දත්
දවස පුරාම ඔබ විඳින්නේ
පසිඳුරන් හා මනස මත ස්පර්ශ වීමෙන්
මේ මොහොතෙහි
ඔබ තුළ ක්ෂණිකව සිදුවෙන
සියුම් හෝ ගොරෝසු ශාරීරික වෙනසයි.

ඔබට කුරුල්ලෙකුගෙ නාදය ඇහෙද්දි
ඔබේ මනස කුරුල්ලා සිටින තැන
බොහෝ දුරට හඳුනා ගන්නවා.
මේ මොහොතෙහි ඇසෙන ශබ්දයකට
හිත යොදවා බලන්න.
ඔබට ඒ ශබ්දය ඇසෙන්නෙ
එය නිකුත්වන තැනමයි.
ඒ ඔබේ මනස විසින්
ඔබ තුළ ඇති කරන දෘSඨියයි..
සත්‍යය ඊට වඩා බෙහෙවින් වෙනස්.

ඒ ශබ්දය ඇති කළේ කුරුල්ලෙක් නම්
ඔබේ කණ වෙත ළඟා වෙන්නෙ
කුරුල්ලාගෙන් නිකුත්වූ ශබ්ද තරංගයි.
ඒ තරංගය විසින්
ඔබේ කන් බෙරය කම්පනය කරනවා.
ඒ කම්පන වලට අනුව
කර්ණ ස්නායුව තුළ කම්පන මාලාවක්
සුඛ හෝ දුක් වේදනා මාලාවක්
ඇතිවෙනවා.
ඒ වේදනා මාලාව ඔබට ප්‍රියත් නැත්නම්,
අප්‍රියත් නැත්නම් ඒ නාදය පවතින බව
ඔබ දන්නේ නැහැ.

ඔබට ඒ නාදය තියන තැන හඳුනාගෙන
එතන සිදුවෙන දෙයක් විදියට
ඒ නාදය මනසින් වින්දත්
ඔබට සැබැවින්ම දැනෙන්නේ
මේ වේදනා මාලාවයි.
දැනෙන වේදනා අනුව
කුරුල්ලා සිටින තැනට
ඔබේ සිත නාභිගත කරන්නට
ඔබේ මොළයට හැකියාව තියනවා.
ඒ නාදය ඔබ වෙත ආවේ
බිත්තියක වැදිලා නම්
ඔබට දිසාව වරදිනවා.
කැඩපතෙන් අපේ පිටුපස තියන දේ
අපේ ඉදිරිපස තියන දෙයක් මෙන් පෙනෙනවා.

මේ හැකියාව විසින්
ජීවත් වීමේදී කය රැකගන්නට අවශ්‍ය
නිවැරදි තොරතුරු බොහෝ විට ඔබට ලැබුණත්
සත්‍යය පිළිබඳව නොදැන
අපේ සිත මුළා වෙනවා.

අපිට කුරුල්ලා ඉන්න තැන නිවැරදිව පෙණුනත්
වැරදියට පෙණුනත්
අපිව නම් පෙනෙන්නේ නැහැ.
කුරුළු නාදයෙන්
අපි තුළ ඇති වෙන වෙනස
අපට පෙනෙන්නේ නැහැ.

කුරුල්ලාගේ නාදය
මිහිරියි කියා බැඳෙනවා නම්
සැපක් කියා විඳිනවා නම්
එහි සැබෑ තේරුම
ඒ කුරුළු නාදය ඔබ වෙත පැමිණ
ඔබේ කන් බෙරයත්
මොළයත් අතර ඇති වෙන වෙනස
ඔබට ප්‍රිය බවයි.
ඒ වේදනාව
ඔබට සුඛ වේදනාවක් බවයි.
ඔබ සැබැවින්ම විඳින්නේ
ඒ ශබ්ද තරංග නිසා ඔබ තුළ නැගෙන
ප්‍රිය ජනක වේදනා මාලාවයි.

දිවෙන් රසයක් වින්දත්,
නාසයෙන් සුවඳක් වින්දත්
ඇසෙන් රූපයක් වින්දත්,
සමෙන් ස්පර්ශයක් වින්දත්
ඔබ විඳින්නෙ
ඒ බාහිර වස්තූන් නෙවෙයි.
ඒ වස්තූන් හෝ
ඒ වස්තු වලින් නිකුත්වෙන තරංග
ස්පර්ශ වීමෙන් ඔබ තුළ නැගෙන
වේදනා මාලාවයි.

ඔබ මනසින් ගන්න අරමුණු වලිනුත්
ඔබ තුළ සුඛ හා දුක්ඛ වේදනා ඇතිවෙනවා.
ඒ වේදනා කායිකයි. ශාරීරිකයි.

සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා.
මනසෙහි උපදින සියලු දේ
වේදනාවක් සරණ කොට පවතිනවා.

මනසෙන් ඇති කරගෙන අභ්‍යන්තරව වින්දත්
පසිඳුරන් මගින් ඇතුල්වෙන තරංග මගින් වින්දත්
ඔබ විඳින්නෙ ඒ අරමුණු නෙවෙයි.
ඒ වස්තූන් ස්පර්ශ වීමෙන්
ඔබ තුළ වර නැගෙන
සුඛ හා දුක්ඛ වේදනා මාලාවයි.

2, ඵස්ස පච්චයා වේදනා.
ස්පර්ශයෙන් වේදනාව හටගනියි.

ඔබ වේදනා තෝරාගෙන වින්දත්
ඔබ තුළ ඇතිවෙන කම්පන
ඔබ දකින වේදනා ටික විතරක් නෙවෙයි.
මේ මොහොතෙහි
බාහිර අරමුණු වලින් ලැබෙන තරංග බිලියන ගාණක්
ඔබේ සිරුර තුළ කම්පන නිපදවනවා.
ඔබ ඒ කම්පනවලින් විඳින්නේ
ඔබට සුඛ හෝ ඔබට දුක වේදනාවක් වන නිසා
ඔබ තෝරාගන්නා වේදනාවක් හෝ දෙකක් පමණයි.

මේ මොහොතෙහි ඔබට දැනෙන  එක වේදනාවක්
අන් වේදනා සියල්ලටම වඩා
ඔබට ප්‍රියනම් හෝ ඔබට අප්‍රිය නම්
ඔබ සියල්ලම අමතක කොට
ඒ වේදනාවට සිත එකඟ කරගෙන
වේදනාවෙහි සුඛ දුක්ඛ භාවය අනුව
සැපෙන් හෝ දුකෙන් කල් ගෙවනවා.

ඔබ සැපෙන් ඉන්න වෙලාවට
ඔබ පසිඳුරන්ගෙන් හෝ මනසෙන් ලබන
උත්තේජන අනුව
ඔබේ කය තුළ ඔබට ප්‍රියජනක වූ
මිහිරි තරංග මාලාවන් ඇතිවෙමින් තියනවා.
ඔබ විඳින සැප
ඒ වේදනා මාලාවයි.

ඔබ දුකෙන් ඉන්න වෙලාවට
ඔබ පසිඳුරන්ගෙන් හෝ මනසෙන් ලබන
උත්තේජන අනුව
ඔබේ කය තුළ ඔබට අප්‍රියජනක වූ
අමිහිරි තරංග මාලාවන් ඇතිවෙමින් තියනවා.
ඔබ විඳින සැප, ඒ වේදනා මාලාවයි.

ඔබ කයෙහි වේදනා ඇතිකරන උත්තේජන වල
අනිවාර්යයෙන්ම සුඛ හෝ දුක් වේදනා ඇති කරවන
නිශ්චිත ස්වභාවයක් නැහැ.

තාපයෙන් ඔබට වේදනා ඇතිවෙනවා.
පාන්දරට උණුසුම සැපයි.
දහවලට සිහිලස සැපයි.
මේ දෙකම තාපය නිසා ඇතිවෙන වේදනා.
පවතින තාපාංකය අනුව
අවට පරිසරයෙ උෂ්ණත්වයට සාපේක්ෂව
ඒ මොහොතෙහි
ඔබ තුළ ඇති වේදනා වලට සාපේක්ෂව
තාපයෙන් ඇතිවෙන වේදනාව
ඔබ සැපක් හෝ දුකක් ලෙස විඳිනවා.

වේදනා සුඛ නම්, මිහිරි නම්
ඔබේ ස්නායු වෙහෙසට පත්වෙන තුරු
ඒ වේදනා වල සිදු වෙන වෙනස දුර්වල වෙන තුරු
ඔබ ඒ වේදනා දිගින් දිගට විඳින්න කැමතියි.
ඒ වෙහෙස නිසා ඔබ අත් හරින අරමුණ
ඒ වෙහෙස පහවීමෙන් පසුවත්
නැවත නැවත ලබන්නට
ඔබේ හිත කැමතියි.

ඒ අරමුණ ඔබ සතු කරගන්නට ඔබ කැමතියි.
ඔබටම වෙන් කරගන්නට ඔබ කැමතියි.
ඔබත් ඒ අරමුණත් අතර
අදෘෂ්‍යමාන බන්ධනයක් ඇති වෙනවා.
මේ බන්ධනය නිසා
ඒ අරමුණ ඔබ අවට පවතින වෙලාවට
ඉන් තරංග නිකුත් නොවුණත්
එහි හිමිකාරිත්වය පවා
ඔබ තුළ මිහිරි සුඛ වේදනා ඇති කරනවා.
ඒ අරමුණ බිඳී ගියොත්, අහිමි වුණොත්
ඔබේ සැප දුකට හැරෙනවා.

පියේහි විප්පයෝගෝ දුක්ඛෝ.

සැබැවින්ම බැලුවොත්
ප්‍රිය වේදනාවන්ගේ වෙන්වීම,
ප්‍රිය වේදනාවන් අහිමිවීම දුකකි.

දුක ඇතිවෙන්නෙ ඒ විදියට පමණක් නොවෙයි.

ඔබ කයෙහි වේදනා ඇතිකරන උත්තේජන වල
අනිවාර්යයෙන්ම සුඛ හෝ දුක් වේදනා ඇති කරවන
නිශ්චිත ස්වභාවයක් නැහැ.

තාපයෙන් ඔබට වේදනා ඇතිවෙනවා.
පාන්දරට උණුසුම සැපයි.
දහවලට සිහිලස සැපයි.
මේ දෙකම තාපය නිසා ඇතිවෙන වේදනා.
පවතින තාපාංකය අනුව
අවට පරිසරයෙ උෂ්ණත්වයට සාපේක්ෂව
ඒ මොහොතෙහි
ඔබ තුළ ඇති වේදනා වලට සාපේක්ෂව
තාපයෙන් ඇතිවෙන වේදනාව
ඔබ සැපක් හෝ දුකක් ලෙස විඳිනවා.

වේදනා දුක්ඛ නම්, අමිහිරි නම්
මොහොතකින් ඔබේ ස්නායු වෙහෙසට පත්වෙනවා.
ඒ වේදනා වලින් සිදු වෙන වෙනස අමිහිරි නිසා
ඔබ ඒ වේදනා දිගින් දිගට විඳින්න අකැමතියි.
ඒ අප්‍රියතාවය නිසා ඔබ අත් හරින අරමුණ
මින් පසුවවත් නැවත ලබන්නට
ඔබේ හිත අකැමතියි.

ඒ අරමුණ ඔබෙන් ඈත් කරන්නට ඔබ කැමතියි.
ඔබෙන් හැකි තරම් දුරස් කරන්නට
ඔබ කැමතියි.
ඔබත් ඒ අරමුණත් අතර
අදෘෂ්‍යමාන බන්ධනයක් ඇති වෙනවා.
මේ බන්ධනය නිසා
ඒ අරමුණ ඔබ අවට පවතින වෙලාවට
ඉන් තරංග නිකුත් නොවුණත්
අවට ගැවසීම පවා
ඔබ තුළ අමිහිරි දුක්ඛ වේදනා ඇති වෙනවා.
ඒ අරමුණ බිඳී ගියොත්, අහිමි වුණොත්
ඔබේ දුක සැපට හැරෙනවා.

අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ.

සැබැවින්ම බැලුවොත්
අප්‍රිය වේදනාවන්ග්  හමුවීම,
අප්‍රිය වේදනාවන් හිමිවීම දුකකි.

මේ දෙවිදීයෙන්ම
අපි ඒ අරමුණු සමග සම්බන්ධ වෙනවා.

මේ දෙකෙන්ම මිදෙන්න හිතන පිරිස
මිහිරි හෝ අමිහිරි නොවන වේදනා ඇති කරන
නිශ්චිත අරමුණක් තෝරාගෙන
ඒ අරමුණට සිත එකඟ කරගෙන
තාවකාලිකව සැපෙන් හා දුකෙන් මිදී
සමාධියෙන් ජීවත් වෙනවා.

ඔවුන් සිත සමාධියෙන් පවත්වා ගත්තාට
කයට නොකඩවා තොරතුරු ලැබෙනවා.

ඕනෑම මොහොතක
අරමුණෙන් සිත ගිළිහුණ විටක
ඔවුන්ට යළි දැනෙන
සුඛ හෝ දුක්ඛ වේදනා නිසා
නැවතත් සැප හා දුක් විඳින්නට
ඉඩ තියනවා.

ඔබට සැබැවින්ම දුකක් වන්නේ
එක මොහොතකදි ඔබ විඳින
දුක්ඛ වේදනා පමණක් නොවෙයි.
ඔබ දිගින් දිගට පවත්වාගන්නට සිතන හෝ
දිගින් දිගට මග හරින්නට සිතන
ඕනෑම අරමුණකට ඔබ බැඳෙනවා.

දුක්ඛ වේදනා අප්‍රිය නිසාත්,
සුඛ වේදනා ප්‍රිය නිසාත්,
අදුක්ඛම සුඛ වේදනා ප්‍රිය නිසාත්
වේදනා මට්ටමෙන්
ඔබ අරමුණු වැදගත් කොට සලකනවා.

3, වේදනා පච්චයා තණ්හා
වේදනා නිසා බැඳීම් ඇතිවෙයි.

දුක්ඛ වේදනා අප්‍රිය නිසාත්,
සුඛ වේදනා ප්‍රිය නිසාත්,
අදුක්ඛම සුඛ වේදනා ප්‍රිය නිසාත්
වේදනා මට්ටමෙන්
ඔබ අරමුණු වැදගත් කොට සලකනවා.
ඒ අනුව ඒ අරමුණ ළං කරගන්නට හෝ
ඈත් කරන්නට , ඉවත් කරන්නට
ඔබ නැවත නැවත වෙර දරනවා.

4, තණ්හා පච්චයා උපාදාන
බැඳීම නිසා දැඩිව අල්ලා ගැනීම ඇතිවෙයි

දැන් මේ මොහොතෙහි
යම් අරමුණකට
ඔබේ ඇති ප්‍රිය හෝ අප්‍රියතාවයට අනුව
ඔබත් අරමුණත් අතර පරතරය
අඩුකරගන්නට හෝ වැඩි කරගන්නට
ඔබට අවශ්‍ය වෙනවා.

ඒ අරමුණ විසින් ස්වාභාවිකව ඇති කරන
වේදනා වලට ඇති බැඳීම නිසා
සිතින් අරමුණු ඇතිකරගෙන ඇති කරගන්නා
අමතර උප වේදනාවන් විඳින්නට හෝ
අමතර උප වේදනාවන් නොවිඳින්නට
අවශ්‍ය කටයුතු කරන්නට
ඔබ ඉදිරියටත්  පැවතිය යුතුයි.
මේ ක්‍රියාවලියෙන් එකතුවෙන
අමතර වෙහෙස නිවා ගන්නටත්
ඔබේ සිත හා කය පැවතිය යුතුයි.

මේ මොහොතෙහි ඇති වෙන අමතර වෙනස,
අමතර වෙහෙස, අමතර වේදනා නිසා
ඔබ තුළ රැස්වෙන කෙලෙස් ඔබට අමතර බරක්.
ඔබ කාලයක් වැයකොට
නිදහස් විය යුතු බරක්.
මානසිකව ඔබ අල්ලාගෙන සිටින අනාගතයත්
ශාරීරිකව හා මානසිකව සකස් වී
එක් රැස්වෙන අපිරිසිදු බවෙන් මිදෙන්න..
කෙලෙස් නසන්නටත්
ඔබ ඉදිරියට පැවතිය යුතුයි.
ඔබේ භවය දික් වෙනවා.

5, උපාදාන පච්චයා භව.
දැඩිව අල්ලා ගැනීම නිසා පැවැත්මක් ඇතිවෙයි.

මේ මොහොතෙහි බැහැරින් හා මනසෙන් ගන්නා
වර්තමාන තොරතුරුවලට අමතරව
අතීතයේ රැස්වූ කෙලෙස් නිදහස් වෙන්නට සැරසෙන විට
කයෙහි වේදනා ඇති වෙනවා.
මේ වෙනස්කම් පිළිබඳව සිහියෙන් සිටියොත්
කෙලෙස් වේදනා විදියට මතුවෙලා නිරුද්ධ වෙනවා.

ඔබේ ඉදිරි පැවැත්මට මූලිකව බලපාන්නේ
ඔබේ කය තුළ වේදනා මට්ටමෙන් සිදුවෙන
මේ වෙනස් කම් ගැන සිහියෙන් තොරවීමයි.
කයත්, වේදනාත් පිළිබඳව සිහියෙන් තොරවීම නිසා
අභ්‍යන්තර ක්‍රියාවලියට ඇති ප්‍රිය අප්‍රියතාවය මත
බාහිර අරමුණු අල්ලා ගැනීමයි.

ඔබ දුක හෝ සැප විඳින්නේ වේදනා නිසා
ඒ වේදනා පිළිබඳව සිහියෙන් හා
ඒ වේදනා වලට උපේක්ෂාවෙන්
වෙසෙන්නට ඔබට හැකි නම්
ඔබේ දුක කෙමෙන් නිවෙනවා.
ඒ ක්‍රියාවලිය
වෙනම විස්තර කළ යුතුයි.







No comments:

Post a Comment