20140730

සිත මුළු කය පිළිබඳවම සිහියෙන් පවතිද්දි....




අද පුතා මට කිව්වා,
"මම මුළු ඇඟ ගැනම සිහියෙන් හිටියා.
එතකොට ඇතුළට එබුණ තරුවක් වගේ
මට මගේ ඇඟ දැණුනා." කියලා.
ඔහු ඉඳලා තිබුණ ඉරියව්ව
පංචාශ්‍රයකට සමීපයි.
සරලව කිව්වොත්
ඔහුට මුළු කයම දැනුනා.
කුඩා කල ඔවුන් තුළ සිරුරට
සංවේදී බව වැඩියි.
වැඩිහිටියන් වෙද්දී
සිත අරමුණුවලට එකඟ කරද්දි
කය පිළිබඳ සංවේදී බව
කෙමෙන් කෙමෙන් අඩු වෙනවා.
බොහෝ දෙනෙකුට
තමන් සිත යොමු කරන දේ හැර
වෙනත් කිසිම දෙයක් දකින්න බැහැ.
ඔවුන් පහසුවෙන් ආවේගශීලී වෙනවා.
ආවේගශීලී වෙන විට
සංවේදී බව තවත් පටු වෙනවා.
වැරදි සිදුවෙන්නෙ ඒ වෙලාවටයි..

දින කිහිපයකට පෙර
අපේ පොඩි දෙන්නට
සරලව විනාඩි දෙක තුනකින්
සතර සතිපට්ඨානය විස්තර කළා.

අපි සිහියෙන් සිටිය යුතු දේවල්
හතරක් තියනවා.
පළමු වැන්න අපේ ශරීරය.
අපිට අපේ ශරීරය පවතින
ඉරියව්ව ගැන සිහිය තියෙන්න ඕන.
අපි ඇවිදිනවද,
හිටගෙන ඉන්නවාද,
වාඩිවෙලා ඉන්නවද,
සැතපෙනවද කියන
මූලික ඉරියව් හතර ගැන
සිහියෙන් සිටිය යුතුයි.

දෙවනුව
අනික් ඉරියව් වෙනස් වීම් ගැන
සිහියෙන් සිටිය යුතුයි.
මෙහෙම ඉන්න පුරුදු වෙන විට
අපට කයෙහි වෙනස් වීම දැනෙනවා.
සීතල, උණුසුම, ආදී වේදනා
දැනෙන්න පටන් ගන්නවා.

වේදනා දැනෙන කොට
අපේ හිත වෙනස් වෙද්දි
කය වෙනස් වෙන විදිය දැනෙනවා.

මේ තුනම දැනෙන විට
අපේ සිතිවිලි අනුවත්
කය වෙනස් වෙන විදිය පෙනෙනවා.

මේ හතර ගැන සිහියෙන් ඉන්න.

ඔවුන්ට කියද්දි
මා කිවූ වචන වෙනස් ඇති..
ඒත් අදහස් වල වෙනසක් නැහැ.

ඊයෙ රෑ පුතා නිදා උන්න
ඉරියව්ව දැක්කාම
මම බිරිඳට කිව්වා
එදා කායානුපස්සනාව ගැන කීදේවල්
පුතාට දැනිලා වගෙයි කියල.
ඔහු වෙනදාට
නින්දෙන් බොහෝ සේ දඟලන කෙනෙක්.
ඔහුගෙ සිරුර උපන් කාලෙ ඉඳලම
ඉතාම ක්‍රියාකාරීයි.
කිසියම් සසර හුරුවක් වෙන්න පුලුවන්.

ඊයෙ රාත්‍රියේ
ඔහු ඉතාම සංවර ඉරියව්වකින්
නිදා සිටියා.

උදේ මුලු සිරුරම ගැන
සිහියෙන් සිටි බව කිව්වාම
ඒ අවස්ථාව හොඳින් ගැලපුණා.
අද ඔහුට පහවූ
මුත්‍ර ප්‍රමාණයත් අධික බව ඔහු කිව්වා.

සිත මුළු කය පිළිබඳවම
සිහියෙන් පවතිද්දි සිතට විවේකයි.
සිත විවේකයෙන් නිසා
මොළයත් ස්නායු පද්ධතියත්
විවේකයෙන් පසුවෙනවා.
විවේකයක් ලද විටකදි
කයෙහි සිදු වී ඇති වෙනස්කම්
යථාතත්වයට පත් කරගෙන
සිතත් කයත් පිරිසිදු වෙනවා.
ඒ ක්‍රියාවලියෙදි ඉවත්වෙන
ජෛව රසායනික අපද්‍රව්‍ය
ලේ වලට එකතු වෙලා
මුත්‍ර මගින් පිට වෙනවා.

විපස්සනා කරන අයගෙ 
පුහුණුවක් පවතින කාලෙදි
මුත්‍රා පහවීම වැඩි වෙනවා.
නින්ද අවශ්‍ය ප්‍රමාණය අඩුවෙනවා.
පුතා ඊයෙ රෑ
එක විතර වෙන තුරු අවදියෙනුත් හිටියා..
වතුරත් ඉල්ලගෙන බිව්වා කියලා
බිරිඳ කිව්වා.

ඔහුට සසර හුරුවකුත් ඇති.

ඉතාම සරල විදියට බැලුවොත්
අපි හිතන එක නතර කරළා
සිහියෙන් හිටියොත් අපිට සිදු වෙනදේටයි,
විපස්සනා කියන්නෙ.

මේ මානසිකත්වයට එන්න
කෙනෙකුට අපහසු වෙන්නෙ
නිරන්තරයෙන්ම හිත් හිතා ඉන්න
පුරුදු හිතට මොහොතක් නැවතුණාම
මැරුණා වගේ දැනෙන නිසයි.
එහෙම නැත්නම්
හිත නතරවීමෙ විවේකය නිසා
නීවරණ මතුවෙන නිසයි.

උදේ පාන්දරට වෙලාසනින් අවදි වුණොත්
අපට දැනෙන කායික හා මානසික
අපහසුතාවයන්ට මූලික හේතුව
රාත්‍රිය පුරා
කයත් ස්නායු පද්ධතියත් මොළයත්
නින්දෙදි කරගනිමින් පවතින
පිරිසිදු කිරීමෙ ක්‍රියාවලිය
තවමත් සිදු වෙමින් පවතින නිසයි.

සතුන් දවස පුරා
හිතන්න කතා කරන්න නොවෙහෙසෙන නිසා
උන්ට නින්ද ප්‍රමාණවත්.

මිනිසාට ඒ ප්‍රමාණය මදි.

නිතර හිත වැඩකරන,
නිතර හැඟීම්බරවෙන,
කෝපයට පත්වෙන, කාමයට බර,
කෑමට කෑදර අයට
නින්ද හොඳටම මදි.

ඒ පුරුදු වලට මූලික හේතුවත්
කායිකව හා මානසිකව එකතු වෙන
ජෛව රසායනික අපිරිදුතාවයන් නිසා
කය විවේකය සෙවීමයි..

මේ ජෛව රසායනික වෙනස් කම් වලින් මිදිලා
කයත් මනසත් යථා තත්වයට ගන්න
සිහියෙන් හා උපේක්ෂාවෙන් කරගත යුතු
කායික මානසික විශෝධනය
අනිකුත් සතුන් වගේම
මිනිසා කරගන්නෙත්
නිදාගන්න සුළු කාලය තුළයි.

නින්දෙන් අවදි වුණ වෙලාවට
මුලු කය ගැනම සිහියෙන්
දැනෙන දේට උපේක්ෂාවෙන්
විනාඩි කිහිපයක් හිඳීමෙන්
සිතටත් කයටත් සහනයක් ලැබෙනවා.

No comments:

Post a Comment