සාමාන්ය පුහුදුන් පුද්ගලයාගේමේ මඩ වතුරෙන් පැහැදිලි වතුර ලබා ගන්න
කෙලෙස් සහිත හිත
මඩ වතුර වීදුරුවක් වගෙයි.
ක්‍රම දෙකක් තියනවා.
බුද්ධ පූර්ව සමයේ අටවෙනි ධ්‍යානය දක්වා
හිත සමාහිත කරගත් ඉරිසිවරුන්
පළමු ක්‍රමය වන සමථ භාවනාව වැඩුවා.
අටවෙනි ධ්‍යානය තෙක් සමාධිය වැඩූ
සිදුහත් තවුසාණෝ ඒ සමාධිය මිථ්‍යාවක් බව
වටහාගෙන තවත් දුරට ගවේෂණය කොට
විදර්ශනාව සොයා ගත්තා.
සාමාන්‍ය පුහුදුන් පුද්ගලයා
කෙලෙස් නිසා අඳුරුවුණ
යටි හිතට සාපේක්ෂව
තමන්ගෙ හිතේ මතුපිට තලය
පිරිසිදු තත්වයකින් පවත්වගෙන
ජීවිතේ ගත කරනවා.
ඔහුට
යම් දුරකට
ශීලය උපකාර වෙනවා.
කාමය, දුක, තරහ, බය, ආදී
කෙලෙස් මඩ කැලැත්තුණාම
සිල් බිඳෙනවා.
කැළඹුණ, අපිරිසිදු හිතින්,
ඔහු හිතන, කියන, කරන දේවල්
ඔහුටත්, අනුන්ටත් හානිකරයි.
මේ සත්‍යතාවය දකින කෙනෙක්,
කෙලෙස් වලින් හිත මුදා ගන්න
උනන්දු වෙනවා.
හිතේ කෙලෙස් මඩ
පතුලට තැන්පත් කරන ක්‍රම
සමථ භාවනා වැනි ක්‍රම
උපයෝගී කරගෙන
හිතේ කෙලෙස් මඩ
හිත පතුලට තැන්පත් කරලා
හිත ටිකක් පිරිසිදු කර ගන්නවා.
හිත පුළුල් වෙනවා.
කරන කියන දේ
පහසුවෙන් කරන්න
හිතේ තැන්පත් කම උදව් වෙනවා.
සමාජය ඔවුන්ට යහපත් අය විදියට
ගරු බුහුමන් කරනවා.
ඒ වුණත්,
ඔහුගෙ හිතේ කෙලෙස් මඩ,
කලින් විදියටම තියනවා.
මොකක් හරි වුණ ගමන්
කැලැත්තෙනවා.
මඩ වතුර වීදුරුවක
මඩ පතුලට තැන්පත් කරලා
වතුර පිරිසිදු කරන්න පුලුවන්…
ඒත් මොකක් හරි වුණ ගමන්
කැලැත්තෙනවා.
රාග, ද්වේශ, මෝහ කෙලෙස් වලින්
පුහුදුන් හිත කැළඹිලා
සාමාන්ය කෙනෙක් වගේම
ඔහුත් වරදෙ බැඳෙනවා.
මේ සත්‍යතාවය දකින කෙනෙක්,
විදසුනට යොමුවෙනවා.
කය සහ කයේ වෙනස්වීම් [වේදනා],
සිත සහ සිතේ වෙනස් වීම් [ධම්ම]
පිළිබඳව සිහියෙන් පසුවෙනකොට
හිතේ කෙලෙස් වලට
මතුවෙන්න ඉඩ ලැබෙනවා.
මතුවෙන කෙලෙස්
උපේක්ශාවෙන් දකිනවා.
රාග, ද්වේශ, මෝහ කෙලෙස්,
කයේ වේදනා විදියටත්,
සිතේ නීවරණාදී ධර්මතා විදියටත් ඉපදිලා,
උපදින උපදින කෙලෙස් නිරෝධ වෙනවා.
කෙලෙස් නිරෝධ වෙලා
සිත පිරිසිදු වෙනවා.
සම්මා සමාධිය වැඩෙනවා.
හිතේ මතුවෙලා නිරෝධ වෙන කෙලෙස්
උපේක්ශාවෙන් දකින්න හිත පුහුණු වෙන නිසා
සාමාන්‍ය ජීවිතේදි කෙලෙස් මතුවුණත්
ලබා ගත්ත සමාධිය
පහසුවෙන් බිඳෙන්නෙ නැහැ.
රහතන් වහන්සේ
කෙලෙස් සපුරාම නසල තියන නිසා
සමාධිය ස්ථාවරයි.
මුගලන් මහ රහතන් වහන්සේට
පිරිනිවන් පාන්න හේතුවෙන තරමට
ඇට කුඩු වෙන තුරු පහර කාළත්
සමාධිය බිඳුණෙ නැහැ.
විදසුන් වඩන්නාට
මුළු ජීවිතයම…,
තමන් හිතන, කරන, කියන,
තමන් තුළ සිදුවෙන හැමදේමත්,
තමන්ට බැහැරින් සිදුවෙන හැමදේමත්,
විදසුන් ඇස තියුණු කරවන
උර ගල් බවට පත් වෙනවා.
- සමථ භාවනාවෙන් රාගය ප්‍රහීණ වෙයි.
විදර්ශනාවෙන් අවිද්‍යාව ප්‍රහීණ වෙයි.-අංගුත්තර නිකාය – දුක නිපාතය -බාල වග්ග තතියො
ශරීරයේ ඇති වෙන වේදනාවන් විදියටයි.
සාමාන්‍ය ජීවිතේදි උණත්
තරහ, දුක, බය, ලැජ්ජාව ඇතිවෙන කොට
ශරීරයෙ අදාල සංවේදනා ඇතිවෙනවා.
අපි කරන්නෙ
එක්කො ඒවා මග හරිනවා,
එවයින් පැනල යනවා,
නැත්නම් ප්‍රතික්‍රියා දක්වලා,
අලුත් ප්‍රශ්න ඇති කර ගන්නවා.
වේදනාවන්ට උපේක්ශාව අඩු කෙනෙකුට
සමථය වඩලා විදර්ශනාවට එන එක පහසුවක්.
ඒත් ගමන පහසුවෙන් යන්න
සමථ වාහනය සොයාගන්න බොහෝ දෙනා
ඒ වාහනයෙන් යද්දි
ලෝකයාගෙන් ලබන ලාභ, සත්කාර,
ගරු බුහුමන් වලට වහ වැටිලා
යන්නෙ කොහේද කියන එකත් අමතක වෙලා.
ධ්‍යානත් නැති කරගෙන නිවන් මගත් අවුරගෙන,
අන්තිමට වාහනෙත් පෙරළගෙන
අපාගත වෙන විදියෙ
පව්කම් වලට පෙළඹෙනවා.
දැහැන් පිරිහිලා අතරමං වෙලා
නින්දා විඳින සමථයානිකයින්
අද සමාජයෙ සුලබයි.
සමහරු දැහැන් පිරිහුණාම,
සාමාන්‍ය පුහුදුන් මිනිසාටත් වඩා
ප්‍රපාතයට වැටෙනවා.
බුදුන් වහන්සෙ
සමථය වැඩීම අනුමත කළාට,
උන්වහන්සෙගෙ ඉගැන්වීම් තුල
සමථය “ඉගැන්වූවාද” කියන එක
සැක සහිතයි.
මේ අනුව බලන කොට
සමථ වඩන කෙනා තුළ
ප්‍රබල ශීලයක් අවශ්‍යයි.
ප්‍රබල ශීලයක් නැතිව
සමථ වඩන බොහෝ දෙනා
නොමග යන හැටි
නිතර දකින්න පුලුවන්.
විදසුන් වඩන කෙනාගෙ
අවිද්‍යාව එමගින්ම දුරුවෙලා
ලබන ප්‍රඥාව තුලම
ශීලයත්, සමාධියත් තියන නිසා
ගමන හෙමින් වුණත්
සපුරාම ආරක්ෂිතයි.
විදසුන් වැඩීමෙන්
එදිනෙදා ඇතිවෙන ප්‍රඥාව
එදිනෙදා ජීවිතයට හොඳටම ප්‍රමාණවත්.
අලුත් ගැටලු එනකොට
ඒ ගැටලු එක්ක ගැටීමෙදි,
සිහියත්, උපේක්ශාවත් දියුණු වෙලා,
එවැනි ගැටලු යළි ඇති වෙනකොට
ඊට වඩා සාර්ථකව
මුහුණ දෙන්න පුලුවන් වෙනවා.
ඒ ප්‍රඥාව
විදසුනෙන් තියුණු වෙවී,
සසර පුරා අපත් සමග යන
අලුත් ඇසක්.
සසර ගමන පුරා
මෝහයෙන් අඳුරු නොවී
රාගයෙන්, ද්වේශයෙන් කිලිටි නොවී
ලෝකය දිහා බලන්න
විශේෂ දර්ශනයක් ඇති
තියුණු ඇසක්,
“විදර්ශනා”.
No comments:
Post a Comment