20141012

සිත හා කය පිරිසිදු කරන විපස්සනා

Hima Kalhara 
[[[විමුක්තියට පිවිසීමේ පළමු පියවර තමයි සතිපට්ඨානය 
එනම් සිහිය පිහිටුවීම තමන්ගේ සිත තුල කය තුල සිහිය පිහිටවාගැනීමට පහසු තරුණ ස‍ම‍යේ පමණයි. මොකද ඔබ කියපු දුබල සමය කියන්නෙ පනාව ඔලුවේ ගහගෙන පනාව හොයන කාලය. 
ඒ කාලෙ සිහිය දියුණු කිරීම ප්‍රායෝගික නැහැ. ]]]]


බුදු දහමෙදි
කය අත්හැර ධර්මය දකින්න බැහැ.

තමන්ගෙ කයෙහි සිතෙහි වෙනස් වීම් නොදැනෙන
මෝහයට පත් වීම දුක නිවීම නොවෙයි.
බොහෝ දෙනෙක් මෝහයට පත් වීම
නිවන ලෙස අත්දකිනවා.

ඔවුන්ගෙ උපෙක්ෂාව
පදනම් වෙන්නෙ අවසිහිය මතයි.

අඳ ගොළු බිහිරි කෙනෙකුට තියන උපේක්ෂාව
අවසිහිය මත පදනම් වූ මිථ්‍යා උපේක්ෂාවක්.

උපේක්ෂාවට අභියෝගයක් නැත්නම්
ඒ මෝහයයි..
ඔහුට දැනෙන දෙයක් කයෙහි නැත්නම්
ඔහු තුල තියෙන්නෙ මෝහයයි..

රහතන් වහන්සේලා
ඉතාම සංවේදී විය යුතුයි.
කිසිදු වෙනසක් නිසා
දුක් නොවිඳින නමුත්
කයෙහි වෙනස් වීම් පිළිබඳ උපරිම සිහියත්
ඒ වෙනස් වීම් වලට උපරිම උපේක්ෂාවත් ඇති
රහතන් වහන්සේලාට පවා
කයට ගැටළු ඇති වෙනවා.
කය බිඳීම නිසා
මුගලන් රහතන් වහන්සේට
පිරිනිවන් පාන්න සිදුවුණා.

පුහුදුන් අයට
කය ඉතා ප්‍රබලව සිතට බලපානවා.
සමහර අයට සිතක් නැති තරම්
කයට වහල් වෙනවා.
සිත අපිරිසිදු බව ගැටළුවක් වුණ කෙනෙකුටත්
මෝහයට පත් වීමටත් කැමති නැත්නම්
කය අත්හැර සිත පිරිසිදු කිරීමක්
කරගන්න බැහැ.

සිත ශරීරය පුරාම පවතිනවා.

විශේෂයෙන්ම
මොළයත් ස්නායු පද්ධතියත් ආශ්‍රිතව
සිත පවතිනවා.
කායික උත්තේජන නිසා
සිත ක්‍රියාත්මක වෙනවා.
සිත දක්වන ප්‍රතිචාර නිසා
කය වෙනස් වෙනවා.

කායික උත්තේජන මගින්
සිතෙහි ඇති වෙන
රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන්
සිත අපිරිසිදු වෙද්දි
කය තුළත් ඒ අපිරිසිදු වීම සටහන් වෙනවා.
විශේෂයෙන්ම
මොළයත් ස්නායු පද්ධතියත් ආශ්‍රිතව
සිතෙහි වෙනස් වීම් රැඳෙනවා.

ස්නායුවක් තුළින් මොළයට යන පණිවිඩ
ගමන් කරන්නෙ ජෛව රසායනික වෙනසක් මගිනුයි.
ජෛව රසායනිකය කලින් තත්වයට අරන්
ස්නායුව සහ මොළයෙ අදාළ පෙදෙස
නිදහස් කරගන්න
කාය චිත්ත විවේකය අවශ්‍යයි.

සාමාන්‍ය කෙනෙකුගෙ
සිත නොකඩවා ක්‍රියා කරන නිසා
කය විවේකයෙන් පසු වුණත්
සිත ක්‍රියා කාරීයි.
නින්දෙදි වුණත් විවේකය ප්‍රබල නැහැ..
ඒ විවේකය ලබා දෙන්න
විපස්සනා ක්‍රමවේදය සමත් නිසා
කාය චිත්ත පරිවර්තනය
ක්‍රියාත්මක වෙනවා.

නිරන්තර ක්‍රියාකාරිත්වය වගේම
අනවශ්‍ය ආවේගත්
ආවේග වල ප්‍රබලතාවයත්
කායික ව්‍යුහය දූෂ්‍ය කරනවා.

සිතට එන දුකක්, තරහක්, බයක් නිසා..
සිහිය නැති වෙනවා., ක්ලාන්ත වෙනවා.
කෙනෙක් මැරෙන අවස්ථාත් තියනවා.
ඉතා සියුම් ආවේගයකදි වුණත්
මොළයත් ස්නායු පද්ධතියත් පිරිහෙනවා.

වයසට යන කෙනෙකුගෙ සිහිය දුර්වල වෙන්න
මූලිකම හේතුව
මොළයත් ස්නායු පද්ධතියත් වෙනස් වීමයි.
ඒ විද්‍යුත් ජාලය වෙනස් වීමෙන්
පණිවිඩ හුවමාරුව දුර්වල වෙනවා.

සතර සතිපට්ඨානය වඩද්දි..
සිහිය දියුණු වෙද්දි
කායික විද්‍යුත් ජාලය පිරිසිදු වීමත් සිදු වෙනවා.

විපස්සනා වඩන කෙනෙකුගෙ
මොළයෙත් ස්නායු පද්ධතියෙත්
එකතු වෙලා තියන
රාග, ද්වේශ හා මෝහ සංස්කාර
සිතුවිළි, හැඟීම්, හෝ සංවේදනා විදියට
මතු වෙවී නිරුද්ධ වෙනවා.

වය ධම්මා සංඛාරා
උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුරුජ්ඣන්ති..

සංවේදන මට්ටමේදිම දකිමින්
උපේක්ෂාවෙන් විසීමෙන්
සිත නිසා අපිරිසිදු වුණ කය
සිත හරහාම පිරිසිදු කරගැනීම
විපස්සනා තුළින් සිදු වෙනවා..

එකායනෝ මග්ගෝ සත්තානං විසුද්ධියා.

පනාව ඔලුවේ ගහගෙන පනාව හොයන කාලය කියල
හිම කල්හාර ඉතා නිවැරදිව කියූ ලෙසට
වයසට යන විට
සිහිය පිහිටුවා ගැනීම අපහසුයි..

තමන් යන මාර්ගය කුමක් වුවත්
ආවේග වලින් දුක් විඳීම අඩු වෙනවා නම්..
සෝතැවුල්, දුක් දොම්නසින්
දුක් විඳීම අඩුවෙමින් යනවා නම්
සිහිය සහ උපේක්ෂාව ''දෙකම'' දියුණු වෙනවා නම්
මග නිවැරදියි.

එහෙම නැතුව
දුක වැඩි වෙනවා නම්
සිහිය හා උපේක්ෂාව අඩු වෙනවා නම් හෝ
කය ගැන සිහිය නැතුව
උපෙක්ෂාව වැඩි වෙනවා නම්
අවසිහියෙන් ජීවත් වීම හෝ
දුක් විඳීමේ මගින් බැහැරව
නිවැරදි මග සොයාගත යුතුයි..

විපස්සනා එකම මගයි.

No comments:

Post a Comment