20140322

සිතුවිලි වල පදනම වේදනාවයි.


සිතේ මතු වන
සෑම ධර්මතාවයකටම අදාළව
කයෙහි වේදනාවක්ද ඇත.

සබ්බෙ ධම්මා වේදනා සමො සරණා

ඔබට දැණුනත්
ඔබට නොදැණුනත්
සිතේ මතු වන
සෑම ධර්මතාවයකටම අදාළව
කයෙහි වේදනාවක්ද පවතිනවා.

සිතේ මතු වන
තණ්හා, මාන, දෘශ්ඨි
පංච නීවරණාදී
සෑම ධර්මතාවයකටම අදාළව
කයෙහි වේදනාවක් පවතිනවා.

නීවරණයක් හිතේ දැක්කට
නීවරණයෙහි මුල තියෙන්නේ
කයෙහි වේදනාවක් විදියටයි

මුලින්ම වේදනාව
සිතුවිලි වලට කලින්
චිත්තයට ආරෝපණය වෙනවා.
චිත්තයෙහි වෙනසක් සිදුවෙනවා…
සරාග, සදෝස, සමෝහ… ආදී වශයෙන්.

චිත්ත මට්ටමේදි පවතින්නෙ
වචන නැති හැඟීමක් විදියට.

මනො පුබ්බංගමා ධම්මා.

සිතුවිල්ලකට පෙරටුව
සරාග, සදෝස, සමෝහ… ආදී වශයෙන්
සිත-චිත්තය පවතිනවා.

කෙනෙක් තව කෙනෙකුට
දොස් නගන වෙලාවෙදි
දෙවැන්නාගෙ
ඇස් දෙකෙන් හෝ කන් දෙකෙන්
ඒ තොරතුර ගලා යනකොටම
විඤ්ඤාණය එම තොරතුරට
වර්ණයක් දෙනවා.
“මූ මෙහෙම සෙනග ඉස්සරහ
උඹට දොස් කියනකොට
උඹට මාර සවුත්තුවනෙ බං”
විඤ්ඤාණය කොඳුරනවා.

ඒ මොහොතෙහි
මානය මුල්වූ
1, ව්‍යාපාදය නම් ධර්මයත්
2, ද්වෙශය සහිත චිත්තයත්
3, දුක් වේදනාවක් වන
කායික වේදනාවකුත්
ඔහු තුළ ඇතිවෙනවා.

ද්වේශයෙන් හැසිරෙන් විටක
තම කයට සිත යොමු කළොත්
මේ වේදනාව දැනෙනවා.

ඒ වේදනාවෙන් වියරුවී
සතෙකු මෙන් වහා ක්‍රියාත්මක වී
ප්‍රති ප්‍රහාරය දෙන නිසා
තමා තුළ සිදුවෙන වෙනස්කම්
කිසිවක් ඔහුට පෙනෙන්නේ නැහැ.

කයෙහි වේදනාව
චිත්තයට නැගිලා
සිතුවිල්ලට, වචන වලට,
ක්‍රියාවට නැගෙන්නෙ අන්තිමටයි.

සමාජයෙදි
මිනිසුන් හැමවිටම
සිතින් කයින් වචනයෙන්
ප්‍රතික්‍රියා කරන්නෙ නැහැ.
මොනවා හරි හේතු මත
ඔවුන් තමන්ගෙ හිත නැතත්
කය හා වචනය
දමනය කර ගන්නවා.

සාමාන්‍ය කෙනෙකුට
වචන සහ ක්‍රියාව
ශීලයෙන් පාලනය කරගන්න පුලුවන්.

සිතුවිලි
සමථ ක්‍රම වලින්,
සිත වෙනතක යොමු කිරීමෙන්,
සිත වෙන අරමුණකට යොමුකිරීමෙන්
වෙනත් දෙයක් නැත්නම්..මත් පැනෙන් හෝ
යටපත් කරගන්න පුලුවන්.

ගහක අතු පෑස්සට ගහත්, මුලත්
එහෙමම දුක් විඳිමින් තියනවා.
ඉඩ ලද විගසින්
යලි යලිත් අතු හැදෙනවා.

මිනිසා විඳින දුක,
ක්‍රියා, වචන හා සිතුවිලි වලට විතරක්
සීමා වෙන්නෙ නැහැ.

හැම කෙනෙක්ම
උමතු නොවී ඉන්නෙ,
තාවකාලික වියරුවෙන් මිදී ඉන්නෙ
තමන් ඇබ්බැහි කරගත්
මොකක් හෝ
සිතුවිලි නිවන මෙවැනි ක්රමයක්,
නැත්නම් ක්‍රම කීපයක් නිසයි.

එතනින් එහාට..
සිතේ ගැඹුරට, මුලට යන්න
ඒ ක්‍රම වලින් බැහැ.

මේ ක්‍රම
බුදුන් වහන්සෙ පහළ වනවිටත්
ලෝකයේ තිබුණා.
අදටත් වඩා
සියුම් ක්‍රමත් තිබුණා.

බුදුන් වහන්සේ
ආලාර කාලාම උද්දක රාම පුත්ත ලඟදි
මේ අති සියුම් ක්‍රම වලත්
කූටප්‍රාප්තියට පත් වුණා.

සිදුහත් තවුසාගේ
හිතේ දුක නිවුණා.

හිතේ දුක නිවුණට
දුක නැති වුණේ නැහැ.

එතැන් පටන් උන් වහන්සෙ
ඒ සමාධියෙන් තමා දෙස
බලා සිටියා.
දින ගණන් තිස්සේ,
ළඟට වැටෙන ගෙඩියක්,
කොළයක් අහරට ගනිමින්
හුනස්නෙන් නොනැගී
තමන් දෙස බලා සිටියා.

කයට සැප දීමෙන් වගේම,
කයට දුක් දීමෙනුත්
සත්‍යයට නුවණැස අන්ධ වෙන බව
උන් වහන්සේ වටහා ගත්තා.
ශරීරයෙහි පැවැත්මට අවශ්‍ය පමණ
ආහාර ගැනීමට පටන් ගත්තා.

කයත්, කයෙහි ඇති වන වෙනස්කම්
එනම් වේදනාත් නොසලකා හැර
සිතට විමුක්තියක් ලද නොහැකි බව
උන් වහන්සේ පසක් කළා.

කාය, චිත්ත, වේදනා, ධම්ම යන
හතරම එකවර ” සමස්තයක් විදියට”
තමා තුළ දකින විට
ඒ විශේෂ දැක්ම නිසා
මේ මොහොත
දුකෙන් තොරව ගතවෙන බව
උන් වහන්සේට පෙණුනා.

එය පෙර නොඇසූ විරූ ධර්මයක්.

සත්වයා දුක් විඳින්නේ
සමස්තයක් ලෙසයි.
කයට දුකක් පැමිණි විට සිතත්
සිතට දුකක් පැමිණි විට කයත්
දුක් විඳිනවා.
නිර්වින්දනයෙන් මේ බැඳීම
තාවකාලිකව බින්දත්
දුක නැවතත් එනවා.

දුකෙන් මිදීමේදී
සිත මෙන්ම
කයත් දුකෙන් මිදිය යුතුයි.

සිතෙහි වෙනස්කම්
තවකාලිකව නතර කරගෙන
“නිසල සිතක්” ඇති කරගෙන
ජීවත් වුණාට
කය සහ කයට සම්බන්ධ වෙන
සිතේ සියුම් තලය
තමා අවට සිදු වෙන දේට
නොකඩවා ප්‍රතික්‍රියා දක්වනවා.

නීවරණ මතු නොවන විදියට
දවල් කාලයේ
සිත නිසලව පවත්වා ගන්නා අය
රාත්‍රියේදී හෝ
විවේකයක් ලද විටක
ථිනමිද්ධයට යටත්ව
නින්දට වැටෙනවා.
ඔහුගේ නින්ද ඉතා ගැඹුරුයි.

ඔහු සිතේ අනෙක් නීවරණ
උපක්‍රම ශීලීව
යටපත් කරගෙන හිටියාට
ඒවා කයත් වේදනාත් මට්ටමෙන්
ඔහු නොදැනුවත්ව
ක්‍රියාත්මක වෙනවා.

කයෙහි සිදුවෙන දේ දකින්න
ගොරෝසු හිතකට නොහැකි වුණාට
සිතෙහි සිදුවෙන හැමදේම
පටන් ගන්නෙ කයෙන්.

සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා.

මේ සියුම් ක්‍රියාවලිය දකින්න
හිත සියුම් කරගන්නත්,
හිත තියුණු කරගන්නත්,
අපට තියෙන්නෙ එකම මාර්ගයයි.

බුදුන් වහන්සේ
ලොවට හඳුන්වා දුන්
විදසුන පමණයි.
කයත්, වේදනාත් නොදකින තුරු
විදසුනක් නැහැ.

කාය, චිත්ත, වේදනා, ධම්ම යන
හතරම එකවර
” සමස්තයක් විදියට”
තමා තුළ දකින විට
ඒ දැක්ම විදසුන නමින්
හඳුන්වනවා.

සම්පජානෝ සතිය එයයි.

කාය, චිත්ත, වේදනා, ධම්ම යන
හතරම එකවර
” සමස්තයක් විදියට”
තමා තුළ දැකීමයි.

කයත් වේදනාත් දකින කෙනෙකුට
පහසුවෙන් හුස්ම පෙනෙනවා.
තමන්ගෙ ඉරියව් දැනෙනවා.
තමන්ගෙ සිත සියුම්ද කියා
විමසා බලන්න හොඳ මිනුම් දණ්ඩක් ඒ.

පහසුවෙන් හුස්ම පෙනෙන්නෙ නැත් නම්.
තමන්ගෙ ඉරියව් දැනෙන්නෙ නැත්නම්….
ඒ හිත ගොරෝසුයි.

හිත සියුම් නම්, තියුණු නම්,
සම්මා සමාධිය ඇත්නම්
පහසුවෙන් හුස්ම පෙනෙනවා
තමන්ගෙ ඉරියව් දැනෙනවා…

සමථය මගින් හිත සියුම් කර ගත් කෙනෙක්
ඒ සමාහිත, තියුණු සිතෙන්
කයත්, වේදනාවත් දකින්න උත්සාහ කරන විට
තමා මෙතෙක් යටපත් කරගෙන සිටි
නීවරණ මතු වෙනවා.
කයෙහි වේදනා මතුවෙනවා.
දුර්වල සිත් ඇති අය
නැවත සමථයට වැටෙනවා.

බොහෝ විට සමථයට යොමුවන්නේ
සුරතලයට හැදුණු වැඩුණු
දුක් නොවිඳ ළමා විය ගතකල
සුරතලුන්.

එසේ නැත්නම් කුඩා කළ
පමණ ඉක්මවා දුක් විඳි කෙනෙක්.

අත්තකිලමථානුයෝගයත්,
කාමසුඛල්ලිකානු යෝගයත්
ඇසුරු කරන අය
පහසුවෙන් සමථයට වැටෙනවා.
මත් පැනට ගොදුරු වෙනවා.

විදසුනට යොමු වුණත්
එහි රැඳී ඉන්නට
ඔහුට ශක්තිය නැහැ.
යළි පුරුදු මගට නැමෙනවා

ඒත් විදසුනට ශ්‍රද්ධාව ඇතිව
නොකඩවා වීර්ය වඩන තැනැත්තා තුළ
කෙමෙන් කෙමෙන් උපේක්ෂාව වැඩෙනවා.
උපේක්ෂාව දියුණු වෙනකොට සිහිය
තවත් වැඩෙනවා.

විදසුන් වඩන්නා
නීවරණ යටපත් කරන්නට
වෙර දරන්නේ නැහැ.
ඔහු සිතේ පවතින නීවරණ පිළිබඳව
කයෙහි ඇති වේදනා පිළිබඳව සිහියෙන්
සිතේ පවතින නීවරණ වලට
කයෙහි ඇති වේදනා වලට උපේක්ෂාවෙන්
තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යනවා.

එදිනෙදා අත්දැකීම් වලදී
සාමාන්‍ය පුද්ගලයෙකු තුළ
සිදු වෙන වෙනස්කම්
ඔහු තුළත්  එසේම සිදු වෙනවා.
එහෙත් ඔහු ඒ වෙනස් කම් වලට
උපේක්ෂාවෙන් වෙසෙන්නට
විදසුනෙන් හුරු වී ඇති නිසා
ඔහුගේ සමාහිත බව
බිඳෙන්නේ නැහැ.

ජීවන ගැටලුවකදී
ඔහු විඳින දුක
ඔහුට රහසක් නොවන නිසා
ඔහු අනෙකා විඳින දුක දන්නවා.
තමා මෙන් සන්සුන්ව හැසිරෙන්නට නොදන්නා
අනෙක් පුද්ගලයා ඔහු දකින්නේ
කරුණාවෙන්.

සාමාන්‍ය ප්‍රඥාවෙන් යුත්
මධ්‍යස්ථ සිතින් යුත් අයත්
යම් පමණකට
මේ අයුරින් ජීවත් වෙනවා.
ඒත් ඔහුගෙ පරාසය සීමිතයි.
ඒ පරාසය පුළුල් තැනැත්තා
ජීවිතයෙ අන්ත වලට නොගොස්
සමබරව වෙසෙනවා.
ඔහුට විදසුන අවශ්‍ය වෙන්නෙ
ඒ ශක්තිය දියුණු කරගන්නයි.

සමාජයෙන් පැන ගොස්
තාවකාලිකව
සමථය වඩා සිතුවිලිවලින්
සිත පිරිසිදු කරගෙන සිටින්නාට
විදසුන මගින්
සාමාන්‍ය සමාජයට
යළි පිවිසෙන්නට
වරම් ලැබෙනවා.

එමෙන්ම
තමන් දන්නා උපක්‍රමයෙන්
සිත නිවා ගන්නා තුරු
මෙතෙක් ඔහු විඳි දුක් පවා
නොවිඳ ජීවත් වෙන්නට
අවස්ථාව ලැබෙනවා.

කළ හැකි නම්…..
මෙලොව වසන ඕනෑම සත්වයෙකුට
ජීවත් විය හැකි අතිශයින්ම සරල ජීවන ක්‍රමය
විදසුනයි.

මන්ද ඔහු තමා තුළ සිදුවන සියල්ල
සිහියෙන් දකින නමුදු
තමා තුළ සිදුවන සියල්ලට
උපේක්ෂාවෙන් වෙසෙන නිසා
මේ මොහොත දුකෙන් තොරව ගත කරමින්
මතුවටද දුකට හේතුවෙන
කිසිවක් නොකරන බැවිනි.

ඔහු මෙසේ දිවි ගෙවන විට
මෙතෙක් ඔහුගේ මොහොතක දුක
පැය ගණන්, දින ගණන්
සති, මාස, අවුරුදු ගණන්
විඳින දුකක් බවට පත් කරන
ඔහු තුළ එක් රැස්වී
ඔහු දුකට පත්කරන කෙලෙස්
සිතෙන් සදහටම ඉවත් වීමද
මෙමගින්ම සිදුවන නමුත්….

අදට මේ හොඳටම ඇති.

No comments:

Post a Comment