20140930

අත්දැකීමත්, අවබෝධයත් එකටම.......


අත් දෙකෙන්
දිය දෝතක් ගන්නවා වගේ
අත්දැකීමත්, අවබෝධයත්
එකටම යන්න ඕන.
එයිනුත්
අත්දැකීම තියනව නම්
අවබෝධය නිවැරදියි.
කල්පිත වලින්
නොමග යන්නෙ නැහැ.

රාග ද්වේශ මෝහ
තෙරුම් ගැනීම
ආරම්භයේදී
බුද්ධියෙන් වචනයෙන්
කළ යුතු දෙයක් නොවේ.
එසේ මවන දේ
අනිවාර්යයෙන්ම
කල්පිතයන් පමණයි.

අප තුළ
රාග ද්වේශ මෝහ මතු වූ විට
ඒ මොහොතෙහිම දැකිය යුතුයි.

අපට සීතල දැනෙන විට
අපි සීතල දකින්නේ,
සීතල විඳින්නේ
අත්දැකීමක් විදියටයි.

“මේ අපට දැනෙන්නේ සීතලයි
අපි එහි නො ඇලිය යුතුය
නොගැටිය යුතුය” ආදී විකාර
සිතමින් සිටින විට
සීතල නොදැනී යයි.
සීතල නිසා පහළ වූ
ප්‍රිය අප්‍රිය බව
එනම් රාගය හෝ ද්වේශය
නොපෙනී යයි.

සිහියෙන් සිටිනවා නම්
රාග ද්වේශ මෝහ
තමා තුලම පෙනෙයි.
ඔබට තරහ ආවිට
ඔබ සිටින්නේ තරහෙන් බව
ඔබට කියා දීමට
ගුරුවරයෙක් වුවමනා නැත.
එහෙත් සිදුවන්නේ
තරහෙන් හැසිරී
තරහ නිවුණාට පසුව
තරහ – ද්වේශය ගැන
හැදෑරීමයි.
ඉස්තාලය වසාගෙන
කොයි තරම් හැදෑරුවත්
අශ්වයා ගොස් හමාරය.

තමා තුළ දකින දේ
සැබෑ ලෙස හඳුනාගෙන
ඉන් පසු ඒ අත්දැකීම
පිළිබඳ විස්තර සොයමින්
මුළු ත්‍රිපිටකයම පීරුවත්
හොඳක් මිස
නරකක් නොවේ.

එසේ නැතිව
කරවටක් වතුරේ ගිලී සිටිමින්
“මේ වතුරයි.
වතුරෙන් පිපාසය නිවෙන අයුරු
අපි හඳුනා ගත යුතුය”
කියමින් සිටීමෙන්
කවදාවත්ම
පිපාසය සංසිදෙන්නේත් නැතුවම
මිය පරලොව යා හැක.

අප තුළ
රාග ද්වේශ මෝහ මතු වූ විට
එවෙලෙහිම
දැකිය යුතුය.
හඳුනා ගත යුතුය.
ඒ රාගය
ද්වේශය
මෝහය
ඔබ ඒ පිළිබඳ සිහියෙන්
සහ ඊට උපේක්ශාවෙන් සිටින විට
ඉබේම නිරුද්ධ වී යාවි.
ඔබ කිසිවක්ම කළ යුතු නැහැ.
කිසිවක්ම කරන්නත්
ඔබට බැහැ.
වතුර භාජනයක්
ඇල කරනවිට
වතුර ඉබේම හැලෙනවා.
ඔබ කළ යුතු
එය සිදුවීමට අවශ්‍ය
පරිසරය සකස් කිරීම විතරයි.

මම මේ දවස් වල
මගේ අවුරුදු හයක පුතාට
නීවරණ කියා දෙමින් ඉන්නවා.
නීවරණ පහම වරින් වර
කියා දෙමින් ඉන්නවා.
ඔහුට කාමඡන්ද පිළිබඳව
හීන් අවබෝධයක් තියනවා.
ඔහුට කෑදර කමක් ආව වෙලාවට
මම ඔහුටට මතක් කරනවා
“ඔය දැන් ඔයාට දැනෙන්නෙ “කාමඡන්ද” කියල.

නීවරණ නම් වශයෙන් කිව්වට
ඒවා නම් වශයෙන් මතක තබා ගන්න
මම ඔහුට උපකාර කරන්නෙ නැහැ.
එහෙම අවශ්‍යත් නැහැ.
ඔහු එය තමා තුල දැකීමයි වැදගත් වෙන්නෙ.
හ්ඳුනාගත් දවසට
නමේ වටිනාකම ඔහුට වැටහේවි.

කාමඡන්ද සමග ඡන්ද
ගැනත් ඔහුට කියනවා.
බඩ ගින්න සමග
ඔහුගෙ හිතට එන්නෙ ඡන්ද.
කලින් එක්‍රැස්වූ රාග සංස්කාර නිසා
ඊට කාමය එක් වෙලා
කාමඡන්ද ඇති වෙනවා.

අපි මේ විදියට ලබන දැනුම
මේ ලෝකෙ කිසිම ගුරුවරයෙකුට
ලබා දෙන්න බැහැ.
බුදුන් වහන්සෙටවත් බැහැ.
තමාම තමා තුල
ඒ මොහොතෙ දකින්න ඕන.

විදසුන් වඩනවා කියන්නෙ
හිතමින් තර්ක කරමින් නොමග යන
රස්තියාදු ගහන දර්ශන ශක්තිය
තමා තුළ
තමා දකින්න
භාවිතා කිරීමයි.

ඒක විදසුනක් වෙන්නෙ
තමා තුල හැරෙන්න
වෙන කොහේවත්
සැබෑ ලෙස
ධර්මය දකින්න
බැරි නිසා.

ඒ දැනුම ලෝකෙට පෙන්නන්න
කෙනෙකුට බැහැ.
ඒත් කෙනෙකුගෙ අවිද්‍යාව නැතිවෙන්නෙ
ප්‍රඥාව වැඩිවෙන්නෙ,
දුක අඩුවෙන්නෙ
විදසුනෙන් විතරයි.

No comments:

Post a Comment