20121230

කුසගින්න - තණ්හාව ස්වාභාවිකයි.

කුසගින්න ස්වාභාවිකයි.

කුසගින්න ප්‍රිය දෙයකින්ම
නිවා ගන්නට සෙවීම තණ්හාවයි.

එම තණහාව ගැන සිහියෙන්
ඒ අනුව ප්‍රතික්‍රියා නොකර
එම තණ්හාවට
උපේක්ෂාවෙන් සිටීමෙන්
උපාදාන නොවෙයි..

විදසුන් වඩන්නා තුළත්
කුසගින්න සමග
තණ්හාව උපදිනවා.

ඔහු එය දකින නිසාත්
උපේක්ෂාවෙන් සිටින නිසාත්
උපාදාන වෙන්නේ නැහැ.
පවතින කිසිවක්
සැකසෙන්නේ නැහැ.

සිතුවිලි වල පදනම වේදනාව



සිතේ මතු වන
සෑම ධර්මතාවයකටම අදාළව
කයෙහි වේදනාවක්ද ඇත.

සබ්බෙ ධම්මා වේදනා සමො සරණා

ඔබට දැණුනත්
ඔබට නොදැණුනත්
සිතේ මතු වන
සෑම ධර්මතාවයකටම අදාළව
කයෙහි වේදනාවක්ද පවතිනවා.

සිතේ මතු වන
තණ්හා, මාන, දෘශ්ඨි
පංච නීවරණාදී
සෑම ධර්මතාවයකටම අදාළව
කයෙහි වේදනාවක් පවතිනවා.

නීවරණයක් හිතේ දැක්කට
නීවරණයෙහි මුල තියෙන්නේ
කයෙහි වේදනාවක් විදියටයි

මුලින්ම වේදනාව
සිතුවිලි වලට කලින්
චිත්තයට ආරෝපණය වෙනවා.
චිත්තයෙහි වෙනසක් සිදුවෙනවා…
සරාග, සදෝස, සමෝහ… ආදී වශයෙන්.

චිත්ත මට්ටමේදි පවතින්නෙ
වචන නැති හැඟීමක් විදියට.

මනො පුබ්බංගමා ධම්මා.

සිතුවිල්ලකට පෙරටුව
සරාග, සදෝස, සමෝහ… ආදී වශයෙන්
සිත-චිත්තය පවතිනවා.

කෙනෙක් තව කෙනෙකුට
දොස් නගන වෙලාවෙදි
දෙවැන්නාගෙ
ඇස් දෙකෙන් හෝ කන් දෙකෙන්
ඒ තොරතුර ගලා යනකොටම
විඤ්ඤාණය එම තොරතුරට
වර්ණයක් දෙනවා.
“මූ මෙහෙම සෙනග ඉස්සරහ
උඹට දොස් කියනකොට
උඹට මාර සවුත්තුවනෙ බං”
විඤ්ඤාණය කොඳුරනවා.

ඒ මොහොතෙහි
මානය මුල්වූ
1, ව්‍යාපාදය නම් ධර්මයත්
2, ද්වෙශය සහිත චිත්තයත්
3, දුක් වේදනාවක් වන
කායික වේදනාවකුත්
ඔහු තුළ ඇතිවෙනවා.

ද්වේශයෙන් හැසිරෙන විටක
තම කයට සිත යොමු කළොත්
මේ වේදනාව දැනෙනවා.

ඒ වේදනාවෙන් වියරුවී
සතෙකු මෙන් වහා ක්‍රියාත්මක වී
ප්‍රතිප්‍රහාරය දෙන නිසා
තමා තුළ සිදුවෙන වෙනස්කම්
කිසිවක් ඔහුට පෙනෙන්නේ නැහැ.

කයෙහි වේදනාව
චිත්තයට නැගිලා
සිතුවිල්ලට, වචන වලට,
ක්‍රියාවට නැගෙන්නෙ අන්තිමටයි.

සමාජයෙදි
මිනිසුන් හැමවිටම
සිතින් කයින් වචනයෙන්
ප්‍රතික්‍රියා කරන්නෙ නැහැ.
මොනවා හරි හේතු මත
ඔවුන් තමන්ගෙ හිත නැතත්
කය හා වචනය
දමනය කර ගන්නවා.

සාමාන්‍ය කෙනෙකුට
වචන සහ ක්‍රියාව
ශීලයෙන් පාලනය කරගන්න පුලුවන්.

සිතුවිලි
සමථ ක්‍රම වලින්,
සිත වෙනතක යොමු කිරීමෙන්,
සිත වෙන අරමුණකට යොමුකිරීමෙන්
වෙනත් දෙයක් නැත්නම්..මත් පැනෙන් හෝ
යටපත් කරගන්න පුලුවන්.

ගහක අතු පෑස්සට ගහත්, මුලත්
එහෙමම දුක් විඳිමින් තියනවා.
ඉඩ ලද විගසින්
යලි යලිත් අතු හැදෙනවා.

මිනිසා විඳින දුක,
ක්‍රියා, වචන හා සිතුවිලි වලට විතරක්
සීමා වෙන්නෙ නැහැ.

හැම කෙනෙක්ම
උමතු නොවී ඉන්නෙ,
තාවකාලික වියරුවෙන් මිදී ඉන්නෙ
තමන් ඇබ්බැහි කරගත්
මොකක් හෝ
සිතුවිලි නිවන මෙවැනි ක්රමයක්,
නැත්නම් ක්‍රම කීපයක් නිසයි.

එතනින් එහාට..
සිතේ ගැඹුරට, මුලට යන්න
ඒ ක්‍රම වලින් බැහැ.

මේ ක්‍රම
බුදුන් වහන්සෙ පහළ වනවිටත්
ලෝකයේ තිබුණා.
අදටත් වඩා
සියුම් ක්‍රමත් තිබුණා.

බුදුන් වහන්සේ
ආලාර කාලාම උද්දක රාම පුත්ත ලඟදි
මේ අති සියුම් ක්‍රම වලත්
කූටප්‍රාප්තියට පත් වුණා.

සිදුහත් තවුසාගේ
හිතේ දුක නිවුණා.

හිතේ දුක නිවුණට
දුක නැති වුණේ නැහැ.

එතැන් පටන් උන් වහන්සෙ
ඒ සමාධියෙන් තමා දෙස
බලා සිටියා.
දින ගණන් තිස්සේ,
ළඟට වැටෙන ගෙඩියක්,
කොළයක් අහරට ගනිමින්
හුනස්නෙන් නොනැගී
තමන් දෙස බලා සිටියා.

කයට සැප දීමෙන් වගේම,
කයට දුක් දීමෙනුත්
සත්‍යයට නුවණැස අන්ධ වෙන බව
උන් වහන්සේ වටහා ගත්තා.
ශරීරයෙහි පැවැත්මට අවශ්‍ය පමණ
ආහාර ගැනීමට පටන් ගත්තා.

කයත්, කයෙහි ඇති වන වෙනස්කම්
එනම් වේදනාත් නොසලකා හැර
සිතට විමුක්තියක් ලද නොහැකි බව
උන් වහන්සේ පසක් කළා.

කාය, චිත්ත, වේදනා, ධම්ම යන
හතරම එකවර ” සමස්තයක් විදියට”
තමා තුළ දකින විට
ඒ විශේෂ දැක්ම නිසා
මේ මොහොත
දුකෙන් තොරව ගතවෙන බව
උන් වහන්සේට පෙණුනා.

එය පෙර නොඇසූ විරූ ධර්මයක්.

සත්වයා දුක් විඳින්නේ
සමස්තයක් ලෙසයි.
කයට දුකක් පැමිණි විට සිතත්
සිතට දුකක් පැමිණි විට කයත්
දුක් විඳිනවා.
නිර්වින්දනයෙන් මේ බැඳීම
තාවකාලිකව බින්දත්
දුක නැවතත් එනවා.

දුකෙන් මිදීමේදී
සිත මෙන්ම
කයත් දුකෙන් මිදිය යුතුයි.

සිතෙහි වෙනස්කම්
තවකාලිකව නතර කරගෙන
“නිසල සිතක්” ඇති කරගෙන
ජීවත් වුණාට
කය සහ කයට සම්බන්ධ වෙන
සිතේ සියුම් තලය
තමා අවට සිදු වෙන දේට
නොකඩවා ප්‍රතික්‍රියා දක්වනවා.

නීවරණ මතු නොවන විදියට
දවල් කාලයේ
සිත නිසලව පවත්වා ගන්නා අය
රාත්‍රියේදී හෝ
විවේකයක් ලද විටක
ථිනමිද්ධයට යටත්ව
නින්දට වැටෙනවා.
ඔහුගේ නින්ද ඉතා ගැඹුරුයි.

ඔහු සිතේ අනෙක් නීවරණ
උපක්‍රම ශීලීව
යටපත් කරගෙන හිටියාට
ඒවා කයත් වේදනාත් මට්ටමෙන්
ඔහු නොදැනුවත්ව
ක්‍රියාත්මක වෙනවා.

කයෙහි සිදුවෙන දේ දකින්න
ගොරෝසු හිතකට නොහැකි වුණාට
සිතෙහි සිදුවෙන හැමදේම
පටන් ගන්නෙ කයෙන්.

සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා.

මේ සියුම් ක්‍රියාවලිය දකින්න
හිත සියුම් කරගන්නත්,
හිත තියුණු කරගන්නත්,
අපට තියෙන්නෙ එකම මාර්ගයයි.

බුදුන් වහන්සේ
ලොවට හඳුන්වා දුන්
විදසුන පමණයි.
කයත්, වේදනාත් නොදකින තුරු
විදසුනක් නැහැ.

කාය, චිත්ත, වේදනා, ධම්ම යන
හතරම එකවර
” සමස්තයක් විදියට”
තමා තුළ දකින විට
ඒ දැක්ම විදසුන නමින්
හඳුන්වනවා.

සම්පජානෝ සතිය එයයි.

කාය, චිත්ත, වේදනා, ධම්ම යන
හතරම එකවර
” සමස්තයක් විදියට”
තමා තුළ දැකීමයි.

කයත් වේදනාත් දකින කෙනෙකුට
පහසුවෙන් හුස්ම පෙනෙනවා.
තමන්ගෙ ඉරියව් දැනෙනවා.
තමන්ගෙ සිත සියුම්ද කියා
විමසා බලන්න හොඳ මිනුම් දණ්ඩක් ඒ.

පහසුවෙන් හුස්ම පෙනෙන්නෙ නැත් නම්.
තමන්ගෙ ඉරියව් දැනෙන්නෙ නැත්නම්….
ඒ හිත ගොරෝසුයි.

හිත සියුම් නම්, තියුණු නම්,
සම්මා සමාධිය ඇත්නම්
පහසුවෙන් හුස්ම පෙනෙනවා
තමන්ගෙ ඉරියව් දැනෙනවා…

සමථය මගින් හිත සියුම් කර ගත් කෙනෙක්
ඒ සමාහිත, තියුණු සිතෙන්
කයත්, වේදනාවත් දකින්න උත්සාහ කරන විට
තමා මෙතෙක් යටපත් කරගෙන සිටි
නීවරණ මතු වෙනවා.
කයෙහි වේදනා මතුවෙනවා.
දුර්වල සිත් ඇති අය
නැවත සමථයට වැටෙනවා.

බොහෝ විට සමථයට යොමුවන්නේ
සුරතලයට හැදුණු වැඩුණු
දුක් නොවිඳ ළමා විය ගතකල
සුරතලුන්.

එසේ නැත්නම් කුඩා කළ
පමණ ඉක්මවා දුක් විඳි කෙනෙක්.

අත්තකිලමථානුයෝගයත්,
කාමසුඛල්ලිකානු යෝගයත්
ඇසුරු කරන අය
පහසුවෙන් සමථයට වැටෙනවා.
මත් පැනට ගොදුරු වෙනවා.

විදසුනට යොමු වුණත්
එහි රැඳී ඉන්නට
ඔහුට ශක්තිය නැහැ.
යළි පුරුදු මගට නැමෙනවා

ඒත් විදසුනට ශ්‍රද්ධාව ඇතිව
නොකඩවා වීර්ය වඩන තැනැත්තා තුළ
කෙමෙන් කෙමෙන් උපේක්ෂාව වැඩෙනවා.
උපේක්ෂාව දියුණු වෙනකොට සිහිය
තවත් වැඩෙනවා.

විදසුන් වඩන්නා
නීවරණ යටපත් කරන්නට
වෙර දරන්නේ නැහැ.
ඔහු සිතේ පවතින නීවරණ පිළිබඳව
කයෙහි ඇති වේදනා පිළිබඳව සිහියෙන්
සිතේ පවතින නීවරණ වලට
කයෙහි ඇති වේදනා වලට උපේක්ෂාවෙන්
තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යනවා.

එදිනෙදා අත්දැකීම් වලදී
සාමාන්‍ය පුද්ගලයෙකු තුළ
සිදු වෙන වෙනස්කම්
ඔහු තුළත්  එසේම සිදු වෙනවා.
එහෙත් ඔහු ඒ වෙනස් කම් වලට
උපේක්ෂාවෙන් වෙසෙන්නට
විදසුනෙන් හුරු වී ඇති නිසා
ඔහුගේ සමාහිත බව
බිඳෙන්නේ නැහැ.

ජීවන ගැටලුවකදී
ඔහු විඳින දුක
ඔහුට රහසක් නොවන නිසා
ඔහු අනෙකා විඳින දුක දන්නවා.
තමා මෙන් සන්සුන්ව හැසිරෙන්නට නොදන්නා
අනෙක් පුද්ගලයා ඔහු දකින්නේ
කරුණාවෙන්.

සාමාන්‍ය ප්‍රඥාවෙන් යුත්
මධ්‍යස්ථ සිතින් යුත් අයත්
යම් පමණකට
මේ අයුරින් ජීවත් වෙනවා.
ඒත් ඔහුගෙ පරාසය සීමිතයි.
ඒ පරාසය පුළුල් තැනැත්තා
ජීවිතයෙ අන්ත වලට නොගොස්
සමබරව වෙසෙනවා.
ඔහුට විදසුන අවශ්‍ය වෙන්නෙ
ඒ ශක්තිය දියුණු කරගන්නයි.

සමාජයෙන් පැන ගොස්
තාවකාලිකව
සමථය වඩා සිතුවිලිවලින්
සිත පිරිසිදු කරගෙන සිටින්නාට
විදසුන මගින්
සාමාන්‍ය සමාජයට
යළි පිවිසෙන්නට
වරම් ලැබෙනවා.

එමෙන්ම
තමන් දන්නා උපක්‍රමයෙන්
සිත නිවා ගන්නා තුරු
මෙතෙක් ඔහු විඳි දුක් පවා
නොවිඳ ජීවත් වෙන්නට
අවස්ථාව ලැබෙනවා.

කළ හැකි නම්…..
මෙලොව වසන ඕනෑම සත්වයෙකුට
ජීවත් විය හැකි අතිශයින්ම සරල ජීවන ක්‍රමය
විදසුනයි.

මන්ද ඔහු තමා තුළ සිදුවන සියල්ල
සිහියෙන් දකින නමුදු
තමා තුළ සිදුවන සියල්ලට
උපේක්ෂාවෙන් වෙසෙන නිසා
මේ මොහොත දුකෙන් තොරව ගත කරමින්
මතුවටද දුකට හේතුවෙන
කිසිවක් නොකරන බැවිනි.

ඔහු මෙසේ දිවි ගෙවන විට
මෙතෙක් ඔහුගේ මොහොතක දුක
පැය ගණන්, දින ගණන්
සති, මාස, අවුරුදු ගණන්
විඳින දුකක් බවට පත් කරන
ඔහු තුළ එක් රැස්වී
ඔහු දුකට පත්කරන කෙලෙස්
සිතෙන් සදහටම ඉවත් වීමද
මෙමගින්ම සිදුවන නමුත්….

අදට මේ හොඳටම ඇති.

20121228

ඔබ වැඩිහිටි මිනිසෙක්ද?



කුඩා දරුවෙකුට හෝ
සුරතල් බලුපැටියෙකුට
කුසගිනි වෙයි.

කුසගින්න නිසා හඬයි.

ඒ හඬන හඬින්
සිත කම්පා වුණ කාන්තාවක්
"ඇයි, පැටියෝ," කියාගෙන පැමිණ
කුසගින්න නිවන්නට
කටයුතු කරන්නීය.


 





මෙය නැවත නැවත සිදුවන විට
ළදරු සිත මේ රටාවට හුරු වෙයි.

කුසගින්න නැති වෙලාවක වුවද
"පැටියෝ" යන වචනය
සිරුර තුළ ප්‍රිය ජනක වේදනා
උපදවන වචනයක් වෙයි.

කුසගින්න ඇති වෙලාවක
කුසගින්න නොනිවුණත්
"පැටියෝ" යන වචනය නිසා
යම් කාලයක්
කය කුසගින්නෙන් පෙළුණත්
සිතට සැනසිල්ලේ සිටිය හැක.

අප අතින් කිසියම් ක්‍රියාවක් සිදුවෙද්දී
ඒ අවස්ථාවෙහි අපට ඇසෙන හඬ මෙන්ම
රූප, රස, සුවඳ හා ස්පර්ෂ නිසා
අප සිතෙහි හා කයෙහි සිදුවෙන වෙනස් කම්
එම අත්දැකීමෙහි කොටසක් ලෙස
අපි විඳින්නෙමු.

ඉන් පසුව එම අත්දැකීමෙන්
ශරීරයෙහි හෝ සිතෙහි සිදු වූ වෙනස්කම් හෝ
එම වෙනස් කම් වලින් කොටසක්
කෘතිමව නිර්මාණය කළොත්
එම අත්දැකීම නිසා
කයෙහි හා සිතෙහි වූ වෙනස්කම්
යම් ප්‍රමාණයක්
නැවත අපතුළ ඇතිවෙයි.

දැන් මේ මොහොතෙහි
බාහිර ලෝකයෙහි සිදුවෙන දෙයින්
ඔබ තුළ වෙනස්කම් සිදුවෙමින් පවතියි.

ශ්වසනය, ආහාර ජීර්ණය,
රුධිර සංසරණය ආදී
කායික ක්‍රියාකාරිත්වයන් නිසාත්
ඔබ තුළ වෙනස් වීම් සිදු වෙයි.

දැන් මේ මොහොතෙහි
ඇතුළත හා බාහිර සිදුවන
වර්තමාන වෙනස්කම් හැර
අප කයෙහි හා සිතෙහි සිදුවන
අන් සියලුම දේ
අප එසේ විඳිනලද අත්දැකීම්වල
ප්‍රතිනිර්මාණයන්ය.

අපි කළ යුතු දේ කරන්නේත්
ප්‍රිය දේ සොයා යන්නේත්
අප්‍රිය දෙයින් ඉවත් වන්නේත්
මේ ක්‍රතෘ විරහිත
ස්වයං ජනනීය ක්‍රියාවලිය ආධාරයෙනි.

බලුපැටියාට හෝ ළදරුවාට
ආහාර දුන් කාන්තාව
"පැටියෝ" කියා ඇමතුවොත්
අර ළදරුවා හෝ බලුපැටියාගේ
කයෙහි හා සිතෙහි සිදුවෙන වෙනස් කම්
පාලනය කළ නොහැක.

කයෙහි හා සිතෙහි සිදුවෙන
වෙනස්කම් දෙකම සිදුවන්නේ ඉබේටය.

දරුවාත්, බලුපැටියාත්
ඔවුනට ප්‍රියවූ
එම ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයට
වහලෙකි.

රිසි ලෙස හීලෑ කරගන්නට,
තමන්ට රිසි අතක ගෙන යන්නට,
රිසි අයුරින් ප්‍රයෝජන ගන්නට,
රිසි අයුරින් පාලනය කරන්නට,
මෙම ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයට
හැකියාවක් ඇත.

ඒ හැකියාව ඇත්තේ
අර කාන්තාවට පමණක් නොවේ.

ඇය විසින්
දරුවා හෝ බලු පැටියා තුළ
නිර්මාණය කොට හුරු කළ
ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයටයි.

ඒ ළදරුවා හෝ බලුපැටියා ඔබ නම්
ඒ ශබ්දය, රූපය, සුවඳ, රස
හා ස්පර්ශය හෝ ඉන් කොටසක්
ප්‍රතිනිර්මාණය කළ හැකි
ඕනෑම කෙනෙකුට, ඕනෑම දෙයකට
ඔබ පාලනය කළ හැක.

ගීතයකට, චලන චිත්‍රයකට,
සිතුවමකට හෝ ඡායාරූපයකට,
සුවඳ විලවුන් වර්ගයකට,
ආහාරයකට එම ක්‍රියාවලිය ඇසුරෙන්
අප උත්තේජනය කරගෙන
කිසියම් මාවතක රැගෙන යන්නට
එම ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයට
හැකියාවක් ඇත.

මේ ඡායාරූපයේ සිටින
ප්‍රසිද්ධ පුද්ගලයන් ගේ මුහුණු
එකින් එක බලන විට
ඔබ තුළ විවිධ හැඟීම ජනිත වෙයි.

 
 ප්‍රිය ජනක ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයට ඇති බලයම
අප්‍රිය ජනක ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයටද ඇත.

ඔබ තුළ සිදුවෙන
ඒ ප්‍රිය අප්‍රිය වෙනස්කම්
ඔබ ඇතිකරගන්නා ඒවාද?
එම හැඟීම් පිළිබඳව
ඔබට පාලනයක් තියනවාද?.

මේ සත්‍යයෙන්
මේ වහල්බවින් ගැලවීමක්
වැඩිහිටි ඔබටවත් තිබේද?

ළදරුවාට හෝ බලුපැටියාට නැති
ආත්ම දමනයක් ඔබට තිබේද?

තිබිය යුතුය.

මින්පසුව ඔබ යම් දෙයක් කරන විට
ඊට හේතුවන ප්‍රිය අප්‍රිය උත්තේජනය
දකින්නට උත්සාහ කරන්න.

විදර්ශනාවෙන් තොර බෞද්ධ භාවනා නැත.


විදර්ශනාවෙන් තොර භාවනාවක්
බෞද්ධ භාවනාවක් විය නොහැක.


කාය, වේදනා, චිත්ත හා ධම්ම යන
සතිපට්ඨාන අංග සතර පිළිබඳව
සිහියෙන් හා උපෙක්ෂාවෙන් තොරව වඩන
ඕනෑම භාවනාවක් සමථ භාවනාවකි.



බෞද්ධ භාවනාවක් තුළින්ද
චිත්ත සමාධිය ලැබෙන නමුදු
ඒ සමාහිත බව තුළ
තමා පිළිබඳව සිහියත්
ඒ මොහොතෙහි
කාය, වේදනා, චිත්ත හා ධම්ම වශයෙන්
දැනෙන දේට උපේක්ෂාවත් පවතී.

මජ්ජිම නිකායේ උපරි පන්නාසකයේ
ආනාපාන සති සූත්‍රය දේශනා කරමින්
කෙබඳුවූ භික්‍ෂූහු
උන්වහන්සේගේ භික්‍ෂු සංඝයා අතර
කුමන භාවනාවන්හි යෙදී වාසය කරන්නේදැයි
බුදුන් වහන්සේ වදාළහ.

´´මහණෙනි, මෙබඳුවූ භික්‍ෂූහුද
මේ භික්‍ෂු සංඝයා අතර සිටිති.
මහණෙනි, මේ භික්‍ෂූ සංඝයා අතර
01, සතර සතිපට්ඨාන භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්‍ෂූහුද
02, සතර සම්‍යක් ප්‍රධාන භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්‍ෂූහුද
03, සතර ඎද්ධිපාද භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්‍ෂූහුද
04, පංචේන්‍ද්‍රිය භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්‍ෂූහුද
05, පංච බල භාවනාවෙහි යෙදී වසන්නාවූ භික්‍ෂූහුද
06, සප්ත බෝධ්‍යඞ්ග භාවනාවෙහි යෙදී වාසය කරන භික්‍ෂූහුද
07, ආර්‍ය අෂ්ටාංගික මාර්‍ග භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්‍ෂූහුද
08, මෛත්‍රී භාවනාවෙහි යෙදී වාසය කරන භික්‍ෂූහුද
09, කරුණා භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්‍ෂූහුද
10, මුදිතා භාවනාවෙහි යෙදී වාසය කරන භික්‍ෂූහුද
11, උපෙක්‍ෂා භාවනාවෙහි යෙදී වාසය කරන භික්‍ෂූහුද
12, අසුභ භාවනාවෙහි යෙදී වාසය කරන භික්‍ෂූහුද
13, අනිත්‍ය සංඥා භාවනාවෙහි යෙදී වාසය කරන භික්‍ෂූහුද
14, ආනාපාන සති භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්‍ෂූහුද ඇත්තාහ.
- ආනාපාන සති සූත්‍රය.
උපරි පන්නාසකය - මජ්ජිම නිකාය

ඉහත දැක්වෙන ඕනෑම
භාවනාවක් වැඩීමෙන්
විදර්ශනාව සම්පූර්ණ
විය යුතුය.

බෞද්ධ භාවනා ලෙස නම්කළ හැකි
භාවනා සියල්ල මෙපමණක් වියයුතුය.

මේ සියල්ලෙන්ම විදර්ශනාව,
එනම් කාය, වේදනා, චිත්ත හා ධම්ම යන
සතිපට්ඨාන අංග සතර මත
සම්මා සතිය වැඩෙනු ඇත.

බුදුන් වහන්සේ දක්වන
බෝධිපාක්ෂික ධර්ම කවරක් වුවද
තමා තුළම
කාය,
වේදනා,
චිත්ත හා
ධම්ම යන
සතිපට්ඨාන අංග සතර නොදැක
විඳිය නොහැක.

වචන තොල් මැතිරීමෙන්
සිත එක අරමුණක තබා ගත හැකි වුවද
තමා පිළිබඳව සිහියෙන් තොරව
කිසිදු වෙනසක් විය නොහැක.

ඉහත දැක්වෙන සියල්ලෙන්ම
විදර්ශනාව,
එනම් කාය, වේදනා, චිත්ත හා ධම්ම යන
සතිපට්ඨාන අංග සතර මත
සම්මා සතිය වැඩෙනු ඇත.


 සබැඳි සටහන්

විදසුන් නැති තැනැත්තාට, මිත්‍යා දෘෂ්ටිය උපදිනවා. 

තමා සරණයි, අන් සරණක් නැත. 

 ඔබේ සිරුර ගැන ඔබට සිහිය නැහැ.

 



ආනාපාන සති භාවනාව තාවකාලික විශුද්ධියක්ද ?






[[[ ආනාපාන සති භාවනාවේන් සිදුවන්නේ
භාවනාව වඩන මොහොතට පමණක්
තාවකාලික විශුද්ධියක්ද ? ]]]

විදර්ශනාව වැඩුවත්
පූර්ණ විශුද්ධියක් වෙන්නෙ
මුලු භාවනා කාලය තුලමත් නෙමෙයි..
ආතාපි, සම්පජානො සතියෙන්
ඉන්න වෙලාවට විතරයි.



ආනාපාන සතිය හෝ
විදර්ශනා වඩන වෙලාවට
සිහියත් උපේක්ෂාවත් තියන නිසා
පැරණි සංස්කාර ඉස්මතු වෙලා
නිරුද්ධ වෙනවා.
අවසිහිය නිසා එක්‍රැස් වෙන සංස්කාර
නිරුද්ධවෙන්න
සිහියත් උපේක්ෂාවත් නිසා
ඒ කාලයම ගතවෙන්නෙ නැහැ.

දවස් ගාණක් තිස්සෙ එක්‍රැස් වෙන
නිවසක කුණු විනාඩි කිහිපයකින්
ඉවත් කරන්න පුලුවන්.

නැත්නම් සසරෙ හිටිය කාලයම
විදසුනටත් ගත කරන්න වෙනවා.. :)

පැරණි සංස්කාර මතුවෙලා
නිරුද්ධවෙන එක
පළවෙනි ජයග්‍රහණය.

දෙවැන්න ඒ සිහියත්, උපෙක්ෂාවත්
ඇතුව ජීවිත අත්දැකීම් වලට
මුහුණ දීම නිසා
නව සංස්කාර වල
ප්‍රබලතාවය අඩුවීම.

ඉතින් ඒ අනුව
පූර්ණ විශුද්ධිය තාවකාලික වුණාට
පිරිසිදු බව වැඩෙනවා.

ඒ දෙවැනි ජයග්‍රහණය..

පොත පත් කියවනකොට,
බණ අහනකොට හිතේ මැවෙන දේවල්
ප්‍රඥාව නෙමෙයි.

සමථයෙනුත් රාගය ප්‍රහීණ වුණාට
ප්‍රඥාව වැඩෙන්නෙ නැහැ..

වීර්යයෙන් වඩන සම්පජානෝ සතිය නිසා
එක වර බොහෝ දේ ගැන සිහියෙන් ඉන්න නිසා
ප්‍රඥාව වැඩෙනවා.

ඒ තෙවෙනි ජයග්‍රහණය.

ශාරීරික දුකත්, මානසික දොම්නසත්
සිහිය සමග ඇති උපේක්ෂාව නිසා
දුකක් ලෙස විඳීම අඩුයි..
සම්පජනෝ සතිය නිසා
හිත දුකට එකඟ කිරීම නිසා
විඳින දුකත් නැහැ.

ඒ තවත් ජයග්‍රහණයක්..

සෝ තැවුල් ඇතිවෙන්නෙ
අතීතය හෝ අනාගතය ගැන සිතමින්
චිත්තරූප හදාගන්න  කෙනෙකුටයි.
මේ මොහොත ගැන සිහියෙන් සහ
උපේක්ෂාවෙන් ඉන්න කෙනෙකුට
සෝ තැවුල් ඇතිවෙන්න හේතු නැහැ.

ඒ තවත් ජයග්‍රහණයක්.

සැබැවින්ම විදසුන් වඩන කෙනෙකුගෙ
දුක නිවෙන්න පටන් ගන්නෙ
ඒ මොහොතෙම ඉඳලා.

20121226

අවිද්‍යා, සංඛාර හා විඤ්ඤාණ -පටිච්ච සමුප්පාදය


මිනිසා තමාට මෙන්ම  පරිසරයට සංවේදී සත්වයෙකි.
ස්වාභාවික පැවැත්ම නැසී යා නොදී හැකිතාක් කල් පවත්වා ගන්නට
ඔහුට කයත්, ඉන්ද්‍රිය පහත්, සිතත් උපකාරී වෙයි.
කිසිවක් සිරුරෙහි ස්පර්ෂ වූ විට
ස්පර්ෂයත්, ඒ ඇසුරෙන් ඇතිවෙන වේදනාත්
ඔහුගේ සිරුරෙහිත්, සිතෙහිත්
වෙනස්කම් ඇති කරයි.
මේ වෙනස් වීම්
හුදු වෙනස්වීම් ලෙස නොව
ඔහුට ප්‍රිය හෝ අප්‍රිය
වෙනස් වීම් ලෙස
ඔහු හඳුනාගනියි.
එසේ නොවන වෙනස් වීම්
ඔහු නොසලකා හරින නමුදු
වෙනස් වීම් සිදු වෙයි.

කය සහ ඉන්ද්‍රිය ඇසුරෙන්
ඔහු විඳින අත්දැකීම්
ප්‍රිය වශයෙන් හා අප්‍රිය වශයෙන්
විඳීම නිසා
ඔහු ඒ අත්දැකීම
එහි සත්‍ය ස්වරූපයෙන් නොදකී.
හානිකර ආහාරයක් වුවත්
ඔහුට ප්‍රිය නම් ඔහු එය ගනියි.
ඔසුවක් වුවත් අප්‍රිය නම්
ප්‍රතික්ෂේප කරයි.

ඔහු ක්‍රියා කරන්නේ
මේ අභ්‍යන්තරික පෙළඹවීම් වල
වහලෙක් මෙනි.

ඔහු දකින්නේ සත්‍යයෙන් එක් කොටසකි.
ඔහුට ප්‍රිය හෝ අප්‍රිය කොටස පමණකි.
එහෙයින් ඔහුට දැනෙන දේ
නිසි ලෙස විද්‍යාමාන නොවේ.

ඵස්ස වේදනා සංඥා අවස්ථාවන්හි
ඔහුට දැනෙන දේ
නිසි ලෙස විද්‍යාමාන නොවීම නිසා
ඔහුට දැනෙන දේ
ප්‍රිය හා අප්‍රිය භාවය මත
සංස්කරණය වෙයි.








ඔහුගේ ප්‍රිය අප්‍රිය භාවයෙන් මැන
ඔහු විසින් කරන ලද
ඔහුගේ ම පුද්ගලික වර්ගීකරණය
එම සංස්කරණය තුළ අඩංගු වෙයි.

පළතුරු ගොඩක් දෙස බලන
ඇපල් වලට කැමති තැනැත්තාට
අන් කිසිවක් හරිහැටි නොපෙනෙයි.




කිහිප දෙනෙක් එකම සිද්ධියක් දුටුවත්
ඔවුන් එක්‍රැස් කරගන්නා තොරතුරු හා
ඔවුන් වාර්තා කරන තොරතුරු වල
අඩංගු වන්නේ විකෘති වුණ
අංග විකල සත්‍යයකි.
එකිනෙකට වෙනස්
විකෘති තොරතුරු රැසකි.


ඔහු ඥාණය ලෙසින් රැස් කරගන්නේ
ඔහුගේ ප්‍රිය අප්‍රිය භාවයෙන් මැන
ඔහු විසින් සංස්කරණය කරන ලද
ඔහුටම ආවේණික වර්ගීකරණයයි.

ඒ ඥාණය විකෘති ඤාණයකි.
සත්‍ය නොවන වි-ඤාණයකි.

එකම අත්දැකීමක්
නැවත විඳින්නට ලැබුණොත්
දෙවෙනි වර අත්දැකීමට
මෙම විකෘති තොරතුරුද
බලපාන්නේය.

පළමු අත්දැකීමෙන්
ඔහු රැස්කරගත් විකෘති තොරතුරු මත්
ඔහු රැගෙන එන පූර්ව නිගමන හා
විවිධ බලාපොරොත්තු මත
දෙවන අත්දැකීම
තවදුරටත් විකෘති වෙයි.

ඵස්ස වේදනා සංඥා අවස්ථාවන්හි
ඔහුට දැනෙන දේ
නිසි ලෙස විද්‍යාමාන නොවීම
අවිද්‍යාවයි.

ඵස්ස වේදනා සංඥා අවස්ථාවන්
සැබෑ ලෙස ඇති සැටියෙන්
විද්‍යාමාන නොවීම නිසා
සංස්කාර රැස්වී
විඤ්ඤාණය හටගනියි.







20121225

ආනාපාන සතිය වැඩීමෙදි......


කාය, වේදනාදි වශයෙන් විදසුන් වඩද්දි වගේම
ආනාපාන සතිය දිගටම වැඩීමෙදි

ඒ මොහොතෙ සංස්කාර ඇති වීම වළකිනවා.

තම කය හා සිත තුළ
සිදුවෙන වෙනස් කම් සිහියෙන් බලාගෙන
උපේක්ෂාවෙන් ඉන්න කෙනෙකුගෙ
ඒ මොහොතෙ
සංස්කාර ඇති වීම වළකින නිසා
ආහාර නොගෙන ඉන්න කෙනෙකුගෙ අක්මාව
නොකඩවා ආහාර සපයනවා වගේ
විඥ්ඥාණයෙ එක් රැස් වුණ කෙලෙස්
සංස්කාර විදියට මතුවෙලා
නිරෝධ වෙනවා.

ඔහු මුලු කයටම සංවේදී නිසා
සිදුවෙන වෙනස් කම් සිහියෙන් බලාගෙන
උපේක්ෂාවෙන් ඉන්න කෙනෙකු තුළ
කාය, වේදනාදි වශයෙන් වඩන කෙනෙකුට
පෙනෙන දේම පෙනෙනවා.

දිගටම ආනාපාන සතිය වැඩීමෙදි
සමාධිය ප්‍රබල නිසා
සංස්කාර නිරෝධ වෙන වේගය වැඩි වෙන්න පුලුවන්...

මුලු සිරුරටම සංවේදීව
ආනාපාන සතිය වැඩීම ඉතාම පහසුයි.

ආනාපාන සතිය නොවැඩුවත්
අමතර ක්‍රියාවක නොයෙදී

මුලු සිරුර ගැනම සිහියෙන්
උපෙක්ෂාවෙන් ඉන්න කෙනෙකුට
ආනාපාන කියන්නෙ ශරීරයේ ප්‍රබලම ක්‍රියාකාරිත්වය..
අනික් ක්‍රියාකාරකම් සියුම්..
ආනාපාන සතිය දිගටම වැඩීමෙදි සමාධිය ප්‍රබල නිසා
ඔහුට තැන් තැන්වල රුධිර සංසරණය පවා දැනෙන්න පුලුවන්.
 

හුස්ම ගැනම පමණක්

සිහිය පවත්වා ගැනීම
විදසුන නෙමෙයි.
විදසුනට අරමුණු වෙන්නෙ 
සමස්ත පුද්ගලයාමයි.

කාය වේදනා චිත්ත ධම්ම හතරටම
සංවේදී වීමයි විදසුන..

මුලු සිරුරටම අදාළව
කයෙහි සිදුවෙන වෙනසක් විදියටයි
හුස්ම ගැන සිහිය පවතින්නෙ.

මුලු සිරුරට සංවේදීව
ආනාපාන සතිය වඩනවා
කියන්නෙ
කාය වේදනා චිත්ත ධම්ම හතරටම
සංවේදී සතිය වඩනවා කියන එකයි.

කාය, වේදනාදි වශයෙන් විදසුන් වඩද්දි වගේම
ආනාපාන සතිය දිගටම වැඩීමෙදි
ඒ මොහොතෙ සංස්කාර ඇති වීම වළකිනවා.

සබ්බේ ධම්මා වෙදනා සමො සරණා.

හිතේ ඇතිවෙන හැම ධර්මතාවයක්ම
වේදනාවක් සරණ කරගෙනයි ඇතිවෙන්නෙ.

හැම සංස්කාරයකටම අදාළ වේදනාවක්
සිරුරෙහි පවතිනවා.
නාපාන සතියෙන්
මුලු සිරුරට සංවේදීව ඉන්නකොට
සිහිය තියන නිසා මෝහයට ඉඩ නැහැ.
රාගයක් ද්වේශයක් ඇති වුණොත්
ආනාපාන සතිය බිඳෙනවා.
ඒ නිසා ආනාපාන සතියෙන්
මුලු සිරුරට සංවේදීව ඉන්නකොටබාහිර අරමුණු වලට
රාගයක් ද්වේශයක් ඇති වෙන්නෙ නැහැ.

රාගයක් ද්වේශයක් ඇති වුණොත්
ඒ පැරණි සංස්කාරයක්.

වැය වීම සංස්කාර වල ස්වභාවයයි.
උපදින සංස්කාර නිරුද්ධ වෙනවා.

ඒ නිරුද්ධවීම නිසයි විශුද්ධිය සිදුවන්නෙ.

සත්තානං විසුද්ධියා

20121224

හිතේ සංස්කාර මතුවෙන ආකාර දෙක









 


.
අපි දවස ගත කරද්දි
හිතේ සංස්කාර මතුවෙන
ආකාර දෙකක් තියනවා.

එකක් එවෙලෙ සිදුවෙන දේට ඇතිවෙන
ප්‍රිය අප්‍රියතාවයන් මත.

එහෙම නැත්නම් අතීතයෙ
එක්‍රැස්වෙන කෙලෙස් නිදහස් වෙමින්
සංස්කාර විදියට මතුවීම.

මේ මොහොතෙ ඇතිවෙන සංස්කාර
ඒ මොහොතෙ ස්පර්ශ වලට
අපි දක්වන ප්‍රතික්‍රියා.
ප්‍රිය හෝ අප්‍රිය
ප්‍රතික්‍රියා පැහැදිලියි.
සියුම්ව සිදුවෙන ප්‍රතික්‍රියාත් තියනවා..
නින්දෙදි අඩනින්දෙදි වගේ
අවදියෙන් ඉන්න වෙලාවටත්
සියුම්ව ප්‍රිය හෝ අප්‍රිය ප්‍රතික්‍රියා
දක්වනවා..

ඉතිරි සියල්ලම
ඒ දෙකටම නැති
ප්‍රතික්‍රියා.

ස්පර්ශයට අමතරව
ඒ ඒ ප්‍රතික්‍රියා අනුව
ඇතිවෙන සංස්කාර
වේදනා වශයෙන්
චිත්ත වශයෙන්
ධම්ම වශයෙන්
අපිට දැනෙනවා.

ඒ ප්‍රතික්‍රියාවටත්
අපි ප්‍රතික්‍රියා දක්වනවා.
තව කෙනෙක් කරන කියන දෙයක් නිසා
අපිට තරහ ආවම
තරහ ගැස්සුවා කියල
දොස් කියන්නෙ ඒ අනුවයි.

සාමාන්‍ය විදසුනට වඩා
මුලු සිරුරටම සංවේදීව
ආනාපාන සතිය වඩද්දි
උපේක්ෂාව පවත්වාගන්න එක
පහසුයි.

මේ මොහොතෙ සිදුවෙන දේට
ප්‍රතික්‍රියාවක් දක්වන්නෙ
ඉන්ද්‍රිය ගෝචර
ස්පර්ෂ හා වේදනා අනුවයි.
බොහෝ විට
ප්‍රතික්‍රියාව ප්‍රබල වෙන්නෙ
ඉතාම ප්‍රිය හෝ අප්‍රිය
අපි සිත එකඟ කරන නිසයි.
අපිට ආනාපාන සතියෙන්
මුලු සිරුරටම සංවේදී
වෙන්න සිදුවෙලා තියෙන්නෙත්
මේ ප්‍රිය අප්‍රිය දේට
සිත එකඟ වෙලා තියන
ඇබ්බැහි කමෙන් මිදෙන්නයි.

[මේ මොහොතෙ
බාහිර වශයෙන් හෝ අභ්‍යන්තර වශයෙන්
කිසිම හේතුවක් නැතුව......]
අතීතයෙ අත්දැකීමකදි යටපත් වුණ
යම් අත්දැකීමක් නිසා
සංස්කාර මතුවෙනවා.
නින්දෙදි දකින
බොහෝ සිහිනවලට පදනම
මේ අතීත සංස්කාරයි.

මේ මොහොතෙ සිදුවෙන
ප්‍රිය අප්‍රිය - දෙකටම නැති
ස්පර්ශ වේදනා චිත්ත ධම්ම
පිළිබඳව සිහියෙන්
ඒ සියල්ලට උපේක්ෂාවෙන් ඉන්නවිට
අතීත සංස්කාර මතුවෙනවා.

හිතේ ඇතිවෙන සංස්කාර
අතීත වුණත්, වර්තමාන වුණත්
වැයවීම ස්වභාවයයි.
උපේක්ෂාව නැත්නම්
අභිජ්ඣා, දෝමනස්ස ඇති වුණොත්
සංස්කාර වැඩිවෙනවා.

අභිජ්ඣා දෝමනස්ස නැතිව
සමස්තය පිළිබඳව සිහියෙන්
ඉන්නවා නම්
උපදින සංස්කාර නිරුද්ධ වීම
සිදුවෙනවා..
ඒ නිරුද්ධවීම දැනෙනවා.

අතීත වුවත්, වර්තමාන වුවත්
සංස්කාර නිරුද්ධ වෙනවා නම්
දුක නිවෙනවා.

20121221

මිනිස්සුන්ගෙයි තිරිසනුන්ගෙයි ලොකු වෙනසක් නැහැ.


 


සුනඛයාට දැනෙන පරාසය සහ
හිතන්නට පුලුවන් පරාසය තුළයි
ඌ ක්‍රියා කරන්නෙ.

ඌට තරහා ආවොත්
කන්න දෙන අත සපා කන්නත්
ඌට පුලුවන්.

මෙතනදිත්
ඌට බැරි බව නොතේරෙන නිසයි
ඌ මේ දේ කරන්නෙ.

තමන් කරන්නෙ මොකක්ද කියල
නොදැන කරන හොඳත්
වටින්නෙ නැහැ.

මිනිස්සුන්ගෙයි තිරිසනුන්ගෙයි
ලොකු වෙනසක් නැහැ.
1, ප්‍රිය අයට හොඳ කරනවා.
2, අප්‍රිය අයට නරක කරනවා.
3, කරන්නෙ මොනවද කියල දන්නෙ නෑ.

මිනිස්සුත් ඔය තුන් විදියටම
ක්‍රියා කරනවා.

මිනිස්සු වෙනස් වෙන්නෙ වෙනත් දේකින්.

සමීපම කෙනෙක් වුණත්
බේරගන්න බැරි බව දන්නවා නම්
නොතැවී ඉන්න පුලුවන්
මිනිසෙකුට විතරයි.

තමන්ට හතුරු කම් කරන
කෙනෙකුට වුණත්
උපකාර වෙන්න වුණාම
තමන්ගෙ ද්වේශය දමනය කරගෙන
උදව් කරන්නත් පුලුවන්
මිනිසෙකුට විතරයි.

තමන්ට දැනෙන්නෙ මොනවද,
තමන්ට හිතෙන්නෙ මොනවද,
තමන් කියන්නෙ මොනවද,
තමන් කරන්න මොනවද කියල
දන්නෙ මිනිසා විතරයි.

ඒ දැනෙන, හිතෙන,
දෙ දැකලා ඒ අනුව
කියන කරන දේ
කළමනාකරනය කරගන්නත් පුලුවන්
මිනිසෙකුට විතරයි.

ඒ මිනිසත් බව
දියුණු කරගන්නෙ
නැති අය තිරිසනුන් මෙන්
ජීවත් වෙනවා.

නාම රූප හා චිත්ත රූප





දින දෙක තුනකට පෙර
බිරිඳගේ පාර්ශ්වයේ නෑදෑ පිරිසක්
අපේ ගෙදර නවතින්න ආවා.
පුතා ඒ කණ්ඩායමේ
පිරිමි ළමුන් දෙදෙනෙක් සමග
ගේ පුරා දුවමින් සෙල්ලම් කළා.
දෝණිත් එතන හිටිය
යොවුන් දැරියක් සමග
ඉතාම සමීපව හිටියා.
දෝණි එයින් ලොකු ඒක පාර්ශවික
මානසික සුවයක් වින්ද..

( පුතා ඇවිත් බලල ලියන්නෙ
මේ ගැන කියල දැනගත්තාම
මගෙන් ඇහුවා "ඒක පාර්ශවික"
කියන්න මොකක්ද කියල. )

"ඔයා DVD එකක් ප්ලේ කරනකොට
ඔයා සතුටු වෙනවා..
DVD එක සතුටු වෙන්නෙ නෑ.."

දෝණි හිනාවෙලා කියනවා
""DVD එක මිනිස්සු නෙමෙයිනෙ" කියලා.
ඒකෙදි පුතා විඳින සතුට
ඒක පාර්ශවිකයි..

පුතාගෙ සතුට කායික හා
මානසික යන තල දෙකෙන්ම
වින්ද අත් දැකීමක්.
දෝණිගෙ සතුට
බොහෝ දුරට තනිකරම වගේ
මානසික සතුටක්.
( දෝණි කියනවා
"ඒ ගොල්ලො ගියත් මට සතුටයි"කියලා.
ඒ කියන්නෙ ඒ ගොල්ලො නැති වුණත්
මගේ සතුට මට තියනවා" )
අර යුවතියට විශාල සතුටක් තිබුණෙ නෑ.
ඒත් ඈ හොඳ උත්ප්‍රේරකයක් විදියට
කැමැත්තෙන් ක්‍රියා කළා.

ඔවුන් ආව දවස්වල
පුතා පුංචි කාලෙ එයාට ලැබුලා.. කැඩිලා
බඩු මුට්ටු අතරෙ නැති වෙලා තිබුණ
සවි ශක්තිය අතින් ඉතාම ඉහළ
ඇමෙරිකානු කෙළි බඩුවක
රිද්මයකට හඬ නගන
හදවත වැනි කොටස
ආයෙ මතුවුණා.

ඒක වයින් කළාම
සිඟිති පාසල් වල කියන
"London bridge is falling down "

කියන ළමා ගීයෙ
තනුව වාදනය වෙනව.

අර මුලින් කියූ නෑදෑ පිරිස
ඇවිත් ඉඳිද්දි
දෝණි අර දැරිය ළඟින් ඉඳගෙන
නැවත නැවත ඒ සංගීතය
වාදනය කරමින් වින්දා.

දින දෙකකින් ඔවුන් ආපසු ගියා.
ඔවුන් දෙන්නාම වියෝ දුක
සියුම්ව විඳිනවා මිසක්
හඬා වැලපෙන සිරිතක් නැහැ.

දෝණි නිදා ගත්තා.
පුතා DVD එකක් වාදනය කළා.
පස්සෙ පුතාට ඔවුන් මතක් වෙලා
ඇඬිලා තිබුණා.
දෝණිත් ඇයි අඬන්නෙ කියල අහලා
හේතුව කිව්වාම එයත් අඬාගෙන
අපි ළඟට ආවා.

මම ඈට කිව්වා
"අපිටත් එහෙම තමයි..
කට්ටියක් ඉඳල ගියාම දුකයි.
අපි උපේක්ෂාවෙන් ඉන්නවා.
ඔයාට පුලුවන් නම් ...
උපේක්ෂාවෙන් ඉන්න..
බැරි නම් අඬන්න...
කෙල්ලො ඇඬුවට කමක් නෑ" කියලා.

ඒ වෙලාවෙ දෝණි ආවෙත්
අර සංගීතය වාදනය වෙන
.
මම අඬන්න කිව්වාම ඇගේ
ඇඬුම නැවතුණා.

එය අසමින් ඔවුන් රස විඳින්නෙ
ඒ සද්දෙ නෙවෙයි..
ඒ සද්දෙ ඇහෙන කොට
නෑදෑයන් මතක්වීම බව
අපි ඔවුන්ට කිව්වා.

අද උදේ දෝණි නැගිටලා ගිහින්
අර කෙළි බඩුවෙ සංගීතය
වාදනය කරමින් වින්ද.
මම ඈට කතා කරල ඇහුවා
"ඇයි ඔයා ඕක අහන්නෙ" කියලා.
එයා මුලින් කිව්ව දේ මට මතක නැහැ.
ඒක අපැහැදිලි නිසා මම ආයෙත් ඇහුවා
"ඕක දාගෙන ඉන්න කොට
ඔයාට දැනෙන්නෙ මොකක්ද"කියලා.
ඒ වෙලාවෙදි එයා කිව්වා
සචී අක්කා මතක් වෙන නිසා කියල.

දැන් එයාට කතා කරලා
නැවත අහන කොට එයා කියනවා,
"ඒක දාගෙන ඉන්නකොට
සචී අක්ක ඉන්නවා වගේ පේනවා" කියලා.

මම පුතාටත් කතා කරල
දෙන්නගෙන්ම ඇහුවා
"මේක ඇහෙන කොට ඔයාලට දැනෙන්නෙ
සතුටක්ද දුකක්ද?" කියල.
පුතා කිව්වෙ "දුකක්" කියලා.
දෝණි කිව්වෙ "සතුටක්" කියලා.

ඊට එක හේතුවක් වශයෙන් මට හිතුණෙ
පුතා කායික හා මානසික තල දෙකන්ම
අත් විඳපු සතුට ඔහුට අර
සංගීතයෙන් මතු වුණාට
ඒ අත්දැකීම
සංගීතයෙන් විඳින්න බෑ.
ඒ හින්දා ඔහුට ඒක දුකක්.
දෝණි වින්දෙත් විඳින්නෙත්
චිත්ත රූපයක් නිසා
ඈට ඒ ඇති.
මම ඔවුන්ට ඒ වෙනස කිව්වා.

සිත හොයන දේ කයට නැත් නම්..
කය විඳින දේ සිතට එකඟ නැත්නම්
මිනිසා දුක් විඳිනවා.
කය වර්තමානයෙහි පවතිද්දි
සිත අතීතයෙන් හෝ අනාගතයෙන්
යමක් ඉල්ලනවානම්
චිත්ත රූපයකට වැඩි දෙයක්
ලබා ගන්න බෑ.
ඔහු මවා ගත්ත චිත්ත රූපය විඳින කොට
කය කෑම බීම නැතිව දුක් විඳිනවා.

ප්‍රියයන් වෙන්වුණාම
චිත්ත රූපය මවා ගන්නා තැනැත්තා
කන්නෙ බොන්නෙ නැතුව දුක් විඳිනකොට
කය දුක් විඳිනවා.

ප්‍රියයන් වෙන්වුණාම
චිත්ත රූපය මවා නොගන්නා තැනැත්තා
ඒක මතක නැති කරගන්න
ඕනවට වඩා කමින් බොමින්
කයට දුක් දෙනවා.

දෙන්නටම සැනසිල්ලක් නැහැ.

නාම හා රූප වශයෙන් දෙකකට බෙදිලා
ජීවත් වෙන මිනිසා,
නාම රූප දෙක අතරෙ දෝලනය වෙමින්,
දුක් විඳිනවා.

නාම රූප දෙක එකක් මෙන්
ඒකකයක් මෙන් කටයුතු කරන විදියට
සම්පජානෝ සතිය දියුණු වෙනතුරු
මේ දුක් වලින් මිදෙන්න
එකම ක්‍රමයයි තියෙන්නෙ.

ඒ තමයි හිත දුක් විඳින කොට
ඒ දුක කයෙහිත් දකින එක.

ඒ ටික කර ගන්න බැරුව තමන්
යම් සංගීතයක් විඳිනවා නම්
යම් අඳෝනාවක් කරනවා නම්,
මැසිවිල්ලක් නගනවා නම්,
අඬෝවැඩියක් කරනවානම්,
අඬ දබර කරනවා නම්..
දුකෙන් මිදෙන්න කියලා
මොනවාම හෝ කරනවා නම්...
ඒ දේ කරන්නෙ හිතේ තියන දුක නිසා
කියල දකින එකයි.

දුක නිවෙන්න ආරම්භ වෙන්නෙ
දුක දැකීමෙන්.
දුකෙන් පැනල යන්න කරන දෙයින් වෙන්නෙ
දුක දළු ලන එකයි.

මම ආයෙත් අර සංගීතය වාදනය කරලා
පුතාගෙනුත් දෝණිගෙනුත් ඇහුවා,
"දැන් දැනෙන දුක ඉස්සෙල්ලා ගණනමද ?
අඩුද ? නැත්නම් වැඩිද ? කියලා.

දෙන්නම කිව්වා අඩුයි කියලා..

ඇයි ඒ?


20121215

ළුහුඬු දැන්වීම්.


උණුසුමත් සිසිලසත් සිරුරට දුකක්.

එක සීමාවකට වැඩි වුනාම
ඔය දෙකෙන්ම කෙනෙක් මැරෙනවා.

අපි සැපක් කියල වින්දට
F98.4ට වැඩි හා අඩු උශ්ණත්ව
ශරීරයට දුකක්..

========================================

 මගේ සීයා කවරෙක්ද යන්න මම නොදනිමි.





 

20121210

රස රස හා නිරස රස



ආහාර යනු මොනවාද.?
ආහාර වලින් සිදු වන්නේ කුමක්ද?

කිසියම් දෙයක් පවතින්නට
උපකාරී වන්නේ ආහාරයයි.

ආහාර නැති විට පැවැත්ම නතර වෙයි.

වාහනයට ඩීසල් හෝ පෙට්‍රල් ආහාර වෙයි.
විදුලි උපකරණයකට ඉන්ධන ආහාර වෙයි.

අවකාශය තුළ
අප පවතින්නේ
ආහාර නිසාය.

කාලය තුළ
අප පවතින්නේ
ආහාර නිසාය.

අපේ සිරුර පවතින්නේ
අප මුවින් ගන්නා ආහාර,
ජලය සහ ඔක්සිජන් නිසාය.

කය පවත්නා තලයෙන්
අප බාහිර ලෝකයත් සමග සම්බන්ධ වන්නේ
ආහාර ජලය හා ඔක්සිජන් මගිනි.

ඔක්සිජන්, ජලය සහ ආහාර
සිරුරේහි පැවැත්මට කෙළින්ම බලපායි.
ආහාර නැති විට පැවැත්ම නතර වෙයි.
කයට ආහාර නැතිව
ජීවිතයට පැවතිය නොහැක.


කයට ආහාර දීමෙන් වැලකී
එමගින් සිත හා කය දමනය කරන්නට
උපවාස කරන්නා හුරු වෙයි.

සිරුරට ආහාර සහ ජලය මෙන්
ඔක්සිජන් අඩංගු වායුව
සිරුරේහි සහ මනසෙහි පැවැත්ම යන
දෙකටම බලපායි.

සිරුර වැඩි වේගයකින් ක්‍රියා කරන විට
ආහාර සහ ඔක්සිජන්
වැඩියෙන් අවශ්‍ය වෙයි.

මනස වේගයෙන් ක්‍රියා කරනවිට...
එනම් ආවේගශීලී වූ විට
හුස්ම ගැනීම වේගවත් වී
ඔක්සිජන් වැඩියෙන් ලබා ගනියි.
සිත එකඟ වන විට
හුස්ම සියුම් වෙයි.

සිරුරට ආහාර සහ ජලය මෙන්
ස්පර්ශයත් සිරුර හා මනස
පවත්වා ගැනීමට අවශ්‍ය ආහාරයකි.
ස්පර්ශය නොදැනී ගියහොත්
අප ආහාර ගන්නේ නැත.
ස්පර්ශය නොදැනෙන විට
ආහාරයෙහි රසය නැතිව යන බැවිනි.

අප රූප දකින්නේ ඇස් වල ස්පර්ශය නිසාය.
අපට ශබ්ද ඇසෙන්නේ කන් වල ස්පර්ශය නිසාය.
අන් ඉඳුරන් පිළිබඳවද එසේමය.

ඒ අයුරින් ස්පර්ශය
ශරීරයේ සහ
ඉඳුරන්ගේ පැවැත්මට
අවශ්‍ය වන ආහාරයයි.
අප ඉඳුරන් මගින්
ලෝකය හා බැඳෙන්නේ
ස්පර්ශයෙනි.

සීලයෙන් කයත් සිතත්
සංවර කරගන්නා කෙනෙකු
ස්පර්ශයෙන් ලැබෙන ආහාරයට
උපවාසය පුරුදු කර
යම් පමණකට
සිත හා කය දමනය කර ගන්නට
පුහුණු වෙයි.

සිරුරට ආහාර සහ ජලය මෙන්
මනස පවතින්නටද
ආහාර අවශ්‍යය.
අප සිතන සිතුවිලි
මනසට ආහාරයි.
අප අතීතය හා අනාගතය සමග
සම්බන්ධ වන්නේ සිතුවිලි මගිනි.
අප කාලය තුළ ක්‍රියා ශීලී වන්නේ
සිතුවිලි මගිනි.

අප සිතීම නතර කළ විට
සිත නතර වෙයි.

අන් සියලු අත්දැකීම වලට
ඇති සංවේදී බව අක්‍රිය කොට
සිත එක් අරමුණක තබාගෙන ඉන්නා
සමථ යෝගියා
අක්‍රිය භාවයට සිත ඇබ්බැහි කරයි.
අක්‍රියබවට ඇබ්බැහි වන
ඔහු සිත ක්‍රියා කළ යුතු විට පවා
සිත අක්‍රිය කරගෙන
ධ්‍යාන සුවයෙන් පසු වෙයි.
ධ්‍යානය යනු
සිතුවිලි හා හැඟීම් වලට
උපවාසයෙන් පසු වී ලබා ගන්නා
අක්‍රිය සිතයි.
ඒ අයුරින්ද සිත
යම් පමණකට දමනය වෙයි.

විඤ්ඤාණයට ආහාරය නම්
මුලින් විස්තර කරන ලද
ආහාර වර්ග වල ස්පර්ශයට
හා ඉන් ජනිතවන වේදනාවට ඇති
රස, අප්‍රිය රස හා නිරස නිසා ඇතිවන
ප්‍රිය හෝ අප්‍රිය බව සහ
මැදහත් බවයි.

ඉහත කී ආකාරයට
සිත සහ කය
අවශ්‍ය පමණට ආහාර ගන්නා විට
සිත සහ කය
ස්වාභාවිකව පැවතිය හැකි
කාලය පමණක් පවතියි.
දීර්ඝ කාලයක් ජීවත් වන්නේ ඔවුන්ය.

ආහාර නැතිවීම දුකකි.
ආහාර සොයා යෑමද දුකකි..
සිරුරට මෙන්ම මනසටද
කුසගින්නක් හා පිපාසයක් ඇත.

කුසගින්නට හා පිපාසයට
ආහාර ගන්නා තැනැත්තා
අහාරයෙහි ප්‍රිය බව නිසා
විඤ්ඤාණයට ආහාරය වන
ප්‍රිය බව සොයන්නට වෙයි.
කයෙහි හා සිතෙහි
කුසගින්න හා පිපාසයට වඩා
විඤ්ඤාණයෙහි කුස ගින්නට
ආහාර සොයන්නට ඔහු පෙළඹෙයි.

රස ප්‍රිය නම් ආහාරයක් නොවන දෙයක් වුව
ඔහු සිරුරට හා සිතට එක් කර ගනියි.
අප්‍රිය නම් ආහාරයක් වුවද
ප්‍රතික්ශේප කරයි.
මෙසේ ඔහු ආහාරයට වඩා
රසය මත යැපෙන්නට පටන් ගනියි.

මූලික ආහාරයට ඇති අවශ්‍යතාවය
ඉටු කර ගැනීම දුකක් නොවේ.
දුක ඇත්තේ අන්ත දෙකෙහිය.
දුක පවතින්නේ,
ආහාර නැතිව ජීවත් වීමට සිදු වීම සහ
රසය මත ආහාර සෙවීම තුළය.

රසය මත ආහාර සොයන්නා මෙන්ම
රසය මත ආහාර  ප්‍රතික්ෂේප කරන්නාද
මනසින් හා කයින් දුක් විඳින
ප්‍රමාණය වැඩිය.

ප්‍රිය රසයෙන් මනස සනසන්නට
කයට අනවශ්‍ය ආහාර ඇතුල් වීමෙන්
කය දුක් විඳියි.
ඖෂධ වැනි ආහාරවල
රසය අප්‍රිය වූ විට
සිත දුක් විඳියි.

දුකට හේතුව වන්නේ
ආහාරයෙහි ප්‍රිය රසය සෙවීමය.
එය සොයන්නේ කලින් විඳි රස පිළිබඳව
තොරතු රැස් කරගෙන සිටින
විඤ්ඤාණයයි.

විඤ්ඤාණයට ආහාරය වන්නේ
ස්පර්ශය, වේදනා, හැඟීම් හ සිතුවිලි වල
රස, අප්‍රිය රස හා නිරස නිසා ඇතිවන
ප්‍රිය හෝ අප්‍රිය බව සහ
මැදහත් බවයි.

සිතින් හෝ කයින් ගන්නා
ආහාර වර්ග අවම කිරීමෙන්
සිත හා කය අක්‍රිය කළ හැකි වුවද
ආහාර කයට හා ඉතට ගන්නා ආහාර
නොගෙන සිටීමෙන්
විඤ්ඤාණයෙහි පැවැත්ම දුර්වල නොවෙයි.

මන්ද යත්,
ආහාර නොගෙන සිටීමද
විඤ්ඤාණයට ප්‍රිය හෝ අප්‍රිය වන බැවිනි.
ගන්නා ආහාරය නොදැනුනද
එම තොරතුර පවා
විඤ්ඤාණය සටහන් කරගන්නා බැවිනි.

ඒ අනුව
අනික් ආහාර වලින් වැළකී සිටිය හැකි වුවද
විඤ්ඤාණය පෝෂණය වීම
සාමාන්‍ය ආකාරයට දකින්නෙකුට
නතර කළ නොහැක.
විඤ්ඤාණය පැය විසිහතර පුරාම
ලැබෙන ආහාරයෙන් පෝෂණය වෙයි.

කය ආහාර ගන්නා විට
ආහාරයෙහි රසය ඉතා ප්‍රිය නම්
විඤ්ඤාණය රාගයෙන් පෝෂණය වෙයි.
අප්‍රිය නම්, එයින්ද
විඤ්ඤාණය ද්වේෂයෙන් පෝෂණය වෙයි.
ප්‍රිය හෝ අප්‍රිය භාවය අවම වනවිට
මෝහයෙන් පෝෂණය වෙයි.
විඤ්ඤාණයට ආහාරය
සංස්කාරයි.

සංස්කාර නිරෝධ වන්නේ
විඳින අත් දැකීම්
විද්‍යාමාන වීමෙනි.
සිහිය දියුණු වීමෙනි.
අවිද්‍යාව දුරු වීමෙනි.



විඤ්ඤාණය දුර්වල කරන්නට නම්
විශේෂ ආකාරයකින්
දැකිය යුතුය.

අප අත් දකින දේට
අවසිහියෙන් සිටීමෙන්
මෝහ සංස්කාර ඇති වෙයි.

අප අත් දකින දේට
ලොබ බඳීමෙන්
රාග සංස්කාර ඇති වෙයි.

අප අත් දකින දේට
ද්වේශය ඇති කර ගැනීමෙන්
මෝහ සංස්කාර ඇති වෙයි.

විඤ්ඤාණය
පෝෂණය නොවන ආකාරයට
විසිය හැක්කේ
එනම් සංස්කාර ඇති වීමෙන්
වැළකී විසිය හැක්කේ
කයින් හා සිතින්
අප අත් දකින සියලුම දේට
සිහියෙන් සිටින අතරම
කයින් හා සිතින්
අප අත් දකින සියලුම දේට
ලොබ බැඳීමෙන් හා
දොම්නසට පත්වීමෙන්
වැළකී සිටීමෙනි.

දුකට හේතුවන
විඤ්ඤාණය නිරෝධ කර ගන්නට නම්
අප පැය විසි හතර පුරාම
මුලු ශරීරයෙන්ම සහ මනසින් විඳින
සියලුම ප්‍රිය අප්‍රිය හා මැදහත් වේදනා,
සිතුවිලි හා හැඟීම් පිළිබඳව
පූර්ණ සිහියෙන්,
එනම් සම්පජානෝ සතියෙන් සහ
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් විසීමෙනි.

මේ මොහොතෙහි
කයින් හා සිතින්
අප අත් දකින සියලුම දේට
සිහියෙන් සිටින අතරම
කයින් හා සිතින්
අප අත් දකින සියලුම දේට
ලොබ බැඳීමෙන් හා
දොම්නසට පත්වීමෙන්
වැළකී සිටීමෙනි.

නිවන් දකින්නට පෙර
දුකෙන් මිදෙන්නට නම්
ආහාර ජයගත යුතුය.

ඒ සඳහා එකම මග
විදසුනයි.





20121207

ජීවිතයක පරාසය



මිනිසෙක් A නම් ස්ථානයෙන්
බරක් ඔසවා ගෙන පිටත් වෙයි.
ඔහු B නම් දුරක් යන විට ඔහුට
එහි බර දැනෙන්නට පටන් ගනියි.
දැනෙන බර අනුව ඇතිවෙන
අප්‍රිය වෙදනාව නිසා
ඔහුගෙ සිතේ ව්‍යාපාදය ඇති වෙයි.
බර අනුව වැඩි වෙන ව්‍යාපාදය
දරාගත නොහැකි තැන
C නම් ස්ථානයේදී බර බිම තබයි.
ඔහුගෙ ජීවිතයෙහි වටිනාකමේ පරාසය
B සහ C අතර පරාසයයි.

ඔහුට බර නිසා සිරුරෙහි ඇතිවෙන වෙනස දැනුනේ
වේදනා පිළිබඳව සිහිය ඇතිවුණේඔහුට අවිද්‍යාමාන ඒකක 15 දීය.

ඔහුට විද්‍යාමාන නොවූනාට
ඔහු බර ඔසවද්දීම
එම වෙනස සිදු වෙයි.
ඔහුගේ කය පිළිබඳව හා වේදනාව පිළිබඳව
ඔහුගේ සිහිය පූර්ණ ලෙස වර්ධනය වුවහොත්
එම ඒකක 15ත් ඔහුගේ වටිනාකම් පරාසයට එක්වෙයි.

ඔහුගේ සිරුරෙහි ඇති අප්‍රිය වේදනාවට සහ
සිතෙහි ඇති ද්වේශ මූලික ව්‍යාපාදයට
ඔහුට දරාගත හැකි පරාසය ඒකක 35කි.

සිරුරෙහි ඇති අප්‍රිය වේදනාවට සහ
සිතෙහි ඇති ද්වේශ මූලික ව්‍යාපාදයටට
උපේක්ෂාවෙන් ගියොත්
ඔහුගේ සිරුරෙහි ශක්තිය අනුව
බර බිම නොතබා යා හැකි දුර
ඒකක සියයකි.

එම ව්‍යාපාදයෙන් මිදීමට ඇති තණ්හාව
උපාදාන කර නොගෙන
සිරුරෙහි ඇති අප්‍රිය වේදනාවට සහ
සිතෙහි ඇති ද්වේශ මූලික ව්‍යාපාදයට
උපෙක්ෂාව වඩන්නේ නම්
ඔහුට ඒකක සියයක දුරක් යෑ හැක.

මේ අනුව ඔහුගේ ජීවිතයෙහි වටිනාකම
සියයට 35කි.

ඔහුම විදර්ශනා වඩන විට
කය, කයෙහි වන වෙනස්වීම්
සිත, සිතෙහි වන වෙනස් වීම් පිළිබඳව
දියුණු වන සිහියත්, උපෙක්ෂවත් නිසා
කයෙහි අප්‍රිය වේදනාවටත්,
ද්වෙශ මූලික ව්‍යාපාදයටත්
වහල් නොවී
ඔහු විදර්ශනා කරන්නට පෙරදීට වඩා
පුළුල් පරාසයක ක්‍රියා කළ හැකිවේ.

දියුණු වන සිහිය නිසා 15ට කලින්
ඔහුට අප්‍රිය වේදනාව දැනෙන්නට වෙයි.
ඊට උපෙක්ශාවෙන් යන තරමට
ද්වේශ මූලික ව්‍යාපාදය
ඇතිවන ප්‍රමාණය අඩුය.
එසේම ඔහුට එයින්ම
විදර්ශනා පුහුණුවද දියුණු වෙයි.

සිහිය නැති උපේක්ෂාව නැති කෙනෙක්
මළමිණියක් වගෙයි..

මළ මිණියකට කය දැනෙන්නෙ නෑ.
මිනිසුන්ට කය දැනෙන්නෙ
කොයි තරම් සීමිතවද.?
කය දැනෙන්නෙ නැති කෙනෙක්
සැප විඳින්නෙත් ඒ ප්‍රමාණයටයි..
වේදනා ගැන සිහිය නැති කෙනෙක්
සැප විඳින්නෙත් ඒ ප්‍රමාණයටයි..

කය ආහාර ගනිද්දි
හිත වෙනත් තැනක.
හිත දුවන එක නතර කරගන්න
කණ පැලෙන්න රස හොයනවා.
සියුම් රස මග හැරෙනවා.

සැප විඳින්න දුක් විඳිනවා.
සැප මග හැරෙනවා.
සිහිය දියුණු වෙන කොට
සැපත් වැඩි වෙනවා..
මෝහයෙන් විඳින සැප
හිල් කූඩෙකින් වතුර අදිනවා වගෙයි..


ඔබේ හුස්මත්
ඔබේම හෘදස්පන්දනයත්
විඳින්න පුළුවන් තරමට
සිහිය දියුණු කරගන්න..
ඔබ මෙතෙක් නොවිඳි සියුම් සැප
විඳින්න ලැබෙයි..

උපේක්ෂාව දියුණු කරගන්න.
ඔබ මෙතෙක් නොවිඳි දුක් දරාගෙන
වෙන අය පැනල යන තැනුත්
විඳින්න පුළුවන් වෙයි..

ඔබ විඳින පරාසය වැඩි වෙයි..
බුදුන් වහන්සේගෙ දහමෙන් කරන්නෙ
ඔබ විඳින පරාසය
සියයට සියය දක්වා
වැඩි කරන එකයි