20130305

භික්‌ෂු සමාජයේ විනය ශික්‌ෂා පද



චේතනාව හා බෞද්ධ නීතිය
නීතිඥ එස්‌. ඉගලහේවා

අපරාධ නීතියේ සහ බෞද්ධ ආරාම නීතියේ සමහර ලක්‍ෂණ හා මූලධර්ම සංසන්දනාත්මකව සලකා බැලීමක්‌


බෞද්ධ නීතිය Buddhist Law

බුදුන් වහන්සේ සිය ශ්‍රාවක භික්‌ෂු භික්‌ෂුණි සමාජය නොහොත් සංඝ සමාජය එහි සාමාජිකයන්ගේ හැසිරීම් රටාව පාලනය කරනු ලැබූ නීති පද්ධතියක්‌ හෝ මගින් ප්‍රජාතාන්ත්‍රික පදනමක්‌ මත සකස්‌ කළ සේක. එවැන්නක්‌ ඇති කිරීමට මූලික වූ කරුණු බුදුන්වහන්සේ විසින්ම දේශනා කර ඇත. පෙර සිටි සමහර බුදුවරුන්ගේ ධර්මය බොහෝ කල් පැවතීමටත්, සමහර බුදුවරුන්ගේ ධර්මය කෙටි කාලයක්‌ පැවතීමටත්, හේතු කවරේදැයි ශ්‍රාවක භික්‌ෂූන් ප්‍රශ්න කළ විට බුදුන්වහන්සේ ප්‍රකාශ කළේ, විනය රීති මාලාවක්‌ හෝ ශික්‍ෂණ රීති පද්ධතියක්‌ පැන වූ බුදුවරුන්ගේ ධර්මය දීර්ඝ කාලයක්‌ පැවති බවත්, එසේ විනය නීති මාලාවක්‌ නොපැනවූ බුදුවරුන්ගේ ධර්මය පැවතියේ මඳ කාලයක්‌ පමණක්‌ බවත්ය. බුදුන්වහන්සේටද එවැනි නීති මාලාවක්‌ පනවන ලෙස භික්‌ෂුහු ඇවටිලි කළහ. එහෙත් බුදුන්වහන්සේ ඒ අවස්‌ථාවේ ප්‍රකාශ කළේ ඒ අවස්‌ථාව වන විට සිටි 500 ක්‌ පමණ වූ ශ්‍රාවක භික්‌ෂූන් වහන්සේ පිරිස සුළු සංඛ්‍යාවක්‌ වූ නිසාත්, ඔවුන් ඒ වන විට මාර්ග ඵල ලාභීන් වූ නිසාත්, දැන්ම එවැනි ව්‍යවස්‌ථා මාලාවක අවශ්‍යතාවයක්‌ නොමැති බවයි. එවැනි නීති මාලාවක්‌ අවශ්‍ය වන්නේ සංඝ සමාජය වඩාත් වර්ධනය වූ අවස්‌ථාවක බවද උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළ සේක.

භද්දලී සූත්‍රයෙහි (ම.නී) එන සිද්ධියක්‌ අනුව මුල් කාලයේ විනය නීති තිබුණේ සුළු කාලයක්‌ වුවද ඒ අවධියේ මාර්ගඵල ලාභීන් වැඩියෙන් සිටීමටත්, විනය නීති වැඩියෙන් තිබූ පසු කාලයේ සත්‍යාවබෝධ කළ පිරිස අඩුවීමටත් හේතු කවරේ දැයි භද්දලී භික්‌ෂුව බුදුන් වහන්සේගෙන් විමසූ අවස්‌ථාවේ උන්වහන්සේ ප්‍රකාශ කළේ සමස්‌ත සමාජයම පිරිහීයාම බවයි.

බෞද්ධ සංඝ සමාජය පොදු තාපස නිකායක්‌ ලෙස ආරම්භ වුවත්, එය ජන රජයක පවත්නා ගෞරව සම්ප්‍රයුක්‌ත බවින් හා උදාර බවින් යුත් සමාජයක්‌ ලෙස ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වුණි. උත්තරීතර සදාචාරාත්මක පරමාර්ථත්, අචල චිත්ත පාරිශුද්ධිය ලබාගැනීමත් එකී සමාජයේ අරමුණු විය. සංඝ සමාජයත්, එහි සාමාජිකයනුත් හා රාජ්‍යතන්ත්‍රය අතරත් ඇති සම්බන්ධතාවය සලකා බැලීමේදී "විනය නීති" "නීති විමාංශයක" (Jurisprudence) ඇති ගෞරවනීය භාවයට අයිතිවාසිකම් ලැබීමට සුදුසුකම් ඇත. විනය නීති සඳහා රාජ්‍ය අනුග්‍රහය හැම විටම ලැබිණ. එම නිසාම ඒවාට නීතියේ බලයද තිබිණ. කෞටිල්‍ය නැමති සම්භාවනීය භාරතීය අර්ථ ශාස්‌ත්‍රඥයා පවසන පරිදි සංඝ සමාජයේ හා කුලවල පැවති නීතිය ආරක්‍ෂා කිරීම රජුගේ වගකීම විය.

ලිච්ඡවි පුර ස්‌ත්‍රියක්‌ පරදාර සේවනයෙහි යෙදීම නිසා කෝපයට පත් ඇයගේ ස්‌වාමිපුරුෂයා ඇය මැරීම සඳහා ප්‍රයත්න දැරූ අවස්‌ථාවේ ඇය පැන ගොස්‌ සාවත්තියේදී පැවිදි බව ලබාගත්තාය. තම අභිමතාර්ථය ඉෂ්ට කර ගත නොහැකි වූ සැමියා මේ සම්බන්ධයෙන් පසේනදී රජතුමාට පැමිණිලි කළේය. ස්‌ත්‍රිය පැවිදි වීම නිසා රජු ඇයට දඬුවම් නොකළේය. මේ අනුව සංඝ සමාජයේ පාලනයෙන් රජු ඈත් වූ බව පෙනේ. තවත් අවස්‌ථාවක රජුගේ දැව ගබඩාවකින් ගබඩාකරු නොමග යවා දැව රැගෙන ගිය භික්‌ෂුවක්‌ සම්බන්ධයෙන් රජු ක්‍රියා නොකොට ඒ සම්බන්ධයෙන් බුදුන්වහන්සේට සුදුසු ක්‍රියා මාර්ගයක්‌ ගැනීමට ඉඩ හැරියේය.

මේ අනුව සංඝ සමාජය තුළ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ අඛණ්‌ඩව පැවති සම්ප්‍රදායයන් අනුව කටයුතු කිරීමේ වරප්‍රසාදය සංඝ සමාජයට ලැබුණු අතර එම කටයුතු සම්බන්ධයෙන් පිටස්‌තර අධිකාරීන් කිසිවකුත් ඇඟිලි ගැසුවේ නැත.

බුදුරදුන් විනය නීති පැනවූයේ අවශ්‍යතාවක්‌ මතු වූ විට පමණි. විනය ශික්‌ෂා පද පැනවීමට හේතු වශයෙන් බුදුන් වහන්සේ හේතු දහයක්‌ දැක්‌වූහ.

1සංඝ සමාජයේ අභිවෘද්ධිය

2 සංඝ සමාජයේ පහසුව

3 තක්‌කඩියන් මැඩීම

4 යහපත් වර්යාවෙන් යුත් භික්‌ෂුන්ගේ යහපත

5 ඒ ඒ අවස්‌ථාවල සංඝ සමාජයේ ඇතිවන අපචාර වැළැක්‌වීම

6 ඉදිරියේ ඇතිවිය හැකි අපචාර වැළැක්‌වීම

7 තමන්වහන්සේගේ ධර්මයෙහි නොපැහැදුනු අයගේ විශ්වාසය ඇතිකිරීම

8 පැහැදුනුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම

9 ආයය ධර්මයාගේ චිරජීවනය

10 විනයගරුක බව ප්‍රවර්ධනය කිරීම

විනය පිටකයේ සඳහන් බරපතළ වැරදි සහ අපරාධ නීතිය (Garve offences under the vinaya rules and the penal Law)

කලින් සඳහන් වූ පරිදි විනය නීති පද්ධතිය "පාතිමෝක්‌ඛ" නම් වේ. මේවා ගණනින් 227 කි. ඉන් හතරක්‌ මහා දණ්‌ඩනයට යටත්වන බරපතළ වැරදිය. සාමාන්‍ය නීතියේ එවැනි වරදවල් උපරිම දණ්‌ඩනයට යටත් වේ. අපගේ අපරාධ නීතිය අනුව එවැනි වරදක්‌ කළවුන් මරණීය දණ්‌ඩනයටද යටත් වේ. එහෙත් ශාරීරික දඬුවම් පැමිණවීම බුදුදහම පිළිකෙව් කරන බැවින් එවැනි බරපතළ වරදකට දුන් උපරිම දඬුවම් වූයේ සංඝ සමාජයෙන් නෙරපා දැමීමයි. එය "පාරාජිකා" නමින් හැඳින්වේ. භික්‌ෂු විනයෙහි බරපතළ වැරදි ලෙස හැඳින්වෙන වැරදි හතරක්‌ දැක්‌වේ. ඒවා හැඳින්වෙන්නේ "පැරදුනේය" යන අර්ථයෙන් පාරාජිකා ශික්‌ෂා පද යනුවෙනි. මෙයින් අදහස්‌ වන්නේ සත්‍ය සොයා යන ගමනේ බිඳ වැටීමක්‌ය. එවැන්නෙකුට තවදුරටත් ආයH_ය සමාගමෙහි රැඳිය නොහැක එවැනි වරදක්‌ කළ අයෙකු පුනරුත්ථාපනය කළ නොහැක. පසු කලෙක එකතු වූ ලෙස සැලකෙන "තුල්ලච්චය" සහ "දුක්‌ඛත" නමින් හැඳින්වෙන බරපතළ වැරදි දෙකක්‌ ගැනද සඳහන් වේ. එහෙත් ඒවා පාරාජිකා වැරදිවලට වඩා බරපතලකමින් අඩුය. එවැනි වරදවල් සඳහා ලැබෙන දඬුවම උපසපන් ජ්‍යෙෂ්ඨ භික්‌ෂුන්ගෙන් සමන්විත උපෝසථ කර්ම නමින හැඳින්වෙන රැස්‌වීමකදී කළ භික්‌ෂුවක්‌ විසින් කරනු ලබන හෙළිදරව්වකින් හා පසුතැවිල්ලක්‌ ප්‍රකාශ කිරීමෙන් නිරාකරණය කරනු ලබන උපෝසථකාමී ශික්‌ෂාපද නම් වේ.

භික්‌ෂු විනය ශික්‌ෂාපද ඒවායේ බරපතළකම අනුව සංඝාදිසේස, අනියත නිස්‌සග්‍ය පාචිත්‍යය, පව්දේශනිය, සේකීය හා අධිකරණ සම්මත යනුවෙන් කොටස්‌ ගණනාවකි. මෙයින් සංඝාදිසේස ශික්‌ෂාපද, තුල්ලච්චය හෝ දුක්‌ඛත වැරදි ගනයට ගැනෙන බරපතළ වැරදිය. එහෙත් ඒවා පාරාජිකා වැරදි නොවේ. ඉහත කී වර්ග පිළිවෙළින් බරපතළ කමින් අඩු වේ. සේකීය යනු පුහුණුවීම්වලට අදාළ නීතියයි. අධිකරණ සම්මත යනු විවාදයට බඳුන් වූ කරුණු සමථයකට පත්කළ හැකි ඒවාය. මෙම නීති සියල්ල සලකා බැලීම මෙම ලිපියෙන් අදහස්‌ නොකෙරේ. මෙම සාකච්ඡාවට සීමා වන්නේ "පාරාජිකා" නම් බරපතළ වැරදි අපගේ දණ්‌ඩ නීති සංග්‍රහයේ දැක්‌වෙන බරපතළ වැරදිවලට අදාළ ලක්‌ෂණ සමග කොතරම් දුරට ගැලපේද යන්න සලකා බැලීමයි. ඒවා ගැන වුවද හැම ලක්‌ෂණයක්‌ම සලකා බැලීමට බලාපොරොත්තු නොවේ.

සමහර සුළු වැරදි සම්බන්ධයෙන් බොහෝ විට දඬුවම වූයේ වැරැද්ද කළ භික්‌ෂුව පරිවාස කාලයකට යටත් කොට ඔහු ගැන විමසිල්ලෙන් පසුවීමට අධීක්‌ෂණ භික්‌ෂුව ලෙස ජ්‍යෙෂ්ඨ භික්‌ෂුවක්‌ පත්කරනු ලැබීමයි. එකී භික්‌ෂුව වැඩිදියුණු වී ඇත්නම් පරිවාස කාලය ඉවත් කෙරේ. එසේ නොවුනහොත් පරිවාස කාලය දීර්ඝ කෙරේ. මෙය අපගේ රැකියා ක්‍ෂේත්‍රය තුළ අලුත් සේවකයකු පරිවාස කාලය නමැති පරීක්‌ෂණ කාලයකට යටත් කිරීම හා සමාන වේ. පරිවාස සංකල්පය මෙන්ම එම වචනයද ලැබුණේ ආරාම නීතියෙනි.

සතර පාරාජිකා

1. මෙථුන ධම්ම පාරාජිකා (Parajika Rule of sexual indualgence)

2 අදත්තාදාන පාරාජිකා (Parajika Rule of talking by means of theft what is not given)

3 මනුස්‌ස විග්ගහ පාරාජිකා (Parajika Rule of international killing of a human being)

4 උත්තරී මනුස්‌ස පාරාජිකා (Parajika Rule of false claim for supernatural powers)

1. මෛථුන ධම්ම පාරාජිකා

භික්‌ෂුවක්‌ ලිංගික සංසර්ගයෙහි නොයෙදිය යුතුය. එසේ කළ හොත් ඔහු පාරාජිකා වන්නේය. ඔහුට තව දුරටත් සංඝ සමාජයෙහි රැඳී සිටිය නොහැක. මෙය මුලින් පැන වූයේ මනුෂ්‍යයන් අතර වන ලිංගික සම්බන්ධකම්වලට පමණක්‌ වුවද, පසුව පැන නැඟී අවස්‌ථාවන් අනුව සතුන් සමග සංසර්ගයේ යෙදීම මෙන්ම අස්‌වාභාවික හා ස්‌ව ලිංගික ක්‍රියාවන් ද ඇතුළත් කර ඇත.

මෙම පළමුවන පාරාජිකා විනය පැනවීමට ආසන්නම හේතුව වූයේ බුදුන් දවස විශාලා පුරයට නුදුරුව විසූ නාලන්දක නම් සිටුවරයාගේ පුත් "සුදින්න" ඇසුරින් වූ සිද්ධියකි. සුදින්නට බුදුන්වහන්සේ කෙරෙහි ඇති වූ අසීමිත භක්‌තිය නිසා උන්වහන්සේගේ ශ්‍රාවකයකු වීමේ දැඩි වුවමනාවක්‌ ඇති විය. තම එකම පුත් සුදින්නගේ බලවත් ඇවිටිල්ල නිසා දෙමව්පියෝ අකමැත්තෙන් වුවද එයට එකඟත්වය පළ කළහ. මෙසේ දෙමවුපියන්ගේ කැමැත්ත අවශ්‍ය වූයේ දෙමවුපිය කැමැත්ත නොමැතිව පැවිදි කරවීමට බුදුන්වහන්සේ අකමැති වූ නිසාය. සුදින්න මහණ වී මහණ දම් රකිමින් ශික්‌ෂාකාමි ජීවිතයක්‌ ගත කළේය. ඔහු පිණ්‌ඩපාතය සඳහා ගමෙහි සැරිසරන විට දෙමවුපියන්ගේ නිවසටද පිඬුසිඟා යැමේ සිරිතක්‌ විය. මෙසේ හමුවන හැම අවස්‌ථාවකම පැවිදි ජීවිතය අතහැර ඇවිත් තම පරපුර ඉදිරියට ගෙන යැම සඳහා දරුවකු ලබාදෙන ලෙස දෙමවුපියන් ඇවිටිලි කළත්, සුදින්න කැමැත්තක්‌ දැක්‌වූයේ නැත. දිනක්‌ දෙමවුපියන් සුදින්නගේ පෙර භාර්යාව කැඳවා ගෙන ගොස්‌ සුදින්න වැඩ සිටි කුටියෙහි රඳවා ආහ. පසුව සුදින්න තම පෙර බිරිය සමග මෛථුන සේවනයෙහි යෙදීම නිසා ඇයට දරුවෙකු ලැබිණ. මේ සිද්ධිය කටින් කට පැතිර ගොස්‌ මහජනයා භික්‌ෂුන්ට පොදුවේ දොස්‌ පැවරීමට පටන් ගත්හ. මෙම සිද්ධිය බුදුන් දැනගැනීමෙන් පසු ඒ ගැන සුදින්නගෙන් විමසා කරුණු දැනගැනීමෙන් පසු සුදින්න කළ ක්‍රියාව සත්‍යාවබෝධය සඳහා ආරය මාර්ගයකට පිවිසියකුට තරම් නොවන බව කියා දොස්‌ පවරා මෙම පළමු පාරාජිකා ශික්‌ෂාපදය පනවන ලදී.

මෙහිදී අප සටහන් කර ගත යුතු ඉතාමත් වැදගත් දෙයක්‌ ඇත. සුදින්න පාරාජික වූයේ නැත. බුදුන්වහන්සේ ඔහුට දඬුවම් නොකළහ. හේතුව සුදින්න එම වරද කරන අවස්‌ථාවේ එවැනි නීතියක්‌ නොතිබූ නිසාය. බුදුන්වහන්සේ පැන වූ හැම නීතියකදීම පළමුවන වැරදිකරු දඬුවමකට ලක්‌වූයේ නැත. උන්වහන්සේ අතීතයට බලපාන නීති (අතීකාලානුයෝගි) (Ex post Facto Laws) පැනවූයේ නැත. මෙම මූලධර්මය අදත් පිළිපදිනු ලබන ඉතා වැදගත් මූලදර්මයකි. බුදුන්වහන්සේ විනය නීතියක්‌ පැනවූයේ කිසියම් භික්‌ෂුවක්‌ විසින් මෙහි ඉහත දැක්‌වූ කරුණු දහයට යටත් වන කිසියම් අකටයුත්තක්‌ කළ විටකදී පමණි.
http://www.divaina.com/2009/11/01/siya09.html
 

මේ හා සබැඳෙන ඉතිරි ලිපි.


3, ඉහත දැක්වෙන ලිපිය
  


No comments:

Post a Comment