20121129

බුදු දහමෙ පදනම

 

බුදු දහමෙ පදනම
“අත් හැරීම” නෙමෙයි.
බුදු දහමෙ පදනම
‘දුක නැති කිරීම’යි.

සිදුහත් කුමාරයා
මාලිගාවෙන්
එලියට බැස්සෙම
ඒ අරමුණෙන්.

බුදු දහම ඔස්සේ
“මම”ය “මාගේ”ය කියන බැදීම් වලින්
ඉවත්වෙන්නෙ
“දුකට හේතුවෙන” කොටස
විතරයි.

“අත් හැරීම” කියන්නෙ
සමථ භාවනා වඩන්නන් විසින්
සහ වචන මතින් නිවන සොයන්නන් විසින්
ඔවුන්ගේ පැවැත්මට හදාගත්ත
වැරදි සංකල්පයක්.

නිවන් මගෙහිදී
නිවන් දකින්න කියලා
කිසි දෙයක් හිතා මතා ර්‍\ජුව
අත් හැරීමක් වෙන්නෙ නැහැ.

පැවිදි වෙන කෙනෙක්
ගිහි ගෙය අත් හරින්නෙ
ගමන ඉක්මනින් යාමට
ඔහුට විවේකය අවශ්‍ය නිසයි.

විදසුනෙන් ඔහුගෙ
කෙලෙස් නැති වෙනකොට
වැරදි විදියට දැකීමයි නැතිවන්නේ.

ආහාරය
දිව පිනවන්නට ඇති දෙයක් කියන
වැරදි සංකල්පය නැති වෙනවා.
රහතන් වහන්සේ ටත්
ආහාර වල රස නිරස
පෙරසේම දැනෙනවා.

රහතන් වහන්සේ තුල
කෙලෙස් නැති නිසා
පහල වෙන
උපේක්ෂාවයි තියෙන්නේ.
පුහුදුන් කෙනෙකුට වුණත්,
රහතන් වහන්සෙට වුණත්,
ඉන්ද්‍රිය වලට
ස්වාභාවික ලෙස
ලෝකය දැනෙන ආකාරය එකයි.

ඔවුන් ලෝකය
දකින ආකාරයයි වෙනස්.
එකම දෙයක්
දෙදෙනෙකුගෙ සිරුරුවල
ස්පර්ශ වෙනකොට
ඒ ස්පර්ශයෙන්
ඇතිවෙන වෙනස
ඔවුන්ගේ ශරීර
හඳුනා ගන්නා
ස්වභාවය වෙනස් නිසා
කෙනෙකුට දැනෙන වේදනාව
ඔහුට ප්‍රියයි…
අනිකාට දැනෙන වේදනාව
ඔහුට අප්‍රියයි…

පුහුදුන් කාලයේ
ඔවුන් දෙදෙනා
ප්‍රිය දේට රාගයෙන් හා
අප්‍රිය දේට ද්වේශයෙන්
ප්‍රතික්‍රියා දක්වනවා.
පුහුදුන් කාලෙ වගේම
රහත් වුණාට පස්සෙත්
ඔහුගේ
ශරීරයත් ඉන්ද්‍රියත්
පෙර පරිදිම
ප්‍රිය අප්‍රිය සංවේදනා
වාර්තා කරනවා.

වෙනසකට තියෙන්නෙ
සිහියෙන් දකින වේදනා වලට
උපේක්ශාව තියන නිසා
රස නිරස අනුව
ඔවුන් දක්වන ප්‍රතිචාරය
වෙනස් වෙන්නෙ නැහැ.

රසවත් දෙයක් වුණත්
ඔවුන් ගන්නෙ අවශ්‍ය ප්‍රමාණය විතරයි.
තිත්ත බෙහෙතක් වුණත්
ගන්නෙ අවශ්‍ය ප්‍රමාණය විතරයි.

පුහුදුන් පුද්ගලයාගෙ
ප්‍රිය දේට තියන
කෑදර කමත්
තිත්ත දේට දක්වන
පිළිකුලත්
රහතන් වහන්සේ තුළ නැහැ.

ඔහු තව දුරටත්
ඒ දෙකෙන්ම දුක් විඳින්නෙ නැහැ.

සිහිය සහ
උපෙක්ශාව වඩමින්
එහි ගමන් කරන
පුහුදුන් පුද්ගලයා සහ
ගමන නිමා කළ
රහතන් වහන්සේත් අතර ඇති ප්‍රධාන වෙනස
කෙලෙස් ඇති හා නැති බවය.
මග එකක්මය.

1 comment:

  1. මම ජීවිත කාලෙටම බුදු දහමෙ පදනම ගැන කියවපු හොදම ලිපිය

    ReplyDelete