20141222

විඥාණය < - > ප්‍රඥාව දෙකක් නොවෙයි.



වතුරට මඩ මිශ්‍රවුණාම
මඩ වතුර කියනවා.
මඩ ඉවත් වුණාම
පිරිසිදු වතුර කියනවා.
මඩ වතුර කිළිටියි..
පිරිසිදු වතුර නිර්මලයි..

කෙලෙස් ඉවත් කරන ලද විඥාණයට
ප්‍රඥාව කියනවා.

විඥාණය < - > ප්‍රඥාව
මේ දෙක දෙකක් නොවෙයි...
දෙකක් වෙන්නෙ කෙලෙස් නිසයි.

ගින්නට පිළිස්සෙන කෙනෙක්
ද්වේශ සංස්කාරය සහිතව
අත්දැකීම විඳින නිසා
පිළිස්සෙන අත්දැකීම
ඔහු තුළ රැඳෙන්නෙ
විඥාණය විදියටයි..

ගින්නට පිළිස්සෙන කෙනෙක්
කාය වේදනා චිත්ත ධම්ම වශයෙන්
සිහියෙන් උපේක්ෂාවෙන් වින්දොත්...
ඔහු ගින්න දකින්නෙ ප්‍රඥාවෙන්.

ද්වේශ සංස්කාරය සහිතව
ගින්නට පිළිස්සෙන අත්දැකීම වින්ද කෙනෙක්
විදසුන් වඩද්දි
සිහියෙන් විසීමෙන්
ඔහුගෙ විඥාණය හැදුන
ද්වේශ සංස්කාර ඉපදිලා
උපේක්ෂාව නිසා
අලුත් සංස්කාර උපදින්නෙ නැතුව
පැරණි සංස්කාර නිරුද්ධ වුණාම
ඒ අත්දැකීමෙ විඥාණය
ප්‍රඥාව වෙනවා.
-----------------------------------------
අනිච්‌චා වත සංඛාරා,
උප්‌පාදවයධම්‌මිනො
උප්‌පජ්‌ජිත්‌වා නිරුජ්‌ඣන්‌ති

වතුර වතුරමයි..
මඩ කියන්නෙ පරිබාහිර,
ආගන්තුක ධර්ම.
රාග ද්වේශ මෝහ.
කෙලෙස්

විඥාණය සංස්කාර සමග රැස්වූ
අත්දැකීම් පිළිබඳ ඤාණයයි..
සංස්කාර නැසීමෙන් ප්‍රඥාව පහළ වෙනවා.
විඥාණය කිළිටියි..
ප්‍රඥාව නිර්මලයි..

විඥාණය
විදසුනෙන් පිරිසිඳ දකින විට
අවිද්‍යාව නිරුද්ධ වෙමින්

සංස්කාර නිරෝධයෙන්
විඥාණය නිරුද්ධ වෙනවා.

20141214

චිමිනියෙ දැලි අයින් කළාට "දැල්ලෙ ආලෝකය" වැඩිවෙන්නෙ නැහැ.


චිමිනියෙ දැලි අයින් කළාම
එළිය වැඩි වුණාට
පහන් "දැල්ලෙ ආලෝකය"
වැඩිවෙන්නෙ නැහැ.

සමථ භාවනා මගින්
කෙලෙස් යටපත් කරල ලබන
ලෞකික ධ්‍යාන වලින්
චිමිනියෙ දැලි අයින් කළාම
එළිය වැඩි වුණාට
පහන් "දැල්ලෙ ආලෝකය"
වැඩිවෙන්නෙ නැහැ.

"මෝහය නැතිවිට ප්‍රඥාව තියෙනවා,
ප්‍රඥාව නැතිවිට මෝහය තියෙනවා"
කියන එක වැරදියි.
එළියත් අඳුරත් දෙකම
එකට තියෙන්න පුලුවන්.

චිමිනි ලාම්පුවක ආලෝකය කොතරම්ද කියන එක
තව කෙනෙකුට පෙනෙන්නෙ
බැහැරට විහිදෙන එළියෙනුයි.
චිමිනිය දැළි බැඳුණාම
ඇතුලෙ කොච්චර තිබුණත්
එළිය විහිදෙන්නෙ නෑ.
ප්‍රඥාව තිබුණත්
කුසල් අකුසල් සිදුවෙන්නෙ
කෙලෙස් දැලි බඳුන සිතින්
ලෝකය දිහා බලනකොට
තමන් වඩා ගත්ත ප්‍රඥාවෙනුත්
ප්‍රයෝජනයක් නැතිවෙන නිසයි.
සමථ භාවනා මගින්
කෙලෙස් තියෙද්දි ලබන
ලෞකික ධ්‍යාන වලින්
චිමිනියෙ දැලි අයින් කළාට
පහනෙ ආලෝකය වැඩිවෙන්නෙ නැහැ.

ශීල, සමථ භාවනා ආදී
පුණ්‍ය ධර්ම වැඩීමේදි සිදුවන්නේ
දිගින් දිගටම පුණ්‍ය සහගත සිත් ඇතිවීමයි.
නමුත් එයින් ප්‍රඥාව දියුණු වෙන්නෙ නැහැ.
අකුසල සිත් ඇතිවීම අඩු වෙනවා.
පිනුත් සිදු වෙනවා.
නමුත් අවිද්‍යාව දුරු කරන්නත්
ප්‍රඥාව තියුණු වෙන්නත්
තනිකරම කුසල් රැස ලෙස
බුදුන් වහන්සේ හැඳින්වූ
සතර සතිපට්ඨානය වැඩිය යුතුමයි.

ධර්මධර පුද්ගලයෙකු ඇසුරෙන්
ධර්මය හෝ
ධර්මය ලෙස ඔහු හඳුන්වන යමක්
එක් රැස් කර ගෙන
සිත්හි දරාගත් පමණින්
කෙලෙස් අඳුරෙන් වැසුණ සිත්
ප්‍රඥාවන්ත වෙන්නෙ නැහැ.

ප්‍රඥාව වැඩෙන්නෙ
සම්මා සතිය
දියුණු කරන පුද්ගලයා තුළයි.

ධර්මය අහල, කියවලා
අපි මනසින් මවාගන්න මනෝ රූප
තර්කයට එකඟ වුණාට,
ඒ පහළවෙන්නෙ ප්‍රඥාව නෙමෙයි.

"ගින්නට පිලිස්සෙනවා" කියලා
කවුරු හරි කිව්වම
කාලාම සූත්‍රයෙ
බුදුන් වහන්සෙ "එපා" කියන කරුණු නොසලකා,
"ඇත්තනෙ, එහෙයි එහෙයි" කියලා
ශ්‍රද්ධාවෙන් පිළිගත් පමණින්
ගින්නට නොපිලිස්සී සිටීමෙ ප්‍රඥාව
පහළවෙන්නෙ නැහැ.

ගින්නට නොපිළිස්සී සිටීමෙ ප්‍රඥාව තියන කෙනා
ගින්නෙන් නොපිළිස්සී ජීවත් වෙන්නෙ,
ගින්නෙන් ඈත්වෙලා පරිස්සම් වෙන්නෙ
ගින්නට තමන් පිළිස්සෙන හැටි
තමන් පිළිස්සෙන වෙලාවෙදිම
සිහියෙන් සහ උපේක්ශාවෙන් දැකපු නිසයි.

එහෙම නැතුව
පිළිස්සෙන හැටි
1, තමන් පිළිස්සෙන වෙලාවෙදිම
සිහියෙන් සහ උපේක්ශාවෙන් දැකලා
ප්‍රඥාව පහළ වුන කෙනෙක් ළඟ හෝ,
2, පිළිස්සෙන හැටි පොත පතින් හදාරල
මතක තියාගත්ත කෙනෙක් ළඟ හෝ
ශ්‍රද්ධාවෙන් වාඩි වෙලා
ගින්නට පිළිස්සෙන හැටි
විද්‍යාත්මකව දැනගන්න එකෙන්
ප්‍රඥාව වැඩෙන්නෙ නැහැ..
පිළිස්සෙන හැටි
තමන් පිළිස්සෙන වෙලාවෙදිම
සිහියෙන් සහ උපේක්ශාවෙන් දැකල
ප්‍රඥාව දියුණු කරපු කෙනාට
ගින්නට පිළිස්සෙන හැටි
විද්‍යාත්මකව දැනගන්න එකෙන්
අලුත් ප්‍රයෝජනයකුත් නැහැ.

ගින්නට නොපිළිස්සී සිටීමෙ ප්‍රඥාව
තියුණු කරගත් කෙනා
ගින්නෙන් ආරක්ශා වෙන්නෙ
ශ්‍රද්ධාව නිසා නෙමෙයි,
ශීලය නිසා නෙමෙයි.

ගින්නට නොපිළිස්සී සිටීමෙ ප්‍රඥාව
තියුණු කරගත් කෙනා
"පිලිස්සෙනවා" කියන "දුක"ත්,
"ඒ දුකෙන් මිදෙන හටි"ත්
සත්‍ය වශයෙන්ම
තමන් තුලම,
සිහියෙන් සහ උපේක්ශාවෙන්
අත් දැකලා,
1, ගින්න නිසා පිලිස්සීමෙ "දුක"ත්,
ගින්න ඇතිවෙන කොට
2, "පිලිස්සීමෙ" දුක ඇති වෙන හැටිත්
3, පිලිස්සීමෙ "දුක නැතිවෙන මාර්ගය"
"ගින්න නිවා දැමීම හෝ
ගින්නෙන් ඈත්වී සිටීම"යි කියන එකත්
4, තමන් පිලිස්සීමෙන් මිදෙන කොටම
පිළිස්සෙන "දුකෙන් මිදීම" පිළිබඳව සත්‍යයත්
පිළිස්සෙන වෙලාවෙම
සිහියෙන් සහ උපේක්ශාවෙන්
තමන් තුළම අත්දැකපු නිසයි.

ගින්නට නොපිළිස්සී සිටීමෙ ප්‍රඥාව
තියුණු කරගත් කෙනා
ගින්නෙන් ආරක්ශා වෙන්නෙ
ඔහු තුළ වඩා ගත් ප්‍රඥාව නිසයි.

සම්පූර්ණයෙන්ම
කෙලෙස් දුරු නොකල නිසා
මතු අවස්ථාවකත් නීවරණයකින්
ඒ ප්‍රඥාව ආවරණය වුණ වෙලාවට
ඔහු නැවත පුලුස්සාගන්න ඉඩ තියනවා.
ඒත් වෙන කෙනෙකුට වඩා ඉක්මණින්
ප්‍රඥාව පහළ වෙනවා.

මෝහය දුරු වීමෙන්
ප්‍රඥාව පහළ වුණාට
මෝහයට ප්‍රතිවිරුද්ධ ධර්මය
ප්‍රඥාව නෙමෙයි.
මෝහයට ප්‍රතිවිරුද්ධ ධර්මය,
සම්මා සතියයි.
එනම්,
කාය, වේදනා, චිත්ත, ධම්ම
අනුපස්සනා සතරයි.
[ආතාපි සම්පජානො සතිමා විහරති.]

මෝහයට සිහිය වගේ
රාගය සහ ද්වේශයට
ප්‍රතිවිරුද්ධ ධර්මතාවය
උපේක්ශාවයි.
[විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං...]

යම් මොහොතක
මෝහය නැතිව සිහියෙන්ද
රාග ද්වේශ නැතිව
උපේක්ශාවෙන්ද විසීමේදි
සිතේ තැන්පත් වෙලා තියන
රාග ද්වේශ මෝහ කෙලෙස්
සංස්කාර විදියට මතුවෙලා
සංස්කාර වල ස්වභාවය වන,
වැය වීමේ සහ
ඉපදුණොත් නැතිවීමෙ ධර්මතා මත
නිරෝධ වෙලා යාමෙන්
අවිද්‍යාව දුරු වීමෙන් පහළ වන
සසර පුරාවටම සහය වන
ස්ථාවර නිධානයක් වන
නොනැසෙන ගුණය
ප්‍රඥාවයි.

නිර්වාණාවබෝධය සිදුවන්නෙ
කෙලෙස් මුලුමනින්ම දුරු කිරීමෙනුයි.
එදාට ඔහු තුල ඇති ප්‍රඥාවෙ අගය
ප්‍රමාණාත්මක වශයෙන් තීරණය වෙන්නෙ
සසර ගමනෙ දුරත්,
තුන්තරා බෝධියෙන්,
නිවනට පත් වුණ බෝධියත් අනුවයි.


20141129

රාග ද්වේෂයන් නිසා සිතට හා කයට සිදු වෙන හානිය


Kavindu Pathirana ‎තුලාව (justice)
[[ රාග ද්වේෂයන්හි අඩු වැඩි වීම මිනිස් ආයුෂ කෙරෙහි බලපානුයේද? ]]

රාගය ද්වේශය
ස්වාභාවිකව ඇතිවෙන්නෙ
සත්වයා යම් යම් දේට පොළඹවන්නයි.

ආහාර ගැනීමට, ප්‍රජනනයට,
රාගය නිසා පෙළඹෙනවා.
ද්වේශය නිසා
සතුරන්ට බියෙන් පළා ගිහින් හෝ
කෝපයෙන් ගැටීමෙන්
ආරක්ෂාව සලස්වා ගන්න
සත්වයා පෙළඹෙනවා.

සියුම් විදියට, කූට ආකාරයට
සැලසුම් සහගතව ක්‍රියා කළත්..
මිනිසාත් රාගයෙන් හා ද්වේශයෙන්
කරගන්නෙ මේ දේවල් තමයි..

රාගය හා ද්වේශය ඇතිවෙද්දි
සිතෙහි සහ කයෙහි
සිදු වෙන ජෛව රසායනික වෙනස් වීම්
කයෙහි නිරෝගී බවට බාධාවක්.

ආවේග ප්‍රබල වෙන තරමට
හානියත් ප්‍රබලයි..
රාගය හෝ ද්වේශය
උපාදාන වීමෙන්..
කෙනෙක් උමතු වෙනවා.
කෙනෙක් මියයනවා.

එවැනි අන්තයකට
කෙනෙක් පත්වෙන්නෙ
එකවර නෙමෙයි..
බිඳුවෙන් බිඳුව එක් වෙලා
කළයක් පිරෙන්නාක් මෙන්
රාගයත් ද්වේශයත් නිසා
මිනිසාගේ නිරෝගී බව
දිනෙන් දින ඛාදනය වෙනවා.

සතුන්ගේ මෙන් නොව
මිනිසාගේ මේ ආවේග වලට
ඔහු මවන හිස් චිත්ත රූප
හේතු වෙනවා.
චිත්ත රූපය බොරුවක් වුණත්
ආවේගය සත්‍යයක්..

රාගය හා ද්වේශය විසින්
සිතෙහි හා කයෙහි ඇතිවෙන
වෙනස් වීම් ගැන සිහියෙන්
ඒ වෙනස් වීම් වලට උපේක්ෂාවෙන්
වෙසෙන්නට පුහුණු වීම් නිසා
සිතට හා කයට සිදු වෙන හානිය
අවම කරගන්න පුලුවන්.
කලින් සිදු වුණ හානිත්
මකාගන්න පුලුවන්..

20141012

සිත හා කය පිරිසිදු කරන විපස්සනා

Hima Kalhara 
[[[විමුක්තියට පිවිසීමේ පළමු පියවර තමයි සතිපට්ඨානය 
එනම් සිහිය පිහිටුවීම තමන්ගේ සිත තුල කය තුල සිහිය පිහිටවාගැනීමට පහසු තරුණ ස‍ම‍යේ පමණයි. මොකද ඔබ කියපු දුබල සමය කියන්නෙ පනාව ඔලුවේ ගහගෙන පනාව හොයන කාලය. 
ඒ කාලෙ සිහිය දියුණු කිරීම ප්‍රායෝගික නැහැ. ]]]]


බුදු දහමෙදි
කය අත්හැර ධර්මය දකින්න බැහැ.

තමන්ගෙ කයෙහි සිතෙහි වෙනස් වීම් නොදැනෙන
මෝහයට පත් වීම දුක නිවීම නොවෙයි.
බොහෝ දෙනෙක් මෝහයට පත් වීම
නිවන ලෙස අත්දකිනවා.

ඔවුන්ගෙ උපෙක්ෂාව
පදනම් වෙන්නෙ අවසිහිය මතයි.

අඳ ගොළු බිහිරි කෙනෙකුට තියන උපේක්ෂාව
අවසිහිය මත පදනම් වූ මිථ්‍යා උපේක්ෂාවක්.

උපේක්ෂාවට අභියෝගයක් නැත්නම්
ඒ මෝහයයි..
ඔහුට දැනෙන දෙයක් කයෙහි නැත්නම්
ඔහු තුල තියෙන්නෙ මෝහයයි..

රහතන් වහන්සේලා
ඉතාම සංවේදී විය යුතුයි.
කිසිදු වෙනසක් නිසා
දුක් නොවිඳින නමුත්
කයෙහි වෙනස් වීම් පිළිබඳ උපරිම සිහියත්
ඒ වෙනස් වීම් වලට උපරිම උපේක්ෂාවත් ඇති
රහතන් වහන්සේලාට පවා
කයට ගැටළු ඇති වෙනවා.
කය බිඳීම නිසා
මුගලන් රහතන් වහන්සේට
පිරිනිවන් පාන්න සිදුවුණා.

පුහුදුන් අයට
කය ඉතා ප්‍රබලව සිතට බලපානවා.
සමහර අයට සිතක් නැති තරම්
කයට වහල් වෙනවා.
සිත අපිරිසිදු බව ගැටළුවක් වුණ කෙනෙකුටත්
මෝහයට පත් වීමටත් කැමති නැත්නම්
කය අත්හැර සිත පිරිසිදු කිරීමක්
කරගන්න බැහැ.

සිත ශරීරය පුරාම පවතිනවා.

විශේෂයෙන්ම
මොළයත් ස්නායු පද්ධතියත් ආශ්‍රිතව
සිත පවතිනවා.
කායික උත්තේජන නිසා
සිත ක්‍රියාත්මක වෙනවා.
සිත දක්වන ප්‍රතිචාර නිසා
කය වෙනස් වෙනවා.

කායික උත්තේජන මගින්
සිතෙහි ඇති වෙන
රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන්
සිත අපිරිසිදු වෙද්දි
කය තුළත් ඒ අපිරිසිදු වීම සටහන් වෙනවා.
විශේෂයෙන්ම
මොළයත් ස්නායු පද්ධතියත් ආශ්‍රිතව
සිතෙහි වෙනස් වීම් රැඳෙනවා.

ස්නායුවක් තුළින් මොළයට යන පණිවිඩ
ගමන් කරන්නෙ ජෛව රසායනික වෙනසක් මගිනුයි.
ජෛව රසායනිකය කලින් තත්වයට අරන්
ස්නායුව සහ මොළයෙ අදාළ පෙදෙස
නිදහස් කරගන්න
කාය චිත්ත විවේකය අවශ්‍යයි.

සාමාන්‍ය කෙනෙකුගෙ
සිත නොකඩවා ක්‍රියා කරන නිසා
කය විවේකයෙන් පසු වුණත්
සිත ක්‍රියා කාරීයි.
නින්දෙදි වුණත් විවේකය ප්‍රබල නැහැ..
ඒ විවේකය ලබා දෙන්න
විපස්සනා ක්‍රමවේදය සමත් නිසා
කාය චිත්ත පරිවර්තනය
ක්‍රියාත්මක වෙනවා.

නිරන්තර ක්‍රියාකාරිත්වය වගේම
අනවශ්‍ය ආවේගත්
ආවේග වල ප්‍රබලතාවයත්
කායික ව්‍යුහය දූෂ්‍ය කරනවා.

සිතට එන දුකක්, තරහක්, බයක් නිසා..
සිහිය නැති වෙනවා., ක්ලාන්ත වෙනවා.
කෙනෙක් මැරෙන අවස්ථාත් තියනවා.
ඉතා සියුම් ආවේගයකදි වුණත්
මොළයත් ස්නායු පද්ධතියත් පිරිහෙනවා.

වයසට යන කෙනෙකුගෙ සිහිය දුර්වල වෙන්න
මූලිකම හේතුව
මොළයත් ස්නායු පද්ධතියත් වෙනස් වීමයි.
ඒ විද්‍යුත් ජාලය වෙනස් වීමෙන්
පණිවිඩ හුවමාරුව දුර්වල වෙනවා.

සතර සතිපට්ඨානය වඩද්දි..
සිහිය දියුණු වෙද්දි
කායික විද්‍යුත් ජාලය පිරිසිදු වීමත් සිදු වෙනවා.

විපස්සනා වඩන කෙනෙකුගෙ
මොළයෙත් ස්නායු පද්ධතියෙත්
එකතු වෙලා තියන
රාග, ද්වේශ හා මෝහ සංස්කාර
සිතුවිළි, හැඟීම්, හෝ සංවේදනා විදියට
මතු වෙවී නිරුද්ධ වෙනවා.

වය ධම්මා සංඛාරා
උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුරුජ්ඣන්ති..

සංවේදන මට්ටමේදිම දකිමින්
උපේක්ෂාවෙන් විසීමෙන්
සිත නිසා අපිරිසිදු වුණ කය
සිත හරහාම පිරිසිදු කරගැනීම
විපස්සනා තුළින් සිදු වෙනවා..

එකායනෝ මග්ගෝ සත්තානං විසුද්ධියා.

පනාව ඔලුවේ ගහගෙන පනාව හොයන කාලය කියල
හිම කල්හාර ඉතා නිවැරදිව කියූ ලෙසට
වයසට යන විට
සිහිය පිහිටුවා ගැනීම අපහසුයි..

තමන් යන මාර්ගය කුමක් වුවත්
ආවේග වලින් දුක් විඳීම අඩු වෙනවා නම්..
සෝතැවුල්, දුක් දොම්නසින්
දුක් විඳීම අඩුවෙමින් යනවා නම්
සිහිය සහ උපේක්ෂාව ''දෙකම'' දියුණු වෙනවා නම්
මග නිවැරදියි.

එහෙම නැතුව
දුක වැඩි වෙනවා නම්
සිහිය හා උපේක්ෂාව අඩු වෙනවා නම් හෝ
කය ගැන සිහිය නැතුව
උපෙක්ෂාව වැඩි වෙනවා නම්
අවසිහියෙන් ජීවත් වීම හෝ
දුක් විඳීමේ මගින් බැහැරව
නිවැරදි මග සොයාගත යුතුයි..

විපස්සනා එකම මගයි.

20141008

විඤ්ඤාණ විඥ්ඥාණ කියන්නෙ දෙකක්..



චක්ඛු විඤ්ඤාණය ඇතුළුව
ස්පර්ශයේ අංගයක් ලෙස ක්‍රියාත්මක වෙන
ආයතන බද්ධ විඤ්ඤාණය
සංඛාර නිසා පහළ වෙන විඥාණයට වඩා
ලොකු වෙනසක් තියනවා.

ආයතන බද්ධ විඤ්ඤාණය
අරමුණ ග්‍රහණය කරනවා පමණයි.
එවිට වේදනාවවත් ඇති වෙලා නැහැ.
ස්පර්ශ වුණා පමණයි.

වේදනාව අනුව කෙරෙන හඳුනා ගැනීමෙන්
සංඥාව අනුව සංඛාර ඇති වෙනවා.

ඒ සංඛාර නිසා
ප්‍රිය, අප්‍රිය හෝ ප්‍රිය අප්‍රිය නැති
වශයෙන් අපි දෙන සහතිකය අනුව
විඥ්ඥාණය සකස් වෙනවා.

ඒ විඥ්ඥාණය
චක්ඛු විඤ්ඤාණයට
බලපෑම් කිරීම නිසා
අරමුණට අමතර ප්‍රිය අප්‍රිය භාවයක්
ඊළඟ අත්දැකීමෙදි එක් වෙලා
අමතර සුඛ හෝ දුක්ඛ වේදනා
ඇති වෙන්න පුලුවන්.

හතුරෙක් දැක්කත් ද්වේශය පහළ වෙන්නෙ
විඥ්ඥාණයෙහි ලියාගෙන ඉන්න ක්‍රෝධය නිසයි..

1,
චක්‌ඛුඤ්‌ච පටිච්‌ච රූපෙ ච උප්‌පජ්‌ජති
චක්‌ඛුවිඤ්‌ඤාණං,
තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො;
1, චක්‌ඛු = ඇසත්,
2, රූපෙ = රූපයත්,
3, චක්‌ඛුවිඤ්‌ඤාණං, = රූප හඳුනා ගැනීමට,
ග්‍රහණය කිරීමට ඇසට ඇති හැකියාවත්
කියන තුනම එකතු වෙලා
ස්පර්ශය හැදෙනවා.
-
තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො

2,
ඵස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා සංඛාර
සංඛාරපච්චයා විඥ්ඥාණ
ස්පර්ශය අනුව ඇති වෙන වේදනාව
සුඛ, දුක්ඛ, අදුක්ඛමාසුඛ විය හැකියි.
එහි ස්වභාවය අනුව
අපිට ප්‍රිය නම් රාග සංස්කාරය ඇති වෙනවා
අප්‍රිය නම් ද්වේශ සංස්කාරය ඇති වෙනවා.
ප්‍රිය අප්‍රිය නැත්නම් මෝහ  සංස්කාරය ඇති වෙනවා.
ඒ අනුව විඥ්ඥාණය සකස් වෙනවා.

පටිච්ච රූපෙව උප්පජ්ජති
චක්‍ඛු විඤ්ඤාණං
තිණ්ණං සංගති ඵස්සො
ඵස්ස පච්චයා වේදනා,
යං වේදෙති තං සංජානාති,
යං සංජානාති තං විතක්කෙති,
යං විතක්කෙති තං පපංඤවෙති,
තතො නිදානං පුරිසො
පපංඤ්ච සඤ්ඤාසංඛාරා
සමුදා චරන්ති”

20141006

බොදුනුවන්ට ආනාපාන සතිය වැඩීම ලැජ්ජාවක්..




අද ඉන්න බොදුනුවන් බොහෝ දෙනෙකුට
ආනාපාන සතිය වැඩීම
ලැජ්ජාවක්.... මදිකමක්...

බොදුනුවන් බොහෝ දෙනෙකුගෙ අරමුණ
තමන්ගෙ ගුරුවරයාගෙ ධර්මය අහන් ඉන්න ගමන්
ස්වයංක්‍රීයව සෝවාන් වෙන්නයි.
උට්ඨානවතෝ සතිමතෝ
ඔවුන්ට අවශ්‍ය නැහැ.

උත්සාහයෙන් සතියෙන් ඉන්නවා වෙනුවට
ගුරුවරයාගෙ තර්කවලට සවන්දීම
පහසු කාර්යයක්.
පාසල් අධ්‍යාපනය ලබන කාලෙ
පන්තියෙ වාඩිවෙලා ඉඳගෙන
දැනුම පටිගත කළ විදියටම
දැනුම එකතු කරගන්න ඔවුන් කැමතියි.

ඔවුන්ගෙ ගුරුවරයා විසින්ම සකස්කළ
ප්‍රශ්නපත්‍රයකට පිළිතුරු ලියලා
සෝවාන් මගට වැටෙන්න පුලුවනි නම්
අද ඔවුන් දහස් ගණනක් සෝවාන් වෙලා හමාරයි.

ප්‍රශ්නපත්‍රය ත්‍රිපිටකයට අනුව සකස් කළොත්
ඔවුන් බොහෝ දෙනෙක් අසමත් වෙන්නත් පුලුවන්.

අං කියන්නෙ රාග ද්වේශ මෝහ වලට කියලා
ඔවුන්ගෙ ගුරුවරයා කිව්වොත්
ඔවුන් ඒක ප්‍රශ්න කරන්නෙ නැහැ.
අං තියන හැම තැනම
රාග ද්වේශ මෝහ තියනවා කියලා
ඔවුන් අවිවාදයෙන් පිළිගන්නවා.

හරක් දෙන්නෙක් අං පටලවාගෙන නසී..
කියල කියවන විට ඔවුන් දකින්නෙ
රාග ද්වේශ මෝහ පැටලී
හරක් දෙන්නෙක් නසී කියලයි.

බුදුන් වහන්සේ වැඩියත්
ධර්මය අවබෝධ නොවෙන තැනකට
ඔවුන් පත් වෙනවා.

ඔවුන්ට ආනාපාන සතිය වඩන්න බෑ..

ඒ නිසා
ආනාපාන සති වඩන අයට
බාධා පැමිණවීම ඔවුන්ගේ සිරිතක්.

ආනාපාන සතිය වඩන්න බැරි හේතුත්
ගුරුවරයාම ඔවුන්ට පොවා තියෙන්න පුලුවන්.
ඔවුන් ස්වාධීන වෙන මාර්ග ගුරුවරයා විසින්ම අවුරනවා.

ඔවුන් හැම දේටම
ගුරුවරයා මතම යැපෙනවා.
කණවැල අල්ලන්න ගුරුවරයා නැත්නම්
කිවිසුමක් හරින්නත් දන්නෙ නැති තරම්...
.
ඔවුන් ආනාපානසතිය වඩන්න සූදානම් වුණත්
ඔවුන්ට ඇහෙන්නෙ ගුරුවරයාගෙ දේශනාවමයි.

විදසුන් වඩන කෙනෙක්
සිත හා කය පිළිබඳව සිහිය පිහිටුවා ගනිද්දි
අතරින් පතර ධර්මය හෝ මෙනෙහි කිරීම
සිත අරමුණෙහි පිහිටුවා ගන්නට බාධාවක්.

සිතත් කයත් ගැන
සිහියෙන් හා උපේක්ෂාවෙන් පසුවෙන කෙනෙකුට
ධර්මාවබෝධ වෙන්නෙ
ඔවුන් දැන් දකින ආකාරය වෙනස් නිසයි.

මේ දක්වා රාග ද්වේශ ඇති කරගත්
ප්‍රිය අප්‍රිය අත්දැකීම් වලදි
දැන් වැඩෙන්නෙ උපේක්ෂාවයි.
මේ දක්වා මෝහයෙන් පසුවුණ
ප්‍රියත් නැති අප්‍රියත් නැති අත්දැකීම් පවා
සිහියෙන් ඉන්න නිසා පෙනෙනවා.
සිහියෙන් හා උපේක්ෂාවෙන් ඉන්න මොහොත
රාග ද්වේශ මෝහ වලින් විනිර්මුක්තයි.
ඒ මොහොතෙ සිදුවෙන්නෙ
අවිද්‍යාව දුරුවී ප්‍රඥාව පහළ වීමයි.

එක මොහොතකට එකතු වෙන්නෙ
එක ප්‍රඥාව කඳුලක් වුණත්
ඒ කඳුල එකතු වෙන්නෙ
නිසි පිට හැරවූ කළයටයි.

මෙතෙක් මුනින් නවාගෙන සිටි කළය
බුදුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවෙන්
නිසි පිට හරවා ගන්නා අයට
විදසුන පරතෝ ඝෝෂ ප්‍රත්‍යය වෙනවා.

බුදුන් වහන්සේගෙන්
මගඵල ලැබූ සඟ රුවනින් මෙන්ම
මගඵල නොලැබූ භික්ෂූන්ගෙන්
කමටහන් ගෙන
විදසුන් වැඩීමෙන් මගඵල ලැබූ
ශ්‍රාවකයන් දස ලක්ෂ ගණනක් බුදු සසුනෙ සිටියා.

සසර පෙර ජීවිතවල
විදසුන් වැඩීමෙන් කෙලෙසුන් නැසීමෙන්
එක ධර්ම දේශනාවක් අසා
සෝවාන් විය හැකි මට්ටමට
සිත පවිත්‍රවී තිබුණොත්
ඔහු ධර්ම දේශනාව අසා සෝවාන් වෙනවා.
මෙතෙක් මගඵල ලැබූ
ඉතිරි ශ්‍රාවකයන් සියල්ලෝම
සතර සතිපට්ඨානය වැඩීමෙන්
අවිද්‍යාව දුරු කරමින්
කෙලෙස් නසා ප්‍රඥාව ලැබුවා.
දහම් අසා මගඵල ලැබුවත්,
විදසුන් වැඩීමෙන් මගඵල ලැබුවත්.
මේ දෙපිරිසටම
කිසිවෙක් කණ වැල ඇල්ලුවේ නෑ.

තුම්හෙහි කිච්චං ආතප්පං
අක්ඛාතාරෝ තථාගත කියන්නට
කණ වැල අල්ලන ගුරුවරුන්ට
සුදුසුකම් නෑ.

බුදුන් වහන්සේ
කිසිවෙකුට කණ වැල අල්ලන්නෙක් නොවෙයි.
සඟ රුවනත් එසේමයි.
ධර්ම මාර්ගයෙහි විශේෂත්වයත් එයයි.

ධර්ම මාර්ගයෙ ගමන් කරන කෙනෙකුට
තව කෙනෙක් කණ වැල අල්ලනවානම්
ඔහුත් අනිවාර්යයෙන්ම අන්ධයෙක්.
මිථ්‍යා දෘෂ්ඨිය ප්‍රබල නම්
අන්ධයො වැල පිටින්ම
නිරයට යන්නත් ඉඩ තියනවා.

ආනාපාන සතිය වැඩීම ස්වාධීන ක්‍රියාවක්.
බුදුන් වහන්සේ
කිසිවෙකුට කණ වැල අල්ලන්නෙ නෑ.

තුම්හෙහි කිච්චං ආතප්පං.
ඔබ වීර්ය කළ යුතුයි.
අක්ඛාතාරෝ තථාගත.
මේ මොහොතට පැමිණි තැනැත්තා
මග පෙන්වනවා පමණි.

ආනාපාන සතිය වඩන මාර්ගයත්
සතිය වැඩද්දි සිදු වෙන දේත්
බුදුන් වහන්සේ කියා තියනවා.

ධර්ම මාර්ගයෙ යද්දි
කියන මග සලකුණු හමුවෙනවා නම්
යන මග නිවැරදි බව තමන්ටම පෙනෙනවා.

කල්‍යාණ මිත්‍රයා කියන්නෙ
කණවැල අල්ලන අය නෙමෙයි.

ආගමිකයන් විදියට හෝ
නිරාගමිකයන් විදියට
තව කෙනෙකු මත්තෙ යැපෙමින්
කල්ලි ගැහිලා රැලේ යන අයට
බුදු දහමෙ ඉතාම ප්‍රාථමික
ආගමික ශීල වෘත වලින්
සැනසෙන්න වෙනවා.

සැබෑ බොදුනුවෙක් ස්වාධීනයි.
ඔහු කල්ලි නායකයෙකුත් නොවෙයි.
කල්ලියක සාමාජිකයෙකුත් නොවෙයි.

ආගමිකයෙක් වුණත්, නිරාගමිකයෙක් වුණත්
ස්වාධීනව හිතන, ස්වාධීනව ක්‍රියා කරන පුද්ගලයන්ට
බුදුන් වහන්සේගෙ දහම ගැලපෙනවා.

ස්වාධීන කෙනෙක් වුණත් සිහිය දුර්වල නම්
ඔහුගෙ මාන්නය, අත්තනෝමතික බව,
ආවේගශීලී වීම නිසා
ඔහුගෙ ස්වාධීන බව
ඔහුට මෙන්ම ඇසුරුකරන අයටත් හානිකරයි..

සිතේ නිදිබර මෝහාධික බවටත්,
සුළු දෙයිනුත් කැළඹීඑ
ආවේගශීලී වීමටත් හේතුවෙන
අවසිහියෙන් මිදෙන්න එකම මග
සිහිය පිහිටුවා ගැනීමයි.
තමන්ගෙ සිතත් කයත් පිළිබඳ
සිහිය පිහිටුවා ගැනීම අරඹන්නට
ආරම්භ කරන කෙනෙකුට
පහසුම සහ හොඳම මග
ආනාපාන සතියයි.

විදසුන් වඩන කෙනෙක් කරන්නෙ
සිතත් කයත් වෙනස් වෙන විදිය ගැන
සිහියත් උපේක්ෂාවත් වැඩීමයි.

1,
සිහිය කියන්නෙ
මොහොතෙන් මොහොතට
අරමුණ වෙනස් වීම හෝ
නොවෙනස්ව පැවතීම
දැකීමට හැකියාවයි.

2,
උපේක්ෂාව කියන්නෙ
අරමුණ වෙනස් වෙද්දි ඒ වෙනස් කම් වලට
ආශාවෙන්, ලෝඹ්හයෙන් බැඳෙන්නෙ නැතිව
අප්‍රසාදයෙන්, ද්වේශයෙන් ප්‍රතික්ෂේප නොකර
විසීමට හැකියාවයි.

සිහිය හා උපෙක්ෂාව
පියාසර කරන කුරුල්ලෙකුගෙ
තටු දෙක වගෙයි.

ඕනම ක්ෂේත්‍රයක ඉහළ වැජඹෙන අයට
මේ ගුණාංග දෙක
ඔවුන්ගෙ ක්ෂේත්‍රයට අදාළව තියනවා.
ඒත් ක්ෂේත්‍රයට අදාළ සිහිය
ඔහුගෙ සිත සහ කය පිළිබඳව නැති නිසා
පුද්ගලයෙක් විදියට ඔහු නොමිනිසෙක් විය හැකියි.
ඔහු තුළ ප්‍රඥාව වැඩෙන්නෙ නැහැ.

ලොව ජීවත් වෙන වටිනාම පුද්ගලයන්
සිහිය සහ උපේක්ෂාව දියුණු ප්‍රඥාවන්ත පුද්ගලයන්.

සිහිය සහ උපේක්ෂාව ප්‍රබල අයගෙන්
ඔවුන්ටම හෝ සමාජයට වන හානි අවමයි.
සේවය ප්‍රබලයි.

බුදුන් වහන්සේ
සියලු සත්වයන්ට අග වෙන්නෙ
මේ ක්‍රමය තනිවම සොයාගෙන
අන් අයට මග පෙන්වන නිසයි.

ඒ මග පෙන්වීම අනුව
විදසුන් වඩන්නෙකුගෙ අරමුණ
සිතෙහි සහ කයෙහි සිදුවෙන  වෙනස්වීම්
සිහියෙන් හා උපේක්ෂාවෙන් දැකීමයි.

හුස්ම කියන්නෙ
මොහොතක් පාසා වෙනස් වෙන දෙයක්.
ඒ නිසා සිහිය පිහිටුවා ගැනීම පහසුයි.

ඒත් තවත් පැත්තකින්
හුස්ම අපට ප්‍රිය හෝ අප්‍රිය නැති නිසා
සිහිය පිහිටුවා ගැනීම අභියෝගයක් වෙනවා.

ප්‍රිය හෝ අප්‍රිය නැත්නම් වටින්නෙ නෑ කියන එකයි
පුහුදුන් සත්වයන්ගේ සාමාන්‍ය දැක්ම.
ප්‍රිය හෝ අප්‍රිය නැත්නම්
ඔවුන් අවධානය යොමු කරන්නෙවත් නෑ.

ප්‍රියත් නැති අප්‍රියත් නැති දෙයක් ගැන
සිහියෙන් ඉන්න වුණොත් ලොකු අභියෝගයක්.
ඒත් හුස්ම වෙනස් වෙන දෙයක් නිසා
සිහිය පිහිටුවා ගැනීම පහසුයි.

විදසුන් වඩා පුහුණුවක් නැති කෙනෙකුට
හුස්ම පිළිබඳව සිහිය පිහිටුවා ගැනීමෙදි
තවත් විශාලම පහසුවක් තියනවා.

හුස්ම ප්‍රිය අප්‍රිය භාවයෙන් තොර අරමුණක් නිසා
කාය වේදනා චිත්ත ධම්ම ආදී
සතර අනුපස්සනා වඩන්නෙකුට තරම්
ප්‍රබල ලෙස උපේක්ෂාව අවශ්‍ය නොවීමයි.

හුස්ම ගැන සිහිය පිහිටුවන නිසා
උපේක්ෂාවේ ස්වරූපයෙන්
මෝහයට පත්වීමටත් ඉඩ නැහැ..

සාමාන්‍ය පුද්ගලයෙක්
සැනසීම සහ උපේක්ෂාව කියන්නෙ
අවසිහියෙන් හා මෝහයෙන් පසු වීමටයි.
ඔහුට සිහිය නැති නිසා හෝ
ඔහුගෙ අරමුණ බාහිර වස්තුවක් නිසා
ඔහුගෙ උපේක්ෂාවට අභියෝග නැහැ.

බාහිර අරමුණු මත
සමාධිය වඩන අයගේ උපෙක්ෂාව
සිත කය ගැන ඇති අවසිහිය නිසා
පවතින උපේක්ෂාවක්.
තම සිත කය ගැන සිහියෙන් පසුවෙමින් වඩන
උපෙක්ෂාවට වඩා බෙහෙවින් වෙනස්.

තම සිත කය ගැන
සිහියෙන් ඉන්න කෙනෙකුගෙ උපේක්ෂාවට
ඔහු දකින දේ අභියෝගයක්.

මේ දක්වා අවසිහියෙන් දුටු දේ
සිහිය පිහිටුවාගෙන ප්‍රබලව දකිද්දි
ප්‍රිය අප්‍රිය දේ අනුව
ලෝභයෙන් ද්වේශයෙන් කැළඹුණොත්
ඔහුගෙ සිහිය අවුල් වෙනවා.
දුටු වෙනස්කම් නොපෙනි යනවා.

හුස්ම ප්‍රියත් නැති අප්‍රියත් නැතිනිසා
උපේක්ෂාව නුහුරු කෙනෙකුට වුණත්
ආනාපාන සතිය වඩන කෙනෙකුට
සිහිය පවත්වාගැනීම පහසුයි.

ඔවුන්ට අවශ්‍ය වෙන්නෙ
බාහිර අරමුණු වලින් බාධා නොපැමිණෙන
නිසන්සල පරිසරයක් පමණයි.

රුක් මුලක හෝ ශූන්‍යාගාරයක
පළක් බැඳගෙන, කය ඍජුව තබාගෙන
දිග හුස්මක් දිග හුස්මක් ලෙසත්
කෙටි හුස්මක් කෙටි හුස්මක් ලෙසත්
සරලව සිහිය පිහිටුවාගෙන අරඹන සිහිය නිසා
හිත සමාහිත වෙනවා.

මුහුණේ ඉදිරිපස ප්‍රදේශයෙන් අරඹන සිහිය
මුලු කයටම විස්තාරණය වී
සබ්බ කාය පටි සංවේදී නම්
විශේෂ අවස්ථාවට පත්වෙන කෙනෙකුට
විදසුනෙහි ඊළඟ පියවරට යන්න පුලුවන්..
ඔහුට කය සමස්තයක් ලෙස දකිමින්
ඉරියවුව ගැන සිහිය දියුණු කරන්නට පුළුවන්.

විදසුනේ ඉදිරි පියවර වලදී අත්‍යාවශ්‍ය වෙන
ආනාපාන සතිය වැඩීම ගැන ඔබ දරන අදහස කුමක්ද?
 

20141002

සුත්‌තපිටක Links