20131231

සත්වයාට නීවරණ නැතුව බැරි දෙයක්.





සාමාන්‍ය සත්වයාට
නීවරණ කියන්නෙ
නැතුව බැරි දෙයක්.

සත්වයා ජීවත් වෙන්නෙ
නීවරණ ආධාරයෙන්.

කාමච්ඡන්ද කියන්නෙ
පසිඳුරන් හා මනස මගින්
ප්‍රිය ජනක අරමුණු
නැවත නැවත විඳින්න
සිතේ ඇතිවෙන කැමැත්ත.
කාමච්ඡන්ද නැත්නම්
සත්වයා ආහාර ගන්නෙ නැහැ.
සිතට කයට සහ අනුන්ට
හානිකර වෙන්නෙත්
කාමච්ඡන්ද නිසයි.

ව්‍යාපාද කියන්නෙ
දුක, තරහ, බය, පිළිකුල,
අප්‍රසාදය අදී හැඟීම්
සහ සිතුවිලිවල මූලාශ්‍රයයි.
ව්‍යාපාද නැත්නම්
සත්වයෙක් ගින්නෙන්, වතුරෙන්..
තමන්ට හානිකර දෙයින්
ආරක්ෂා වෙන්නෙ නැහැ.
තමන්ට හානිකර ගන්නෙත්
අනුන්ට හානි කරන්නෙත්
ව්‍යාපාද නිසයි.

විචිකිච්ඡාව කියන්නෙ
නොදන්නා දේ ගැන ඇතිවෙන
කුහුල, සැකය...
විචිකිච්ඡාව නැත්නම්
සත්වයා සොයා බලන්නෙ නැහැ.
විමසන්නෙ නැහැ.
අයින්ස්ටයින් කෙනෙක් බිහි වෙන්නෙ
විචිකිච්ඡාව නිසා.

උද්ධච්ච කුක්කුච්ච කියන්නෙ
හිතේ නොසන්සුන් සහ
කැළඹිලි ස්වභාවය.
උද්ධච්ච කුක්කුච්ච නැත්නම්
වීර්යය පහල වෙන්නෙ නැහැ..
සත්වයා ක්‍රියාශීලී නම්
ඔහූ තුළ උද්ධච්ච කුක්කුච්ච තියනවා.

ථින මිද්ධ කියන්නෙ
වෙහෙස, නිදිමත, තෙහෙට්ටුව.
ථින මිද්ධ නැත්නම්
ඔහු විවේක ගන්නෙ නැහැ.

සත්වයා පවතින්නෙ
මේ නීවරණ පහ ආධාර කරගෙනයි.
ඒ වගේම සත්වයා දුක් විඳින්නෙත්
මේ නීවරණ පහ ඇති වුණ වෙලාවටයි.
එසේම මේ නීවරණ
පවතින අවස්ථාවල ගන්නා තීරණ
කියන වචන, කරන ක්‍රියා දූෂිතයි.

නීව්‍රණ වලින් මිදෙන්න ක්‍රම දෙකක් තියනවා.
තාවකාලිකව නීවරණ යටපත් කළ හැකියි.
වඩාත් සුදුසු විදියනම්
නීවරණ පිළිබඳ සිහියෙන්
නීවරණ වලට උපේක්ෂාවෙන් විසීමයි.

නීවරණ නැතුව ජීවත් වෙන්න නම්
ප්‍රඥාව තිබිය යුතුයි.

නීවරණ යටපත් කරන්න ක්‍රම තියනවා.
නීවරණ යටපත් කරන අය
මතුපිටින් හොඳ අය වගේ පෙනෙනවා.
ප්‍රායෝගික ජීවිතයෙදි
ඔවුන් මෝඩයි.
එහෙම නැත්නම් සියුම් අපරාධකාරයන්.
ඔවුන්ට අවශ්‍ය වෙලාවට,
රහසින් ඔවුන් නීවරණ වලට
ඉඩ දෙනවා.

ඔබට හමුවෙන ඔබ පැහැදෙන
සිත් ගන්නා සුළු පුද්ගලයන්
නීවරණ යටපත් කළ අයයි.
ඔවුන් පොඩ්ඩක් කැළඹුණාම
පළාතක් ඉවරයි.
ඔවුන්ගෙ හොඳ රැකෙන්නෙ
ඔවුන්ගෙ හොඳ
ඔබ ආරක්ෂා කරල දෙන නිසයි.
ඔබ ඔහු නරක් කරගන්න කැමති නැහැ.
ඔබට පොඩ්ඩක් වැරදුණාම
ඔබ වැඳපු දේවාලය
මොහොතකින් හිසේ කඩාගෙන වැටෙනවා.

ඔබ මිනිසුන්ට සංග්‍රහ කිරීම නිසා
ජනප්රිය වුණ පුද්ගලයෙක් නම්
තමන්ගෙ හිත දිහා බලන්න.
කොයිතරම් කිළිටි අදහස් වලින්
ඔබේ සිත පිරී පැවතුණත්
ඔබ පසුපස එන මුග්ධයන්
ඔබට සාන්තුවරයෙක් ලෙස
සලකනවාද කියල.
ඔවුන් ඔබේ සැබෑ ස්වභාවය
හොඳින් දන්නවා වෙන්නත් පුළුවන්.
ඔබ නැති තැන
ඔවුන් ඔබ ගැන කියන දේ
ඔබ දන්නවාද?

ඔබ ඔවුන් රවටනවාද...
ඔවුන් ඔබ රවටනවාද?

ඔබ නීවරණ යටපත් කර ගැනීමෙන්
ඔබ හදා ගන්නා ප්‍රතිරූපය
ඔබ වගේම ඔවුනුත්
ඔවුන්ගෙ වාසිඅයට රැකගන්නවා.
ඔබ වගේම ඔවුනුත්
ඔබව පාවිච්චි කරනවා.

පංච නීවරණ
ප්‍රයෝජනවත් වගේම හානිකරයි.
ස්ත්‍රී දූෂකයෙක්
අදාළ තැනැත්තිය
මරා දමන්න වුවත් සූදානමින්
ඇය දූෂණය කරන්නෙ
කාමච්ඡන්ද නිසයි.

මිනිසෙක් තවත් සත්වයෙක් නසන්නෙ
ව්‍යාපාදය නිසයි..

කාමච්ඡන්ද ව්‍යාපාද අනුව
ඉතිරි නීවරණත්
මිනිසා වරදට පොළඹවනවා.

විදසුන් වඩා කෙලෙස් නසන
ප්‍රඥාවන්තයා තුළත්
නීවරණ පහළ වෙන්න පුලුවන්.
නිවන් මගෙහි කෙළවර
ආසන්නයට යනතුරුම
නීවරණ වලින් මිදීමක් නැහැ.

බුදු දහම පිළිපදින්නාට
නීවරණ නිසා දුක් නොවිඳ
ජීවත් වෙන්න පුලුවන්.

නීවරණ පිළිබඳව සිහියත්,
නීවරණ වලට උපේක්ෂාවත් ඇති
විදසුන් වඩන්න
නීවරණ වලට යටත් නැහැ.

ප්‍රඥාවන්තයාට නීවරණයක් කියන්නෙ
සිත කිළිටි කරන, සිත දුර්වල කරන,
යම් හේතු මත ස්වාභාවිකව සිතේ පහළ වෙන
ඇතිවෙන නැතිවෙන.. ධර්මතාවයක්.

නීවරණය ප්‍රඥාවෙන් දකින
ප්‍රඥාවන්තයා
ව්‍යාපාදය නිසා
ගහන්නෙ මරන්නෙ නැහැ.

කාමච්ඡන්දය නිසා
අන්සතු දේ ගන්නෙ නැහැ.
කාමය මුල්කරගෙන
තවත් කෙනෙකුට
හිංසා කරන්නෙ නැහැ.

ඔහු අහර ගන්නෙ කුසගින්නටයි.
කාමච්ඡන්දය නිසා නෙමෙයි.
ඔහු රස හඳුනනවා.
රසට ඇති කැමැත්තත් දකිනවා.
කාමච්ඡන්දය තියන වෙලාවට
ඔහු දන්නවා.
කාමච්ඡන්දයට
ඔහු තුළ උපේක්ෂාව තියනවා.
ඔහු කාමච්ඡන්දයෙන් කැළඹිලා
පමණට වඩා වැඩියෙන් ආහාර ගන්නෙ නැහැ.
ආහාරය නීරස වුණත්
ඔහු ව්‍යාපාදයෙන් කැළඹිලා
පමණට වඩා වැඩියෙන් ආහාර ගන්නෙ නැහැ.

විදසුනෙන් වැඩුණු ප්‍රඥාව ඇති කෙනෙක්
නීවරණ වලට යටත් නැහැ.

නීවරණ යටපත් නොකරන ඔහු
නීවරණ පිළිබඳ සිහියෙන්
නීවරණ වලට උපේක්ෂාවෙන් පසු වෙද්දි
නීවරණ වලට හේතුවෙන කෙලෙස් නැසෙනවා.
ප්‍රඥාව මතු වෙනවා.

විදසුන් වඩා
ප්‍රඥාව ඇතිවෙන තුරු
පුහුදුන් සත්වයාට නීවරණ අවශ්‍යයි.



No comments:

Post a Comment