20140220

දුක දකින්න වනගත විය යුතු නැහැ.




Ranga Deshapriya අතුල මහත්මයා ,ලෝකයේ ස්වභාවය ඕකයි (දුක)
හොදට බලන්න . ලෝකය තමන්ට කැමති විදියට සකස් කරගෙන දුකක් නැතිව ඉන්න ක්‍රමයක් නේද ඔය හොයන්නේ.

ඕක කරන්න පුළුවන් වැඩක්ද ?

විපස්සනාව කියන්නේ ඕක නොවෙයි නේද ?
අද මගේ කියලා අල්ලාගෙන දගලන දරුවා , බිරිඳ හෙට මගේ මාරයා විය හැකියි.
කෙලෙස් විසින් හසුරවන සත්වයාගේ ස්වභාවය එයයි.
ලෝකයේ ස්වභාවය (දුක )දැනගෙන, දැකගෙන ඉන් එතෙර වීමටයි අප වීර්ය කල යුත්තේ.
====================================================================


ඔබ සෝවාන් වෙලා නැහැනෙ. රංග.

ඔය ඔබේ ප්‍රඥාව නොවෙයි.
ඔබ කාගෙන් හෝ ලබාගත් වචන පෙළක්.
ඔය වචන පෙළ සිහිපත් නොකළොත්
මේ මොහොත ඔබ දකින්නෙ
වෙනත් විදියකටයි.
ඒ දැක්ම ඔබෙයි.
දැන් ඔබේ දැක්ම
ඔය වචන වලට මුවා වෙලා..
ඔබටවත් පෙනෙන්නේ නැහැ.

අනික් ලෝකයා ලෝකය අල්ලගන්න
පාවිච්චි කරන හිතම
ඔබ ලෝකයෙන් පැනල යන්න
පාවිච්චි කරනවා.
ලෝකය තමන්ට කැමති විදියට සකස් කරගෙන
දුකක් නැතිව ඉන්න ක්‍රමයක් නේද ඔය හොයන්නේ.

ඔවුන් රාගයෙන් විඳිනවා.
රාගයෙන් මෝහයට යනවා.
ඔබ ද්වේශයෙන් පැනල යනවා..
ද්වේශයෙන් මෝහයට යනවා.

දුක හැම මොහොතකම තියනවා.
දැන් ඔබ ඔබේ කයට හිත යොමු කළොත්
කය පුරාම ඔබට අප්‍රසන්න වේදනා තියනවා.
ඔබ මේ සත්‍යයෙන් පැනල යන්න
ක්‍රම සොයනවා.
අන් අය ලෝකය තුළට පැනලා යනවා.
ඔබ පොතපත තුළට පැනල යනවා.
ලෝකය තමන්ට කැමති විදියට සකස් කරගෙන
දුකක් නැතිව ඉන්න ක්‍රමයක් නේද ඔය හොයන්නේ.
ඔබ දකින දුක
ඔබ දකින්නෙ පොතපත තුළයි.
ඔබ අනුන්ගේ නඩුවක නීතිඥයෙක්.
ඔබ මේ සිදුවීම බලන්නෙත් ඒ විදියටයි.

මට මේ විදුහල්පති මම වගෙයි.
වෙනෝෂා මගේ දුව වගෙයි.
ඔවුන් විඳි දුක් මම විඳිනවා.
මම විදුහල්පති චරිතය රඟපෑවත්
මගේ දුව සිය දිවි නසා නොගත යුතුයි.

ඒ චරිත දෙක හැසිරුණ විදියත්
ඔවුන්ට ලෝකයා දක්වන ප්‍රතිචාරත් තුළ
අපි කවදාවත් නොදකින
සත්‍යතාවයන් තියනවා.
මෙවැනි අවස්ථා වලින් පළා ගොස්
දුක දකින්න බැහැ.
මෙවැනි අත්දැකීමක්
අපිට සසරෙ නැවත නොලැබෙන්න පුලුවන්.

දුක දකින්න වනගත විය යුතු නැහැ.
ඔබ කොතන හිටියත්,
මොනව කළත් දුක තියනවා.

ඔබ ඉරියව්ව වෙනස් කරන්නෙ දුක නිසයි.
ඔබට එක ඉරියව්වක් දුකක් වුණාම
ඔබ ඉරියව්ව වෙනස් කරනවා.
දුක දකින්නෙ නැහැ.

කෙනෙක් ඔබට දුකක් ඇති කළාම
ඔබ අතුල් පහරක් දෙනවා.
ඔබට ඔහුගෙන් ආපසු එකක් ලැබුණොත්
ඔබට දුක දැනෙනවා.
ඒත් ඔබේ අතුල් පහරට මුල්වුණ දුක
ඔබ දැක්කෙ නැහැ.
අතුල් පහර දෙනකොට
ඔබේ අත්ළට දැණුන දුක
ඔබ දැක්කෙ නැහැ.
කලින් ඔබ නොදුටු දුකට සාපේක්ෂව
ඒ අතුල් පහර ඔබට සැපක්.
අනෙකාගේ දුක ඔබට සැපක්.
ඔබ විඳින්නෙ තෝරාගත්
දුක් පරාසයක්.

දුක දකිනවා කියන්නෙ
දුකයි දුකයි කියා මතුරමින්
දුකෙන් පළා යාම නෙවෙයි.

විපස්සනා වඩා ප්‍රඥාව මේරූ
පැවිද්දන්ට කළ දේශනා අනුව
ගිහි ගෙයි ඉන්න වෑයම් කිරීම
ඔබ සමග ජීවත් වෙන බිරිඳට දරුවන්ට
නෑසියන්ට කරන අසාධාරණයක්.
ඔබ ප්‍රඥාව වඩාගත යුත්තෙ
සැබැවින්ම සිදුවෙන දේ තුළ
ඔබ විඳින දේ තුළයි.
ඔබට පැනල යන්න පුලුවන්
දුක නැති තැනක් නැහැ.
පැවිදි වුණත් දුක දුකමයි.
ඇතිවෙන හේතුත් එකයි.

විපස්සනා නැතුව
ඔබට දුකෙන් ගැලවීමක් නැහැ.
ඔබ බුදු දහමෙන් තෝරාගන්නෙ
සමථයානිකයාට
ජීවිතයෙන් පැනල යන්න අවශ්‍ය වෙන
නිදහසට කරුණු ටික විතරයි.
ජීවිතයට මුහුණ දෙන්න නම්
විපස්සනා අවශ්‍යයි.

ජීවිතයෙන් පැනල යන්න
ඔබ බුදු දහමෙන් තෝරාගන්න කරුණු
හින්දු ආගමෙත් තියනවා.
ඔවුන් තපසට යන්න හදා ගත්
නිදහසට කරුණු
ඔබ බුදු දහමෙන්
ඉගෙන ගෙන තියනවා.

විපස්සනා වඩන්නාට
පැනල යන්න දෙයක් නැහැ.
ඔහුගෙ අරමුණ මේ මොහොතයි.
ඔහුට ප්‍රඥාව පහළ වෙන්නෙ
මොහොතින් මොහොතටයි.

විපස්සනා කියන්නෙ
ජීවිතය හරහා යන අතර
උදා වෙන අවස්ථාවන්ට අනුව
සිත හා කය වෙනස් වෙන හැටි
සිහියෙන් දකිමින්
ඒ දකින වෙනස් වීම් වලට
උපේක්ෂාවෙන් විසීමයි.
කෙනෙක් කරන කිසිම දේකින්
ඊට බාධාවක් නැහැ.

මොනදේ කිව්වත් කළත්
උදා වෙන අවස්ථාවන්ට අනුව
සිත හා කය වෙනස් වෙන හැටි
සිහියෙන් දකිමින්
ඒ දකින වෙනස් වීම් වලට
උපේක්ෂාවෙන්
කරන දේ කරගෙන යනවා.

ඒ විසීම තුළ
බුදු දහම අත් දකිනවා.
කෙලෙස්, නීවරණ, බොඣ්ජංග
ඔබ තුළම දකින්න පුළුවන්..
ඉන් පහළ වෙන්නෙ ප්‍රඥාවයි.
බොල් දැනුම නොවෙයි.

දැනුම කියන්නෙ
ලේබල් එකක් සහිත හිස් බඳුනක්.
ප්‍රඥාව කියන්නෙ
ලේබල් එකක් ඇති හෝ නැති පිරුණ බඳුනක්.

බුදු සසුන නැති වුණත්
තමා පිළිබඳව සිහියෙන් සහ
උපේක්ෂාවෙන් වෙසෙන්නා තුළ
ප්‍රඥාව පහළ වෙනවා.
ඒ ප්‍රඥාවෙනුත් දුක නිවෙනවා.
සසරෙන් ගැලවීම දෙවෙනි කරුණක්.
වඩා වැදගත් මේ මොහොතයි.

මේ මොහොතෙ
මොනදේ කිව්වත් කළත්
උදා වෙන අවස්ථාවන්ට අනුව
සිත හා කය වෙනස් වෙන හැටි
සිහියෙන් දකිමින්
ඒ දකින වෙනස් වීම් වලට
උපේක්ෂාවෙන්
කරන දේ කරගෙන යනවා.
මේ සිදුවෙන කිසි දෙයක්
තමන් නොවන බවත් දන්නවා.
මේ සිදුවෙන දේ
බාහිර හා අභ්‍යන්තර
සිදුවීම් පෙළක් පමණයි.
ප්‍රතිචාර පෙළක් පමණයි.
සිදුවීම් හා ප්‍රතිචාර පෙළක්
පමණයි.

ඝණ්ටාවකට තට්ටු කලාම
ඇතිවෙන කම්පනය වළක්වන්න
ඉන් නැගෙන හඬ වළක්වන්න
ඉන් ඇතිවෙන දෝංකාරය වළක්වන්න
ඝණ්ටාවට බැහැ.
ඒත්
ඒ පහර ගැන සිහියෙන්
ඇතිවෙන කම්පනය ගැන සිහියෙන්
නැගෙන හඬ ගැන සිහියෙන්,
නැගෙන දෝංකාරය ගැන සිහියෙන්,
ඒ පහරට උපේක්ෂාවෙන්
කම්පනයට උපේක්ෂාවෙන්
නැගෙන හඬට උපේක්ෂාවෙන්
දෝංකාරයට උපේක්ෂාවෙන්
වෙසෙන්න පුලුවන්.

ඔබට පහර පෙනෙනවා.
කම්පනය පෙනෙන්නේ නැහැ.
නැගෙන හඬ ඇසෙනවා.
දෝංකාරය ඇසෙනවා.

විපස්සනා කියන්නෙ
වදින පහර ගැන සිහියෙන්
කම්පනය ගැන සිහියෙන්
නැගෙන හඬ ගැන සිහියෙන්,
දෝංකාරය ගැන සිහියෙන්,
ඒ පහරට උපේක්ෂාවෙන්
කම්පනයට උපේක්ෂාවෙන්
නැගෙන හඬට උපේක්ෂාවෙන්
දෝංකාරයට උපේක්ෂාවෙන්
විසීමයි

20140214

සම්පජානෝ සතිය දියුණු පුද්ගලයන් විශේෂ පුරුෂයන්....


චිත්‍ර , සංගීතය, නර්තනය, පිළිම නිර්මාණය,
ගෘහ නිර්මාණය, ආයුර්වේදය, ජ්‍යෙතිෂය,
යෝග, කාම සූත්‍රය, කුට්ටනීමතය
සහ තන්ත්‍රයාන කෘති ආදී සියල්ලම 
 එකිනෙක හා සම්බන්ධයි.

මේ
සියල්ලම
එකිනෙක හා බැඳී තිබෙන්නේ
අපේ සිත, පසිඳුරන් හා කය නිසයි.

බුදු දහම 
සියල්ලටම ඉහළින් තියෙන්නේ
ඒ සියල්ලම එකට බැඳෙන
මූලික කරුණු තමන් තුළ හදාරමින්
ඒ සියල්ලෙන්ම ඇති වෙන ප්‍රශ්න විසඳන්නට
පැහැදිලි, සරල, පහසු ක්‍රමයක්
ඉදිරිපත් කරන නිසයි.

ඉහත දැක්වූ සියල්ලම
අසීමිත පිරිසකගෙ දායකත්වයෙන්
අනන්ත කාලයක් තිස්සෙ ගොඩ නැගුණ
දැනුම් සම්භාරයක්.

බුදු දහමෙ හරය වන විදර්ශනාව
තනි පුද්ගලයෙක්
සයවසරක ගවේෂණයෙන්
තමා තුළ අත්දැකල සොයාගත් දෙයක්.බුදු දහමට අනුව
විපස්සනා වඩන කෙනෙක් සිහිය පවත් වන්නෙ
තමන්ගෙම කය ගැන සහ සිත ගැනයි.

හැම මොහොතකම කයත්
සිතත් වෙනස් වෙනවා.
මේ වෙනස් වීම් එකිනෙකට සම්බන්ධයි.
කය හෝ සිත තනිව වෙනස් වෙන්නෙ නෑ.

මේ වෙනස් වීම් ප්‍රිය කිරීම
සහ අප්‍රිය කිරීමෙනුත්
මේ වෙනස්වීම් ගැන මෝහයෙන්
අවසිහියෙන් සිටීමෙනුත්
අපි ඒ මොහොතෙත් අනාගතයටත්
ගැටළු ඇති කරගන්නවා.
වැරදි කරනවා. පව් කරනවා.
සිල් බිඳගන්නවා.

සතිපට්ඨානය හතරකට බෙදා දුන්නත්
අපි සිහිය වඩන්නෙ
වේදනා මගින් සම්බන්ධ වෙන
සමස්ත නාම-රූප ඒකකය ගැනම
සිහියෙන් සිටින්නයි.

කයෙහි සිදු වෙන වෙනස් වීම්
වේදනා ලෙස හඳුන්වනවා.
සිතෙහි වෙන වෙනස්වීම් ධම්ම නමින් හැඳින්වෙනවා.

සිතත් කයත්, මේ වෙනස්වීම් සියල්ලම ගැන
සමස්තයක් ලෙස සිහියෙන් සිටීම
සම්පජානෝ සතිය නමින් හැඳින් වෙනවා.

විදර්ශනාවෙන් දියුණු වෙන
සම්පජානෝ සතිය නැතිව
වෙනත් කිසිම දෙයක්
නිසි ලෙස කරන්න බැහැ.

පුළුල් මනසක් ඇති
උසස් කලාකරුවන්, විද්‍යාඥයන්,
ලේඛකයන්, කවීන්, සිනමා අධ්‍යක්ෂකවරුන් ආදී
විශේෂ පුරුෂයන් සියල්ලන්ම
සම්පජානෝ සතිය දියුණු පුද්ගලයන්.
ඔවුන් සසර සැරිසරද්දී
විදර්ශනා වැඩූවන් විය යුතුයි..

එක දෙයක් දකින විට
ඊට අදාල බොහෝ දේ
ඔවුන්ට දැකිය හැකියි.

සම්පජානෝ සතිය දියුණු කරන ක්‍රමය
විදර්ශනාවයි.