20130810

ත්‍රිලක්ෂණය යනු........? - අත්දැකීමක්.





අනිච්ච, දුක්ඛ, අනත්ත

ත්‍රිලක්ෂණය කියන්නෙ
වචන තුනක් නෙමෙයි..
අත්දැකීමක්.

අත්දැකීමෙන් විඳින්නාට
ත්‍රිලක්ෂණය
මොන භාෂාවෙ මොන වචනයෙන් හැඳින්වුවත්
ඔහු දකින්නෙ වචනය නෙමෙයි.
අත්දැකීමයි..

අන් අය
වචන අතපතගාමින්
කල් ගෙවනවා..

   ත්‍රිලක්ෂණය
අත්දැකීමෙන් විඳින මග
සතර සතිපට්ඨානයයි.


    කවර වූ සතරෙක්ද?

    1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
    පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
    කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

    2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
    පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
    [කයෙහි වෙනස් වීම්]
    වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

    3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
    පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
    සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

    4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
    පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
    [සිතෙහි වෙනස්වීම්]
    දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

   
ත්‍රිලක්ෂණයම
   එක වර අත්දැකීමෙන් දකින මාර්ගය
    සතර සතිපට්ඨානයයි.

    වෙනස් වීමත්, වෙනස්වීමෙහි දුකත්,
    වෙනස තමන් නොකරන දෙයක් බවත්
    අත්දැකිය යුත්තේ තමා තුළමයි.

අසන දේ
තමා තුළ අත්දකින්නට බැරි නම්
ඒ සත්‍යය නොවෙයි.

රාග ද්වේශ මෝහත්,
පංච නීවරණත්,
සිහිය හා උපෙක්ෂාවත්,
සත්තිස් බෝධිපාක්ෂික ධර්මත්,
ත්‍රිලක්ෂණයත්
සියල්ලම පසක් වෙන්නේ
තමා තුළ අත්දකින විටයි..
අසා වටහා ගන්නට සිතන අය
බුද්ධියෙන් නරඹන්නේ
සිහින වැනි චිත්ත රූප පමණයි.

ඔවුන්ට රාග ද්වේශ මෝහත්,
පංච නීවරණත්,
සිහිය හා උපෙක්ෂාවත්,
සත්තිස් බෝධිපාක්ෂික ධර්මත්,
ත්‍රිලක්ෂණයත්
සියල්ලම සිහින වැනි
චිත්ත රූප පමණයි.

තමා තුළ අත්දකින්නට බැරි නම්
ඒ සත්‍යය තවමත් ඔබේ නොවෙයි.

තර්කයෙන් වතුර හා පිපාසය දැකීමත්
පිපාසයට වතුර බීමත් කියන්නෙ
අහසට පොළව වගේ වෙනස් දෙකක්.

තර්කයෙන් වතුර හා පිපාසය දැකීම
ආත්ම වඤ්චාවක්.එයින් පිපාසය නිවෙන්නෙ නෑ..
සිත රැවටෙනවා පමණයි.
තර්කයෙන් ධර්මය විග්‍රහ කරන අය
ධර්මාවබෝධය කියන්නෙ

ඒ ආත්ම වඤ්චාවටයි.

දුක නමැති පිපාසයට
විදසුන නැමැති වතුර බීමෙන්
දුක නැතිවෙන්නට පටන් ගන්නවා.
විදසුන් වඩන මොහොතක් පාසා
ඔහු සුවපත් වෙනවා.



විදසුන් වඩන මොහොතක් පාසා,
ජීවිතය අත්දකින විට
සම්පූර්ණ අත්දැකීම ගැන සිහියත්,
අත්දැකීමෙ ස්වරූපය මොකක් වුණත්
ඒ අත්දැකීමට උපේක්ෂාවත් පවත්වා ගැනීමෙදි
ත්‍රිලක්ෂණයම පෙනෙනවා.
එයින් පිපාසය නිවෙනවා.
මේ මානසික ස්වභාවයට මග
විදසුන් වැඩීමයි.

    තිලකුණු කියන්නෙ
    බුද්ධියෙන් අවබෝධ කරන දෙයක් නෙමෙයි.
    අත්දැකීමක්.

    ඒ අත්දැකීම:
විදසුන් වැඩීම තුළිනුයි,
අවිද්‍යාව දුරුවී ත්‍රිලක්ෂණය
විද්‍යාමාන වන්නේ.

  ඒ අත්දැකීම තුළිනුයි
    ප්‍රඥාව පහළ වෙන්නේ.

ඒ අත්දැකීම තුළ දුක නැහැ.
ඇත්තේ ප්‍රඥාවයි.